‘වජ්‍ර ප්‍රභා’ වික්ටර් රත්නායකයන්ට ගෞරවාභිමාන පිදුමක් | සිළුමිණ

‘වජ්‍ර ප්‍රභා’ වික්ටර් රත්නායකයන්ට ගෞරවාභිමාන පිදුමක්

අජන්ත සෙනෙවිරත්න

දශක පහකට වැඩි කාලයක් තිස්සේ ලංකාවේ සුභාවිත ගීතය ගායනයෙන් ද, වාදනයෙන් ද, සංගීතයෙන් ද යන ත්‍රිවිධස්ථානයෙන් ම සුපෝෂණය කළ ආචාර්ය වික්ටර් රත්නායක නම් මහා සංගීතඥයාගේ 75 වන ජන්ම දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් කොළඹ බණ්ඩාරනායන සම්මන්ත්‍රණ ශාලාවේදී ‘වප්‍ර ප්‍රභා’ නමින් එතුමන්ට ගෞරවාභිමාන පිදුමක නිරත වෙයි. මේ

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන අලෙවි නිලධාරී අජන්ත සෙනෙවිරත්න මහතා සමඟ ඒ පිළිබඳ කළ සංලාපයකි. ඔහු මේ සංලාපය මඟින් අවධාරණය කරනුයේ, ‘වික්ටර්’ නමැති ගායකයා රට ම හඳුනතත්, වික්ටර් නමැති සංගීතඥයා නම් තව මත් නිසියාකාර කියැවීමකට ලක් වී නැති බව යි.

• වික්ටර් නමැති සංගීතවේදියා ගැන ඔබේ කියැවීම කවරාකාර ද?

මගේ තරුණ වයසෙ දී මම සංගීතමය අත්දැකීමක් වින්දේ වික්ටර් රත්නායකගෙන්. මුලින් ම ‘ස’ ප්‍රසංගය බැලුවට පස්සෙ ගීතයේ තිබෙන මිහිරියාව අත්විඳින්න මට ලැබුණා. ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, අමරදේව වැනි අය ගැන අහලා තිබුණට, ඔවුන්ගේ සංගීතය වින්දනය කළාට මුලින් ම අප ප්‍රාසංගික අත්දැකීමක් ලබන්නේ ‘ස’ ප්‍රසංගය මඟිනුයි. ඒ ප්‍රාසංගික අත්දැකීම ගීතය කෙරෙහි මා තුළ නැඹුරුවක් ඇති කළා. ඒ ඔස්සේ තමයි ගීතය ගැන හිතන්න, හොයන්න පෙලඹවීමක් ඇති කළේ. ඒ අත්දැකීම ලබාදුන් මහා සංගීතවේදියා විදියටයි මා වික්ටර් රත්නායක හඳුනාගන්නේ. එදා තරුණ පරපුරේ ගීතමය අවදි වීමක් ඇති වුණේ වික්ටර් නිසයි.

• වික්ටර් ගැන ඔබ ඒ සඳහන් කරන වකවානුවේ අනෙක් සංගීත ශිල්පීන් අතර වික්ටර්ට තිබුණේ කවර ස්ථානයක් ද?

ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත වගේ අය ගොඩනඟපු ජන සංගීතය අමරදේවයන් වඩාත් ශාස්ත්‍රීය පසුබිමකින් නැවත කරළියට ගෙන ආවා. අමරදේවයන් උත්තර භාරතීය සංගීතය හා ජන සංගීතය එකතු කොට එක තැනක දී ලාංකේය සංගීත කලාවේ හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කරනවා. ඒ, මේ දෙකෙහි ම මනා සංකලනයෙන් නව සංගීත ආරක් ගොඩනඟමින්. හැබැයි වික්ටර් රත්නායක හා සනත් නන්දසිරි කියන දෙපළ තමයි ලංකාවේ ඒ කාලේ යෞවනයට ගීතය ආදේශ කරන්නේ. අපේ සංගීතය අමරදේවයන් ගොඩනැඟුවාට පස්සෙ ඒක තරුණ පරම්පරාව වැලඳගන්නා එකක් බවට, භාවිතයක් බවට පත් කරන්නේ වික්ටර් ප්‍රමුඛ වුණු පරම්පරාවයි. ඒ නිසා වික්ටර් රත්නායක කියන්නේ සංගීතය ඇතුළේ වන්දනීය චරිතයක්.

• වික්ටර් රත්නායකයන් භාරතීය මහා සම්ප්‍රදාය වගේ ම දේශීය ජන ගීතයත්, දෙමළ ජන ගී කලාවත් කියන තුන් ආර ම මනා සේ සංකලනය කරනවා. මෙය සංගීතඥයකුට පහසු කාර්යයක් නො වෙයි...

ෆ්‍රෙඩී සිල්වාගේ ‘කුණ්ඩුමනී’ වගේ ගීතක් උදාහරණයට ගත්තොත් එය ම සුවිශේෂ යි. මේ ගීතයෙහි සංගීතය නිර්මාණය කළේ වික්ටර් රත්නායක කිව්වොත් ඒ ගැන නොදැන සිටි අයෙක් නම් නොපිළිගන්නවාට සැක නැහැ. වික්ටර්ගේ සංගීත භාවිතයේ වන වෙනස එයයි. ඒ වගේ ම ජෝතිපාලයන්ට වික්ටර් රත්නායක සංගීතය සපයා තිබෙනවා කියලා කිව්වොත් සමහරඩ විට අපේ තරුණ පරම්පරාව පිළිගන්න එකක් නැහැ. බොහෝ අය වික්ටර් හඳුනාගන්නේ ගායකයකු ලෙස යි. ඒ නිසා වික්ටර් නමැති සංගීතඥයාට අසාධාරණයක් වුණා යැ යි සිතෙනවා.

• වික්ටර් බොහෝ දුරට භාවිත කරන්නේ රාග ම නො වෙයි; ඒ රාගවල තිබෙන අලංකාර යි. ඒ නිසා ම ඔහු අතින් සුවිශේෂ තනු බිහි වෙනවා...

මේ කතා කරන වික්ටර් රත්නායක නම් සංගීතඥයා මෙතැනින් නොනැවතී තවදුරටත් සාකච්ඡාවට බඳුන් විය යුතු යි. මේ කතා කරද්දිත් ඔහුට සාධාරණය ඉෂ්ට වී නැහැ. මෙවැනි ප්‍රසංගයකින් වික්ටර් රත්නායකට සාධාරණයක් ඉටු වෙන්නේ නැහැ. 'වජ්‍ර ප්‍රභා' ප්‍රසංගය වත් වික්ටර්ට නිවැරදි සාධාරණය ඉටු කරන්නේ නැහැ. එයට හේතුව ඔහු අප්‍රමාණ කලාකරුවෙක් වීම යි. එයට හේතුව වික්ටර් මෙහි දී කරන්නේ ගායනාවක්. අපි අදටත් කියන්නේ ගායකයා රට හඳුනනවා; එහෙත් වික්ටර් රත්නායක නමැති සුමධුර තනු නිර්මාපකයා, සංගීතඥයා, මේ රට හඳුනන්නේ නැහැ.

• වික්ටර් නමැති වයලීන් වාදකයා ගැනත් රට දන්නේ නැහැ.

පැහැදිලි ව ම. මේ කිසිවක් දන්නේ නැති පරම්පරාවකට යි අපි කතා කරන්නේ. ඔහුගේ මේ බහුවිධ භූමිකා මේ රටට කොහොම ද අපි කියා දෙන්නේ. මේ ගැන දන්නේ නැති පරම්පරාවකට වික්ටර් රත්නායක අරන් එනවා නම් අරගෙන එන්න ඕනෑ ඒව ගැන කතා කරන්න යි. අඩු වශයෙන් අපි සෑහීමකට පත් වෙන්න ඕනෑ. ඒත් මේ ප්‍රසංගය මඟින් ඔහු මුළුමනින් ම නම් කියවා ගන්ට බැහැ.

• ශ්‍රී ලංකා ටෙලිකොම් මේ සත්කාර්යයට අතගසන්නේ දෙවැනි වරට යි. පණ්ඩිත් අමරදේවයන්ගෙන් ඇරඹි මේ ප්‍රසංගයේ දෙවැන්න යි, මේ. මේ යුග මෙහෙවරෙහි අරමුණ ගැන අවධානය යොමු කළොත්...

ශ්‍රී ලංකා ටෙලිකොම් මේ සමරන්නේ 160 වන ජන්ම දිනය යි. මුල් ම ටෙලිග්‍රාෆ් පණිවිඩයේ සිට වර්තමානය දක්වා මේ ආව දශක 16ක ගමන් මඟ ඇතුළේ සන්නිවේදනයේ ජාතික පුරෝගාමියා වීමට ශ්‍රී ලංකා ටෙලිකොම් හට හැකි වූවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එක ම අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් ජාලයේ හිමිකරුවා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය යි. සන්නිවේදනය පිළිබඳ ලංකාවේ අපට අකුරු කියන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම්. ඒ මුල් අකුරු කියලා දීපු සමාගම විදියට ලංකාවේ හඬ සන්නිවේදනයේ පුරෝගාමියා වන්නෙත් ශ්‍රී ලංකා ටෙලිකොම් ම යි. හඬ තමයි අපේ ප්‍රධාන වාහකයා. හඬ නමැති අපේ සේවාව, හඬින් ලංකාව පෝෂණය කළ සංගීතවේදීන් සොයා යෑම යි මේ සිදු වන්නේ. පසුගිය වසර වන විට ජීවතුන් අතර සිටි මහා ගාන්ධර්වයා වූයේ පණ්ඩිත් අමරදේවයන්. අමරදේවයන්ට අප කෘතගුණ දැක්වූවා. අපි එය හැඳින්වූයේ “ගෞරවාභිමාන පිදුම” නමින්. ශ්‍රී ලංකා ටෙලිකොම් මේ කලාකරුවන්ට අනුග්‍රහය දක්වන්නේ ඔවුන් මිල කිරීමට නම් නො වෙයි. ඔවුන් මිල කළ නො හැකි යි. අප මේ කරන්නේ ඔවුන්ට ගෞරවය පුද දීම යි. වික්ටර් රත්නායකයන්ටත් එහෙම යි. ‘වජ්‍ර ප්‍රභා’ වික්ටර් රත්නායකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් කෘතගුණ දක්වන ගෞරවාභිමාන පිදුමක්.

Comments