ප්‍රේමය රොමෑන්තිකකරණය කළ යුගයක තාරුණ්‍යය | සිළුමිණ

ප්‍රේමය රොමෑන්තිකකරණය කළ යුගයක තාරුණ්‍යය

සිංහල ගායන සම්ප්‍රදායේ එක් යුගයක් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගෙන් නිමාව දකී. ඉන් ඇවෑමෙන් බිහිවන සම්ප්‍රදායේ ප්‍රධානම ගායකයෝ දෙදෙනෙක් වෙති. එක් අයෙක් මහාචාර්ය සනත් නන්දසිරිය. අනිත් ගායකයා ආචාර්ය වික්ටර් රත්නායකය.

එක් පැත්තකින් අමරදේවයනුත් අනිත් පැත්තෙන් ජෝතිපාලගෙනුත් අතර ඇතිවූ රික්තය සරල හා සරල ශාස්ත්‍රීය ගී ධාරාවකින් පුරවාලන්නේ ඉහත ගායකයන් දෙදෙනා විසිනි. සිංහල මැද පන්තියේ සංගීත රසිකත්වයේ ප්‍රධානම සංඥාර්ථය මොවුන් දෙදෙනාය.

1957 දී මහනුවර එම්. ජී. පී. කලායතනයේ සිරිල් පෙරේරා යටතේ සංගීතයට අත්පොත් තබන වික්ටර් ගායනයට අමතරව වයලින වාදනයට ද හුරු වූයේය.

1958 දී වික්ටර් ඒකල ගායනා තරගයකට ඉදිරිපත් වූයේය. එය විනිශ්චය කළේ අමරදේව, සදානන්ද පට්ටියආරච්චි, බී. එස්. විජේරත්න යන සංගීතවේදීන් තිදෙනාය. වික්ටර් තම ගීතය ගයා වේදිකාවෙන් බසිද්දී අමරදේව අනාවැකියක් කීවේය. ඒ “මොහු කවදා හෝ හොඳ ගායකයෙක් වෙනවා” යන්නයි.

1963 දී වික්ටර් රජයේ ලලිත කලායතනයේ සංගීත විදුහලට එක්වෙයි. එය ඔහුට භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලය හා සමාන විය. කේ. ඒ. දයාරත්න, එස්. ඩී. එස්. ජයසේකර, ධර්මසිරි පෙරේරා, ගුණසේන ද සිල්වා, ප්‍රේමවංශ හපුවලාන යන විශාරද සංගීතවේදීහු එහිදී වික්ටර්ගේ ගුරුවරු වූහ.

කොළඹට පැමිණි පසු වික්ටර්, ආර්. ඒ. චන්ද්‍රසේන, ප්‍රේමසිරි කේමදාස යන අයගේ වාදක මණ්ඩලයේ වයලින් වාදකයකු ලෙස කටයුතු කළේය. විවිධ සංගීතවේදීන් හා වාදකයන් හඳුනාගන්ටත්, විවිධ සංගීත ප්‍රකාරයන් ප්‍රායෝගිකව අත්දැක ගන්ටත් ඒ ඔස්සේ ඔහුට ඉඩප්‍රස්තාව සැලසිණි.

වික්ටර්ගේ ගායන මහිමය අද්විතීයය. අතිශය භාවාත්මක වූ ගී හඬක් ඔහුට පිහිටා ඇත. ඔහුගේ එම ගී හඬත් මියුරු වාදන භාණ්ඩයකින් නැ‍ඟෙන නාදයක් බඳුය.

හැත්තෑව දශකයේ තාරුණ්‍යයේ ගී හඬ වික්ටර්ගේ ගායන පෞරුෂයයි. ‘අඩවන් දෑසින්’, ‘අඳුර බිඳින්නට’, ‘ගිගිරි ගීත රාවේ’, ‘සරා සොඳුරු මල් පැටලි’ යන ගී මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු ය.

ප්‍රේමය රොමෑන්තිකකරණය කළ තාරුණ්‍යයේ ගායකයා වික්ටර්ය. ප්‍රේම පරාදීසේ, සසර සැරිසරන තෙක්, ‘පාවේ වලා’, ‘සිහිල් සුළං රැල්ලේ’, ‘හ‍දේ සුසුමක් පතිත වීමෙන්’, ‘අපි ඈතට ඈතට පා නඟලා’, ‘නැවුම් සුවඳින් ඔබේ මුව දුටු’, ‘සොඳුරිය ඔබගේ’, ‘තරු අත්අකුරින් ලියා එවමි’, ‘තනි වෙන්නට මගේ ලොවේ’ වැනි ප්‍රේමණිය ගී ආදර හදවත් මුසපත් කළේය. එම ගීවල ශ්‍රැති රම්‍ය ගුණය නොමඳව පවතී.

වික්ටර් දක්ෂ සංගීතඥයකුටත් වඩා ප්‍රතිභාසම්පන්න තනු නිර්මාපකයකු යැයි කිව හැකිය. ඔහු තනු භාණ්ඩාගාරයකි. ගීතයේ පදරුත් කුළු ගැන්වෙන ආකාරයට ඔහු විචිත්‍රවත් තනු නිර්මාණය කරයි. වික්ටර්ගේ ඇතැම් ගී තනුවල හින්දි ගී ආභාසය දක්නා ලැබෙන බව අපට සිටින හොඳ සංගීත විචාරකයකු වන කුමාර ලියනගේ පවසා ඇත. “පාවේ වලා’, ‘සිහිල් සුළං රැල්ලේ’, ‘අමාදහර’ වැනි ගී ඔහුට ඊට නිදසුන් වශයෙන් ගෙන එයි. කුමාරගේ නිරීක්ෂණය නිවැරැදි යයි සිතමි. ආධුනික අවදියේ වික්ටර් හින්දි ගී ගායනා කර ඇත. සිසිර සේනාරත්න ද මෙහිලා සිහිපත් වන තවත් ගායකයෙකි. ඔහුගේ බොහෝ ගී තනු ද හින්දි ගී ආභාසය මූර්තිමත් කරයි.

වික්ටර් වෙනත් ගායක ගායිකාවන් සඳහා ද රසාලිප්ත ගී තනු නිර්මාණය කර ඇත. උදා: මිහිලිය නළලේ (අමරදේව) රුවන් මුවා පොළේ තලේ (නන්දා මාලිනි) ආවා ආදරෙන් (මිල්ටන් මල්ලවආරච්චි) පාන් කිරිත්තා (ෆ්‍රෙඩි සිල්වා)

දක්ෂ වයලින් වාදකයන් ගීත ගායනයට එළැඹෙන විට ඔහුගේ වයලින් වාදනයත් ගී හඬත් අපූරුවට ඒකාත්මික වන්නේය. අමරසිරි පීරිස්, ටී. ඇම්. ජයරත්න, මර්වින් පෙරේරා මෙන්ම වික්ටර් ද වයලිනය හා සුසංවේදී වන ගායකයෙකි.

වික්ටර් 1973 දී පවත්වන්ට යෙදුණු ‘ස’ ප්‍රසංගය මෙරට ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය වෙයි. දර්ශන වාර එක්දහස් ගණනක් පැවැත්වූ ‘ස’ ප්‍රසංගය 2012 දී නවතා දමන ලදී. මෙම ගී සංහිතාව සුභාවිත ගීතය කෙරෙහි රසික සිත් නැඹුරු කරවන්ට උපස්තම්භ වූයේය. ‘ස’ ප්‍රසංගය කොළඹ, මහනුවර, කළුතර වැනි නගරවල දර්ශන වාර 10ක් පමණ පවත්වා ඇත. ප්‍රසංගය නිසාම ආර්ථික අතින් ශක්තිමත් වූ සංවිධායකයෝ වෙති. ඊට නිදර්ශනයක් මෙසේ ය.

එක් සංවිධායකයෙක් 1974 දි ‘ස’ ප්‍රසංගය කළුතර පුරහලේ පැවැත්වූයේය. ඔහු එයින් රුපියල් 7500ක ශුද්ධ ලාබයක් ලැබුවේය. ඒ මුදලින් කළුතර බෝඹුවලින් පර්චර්ස් හතක ඉඩම් කැබැල්ලක් මිලට ගත්තේය. 1975 නැවතත් මෙම ප්‍රසංගය සංවිධානය කළේය. එවර ලද ලාබය එකොළොස් දාහකි. ඔහු ඉඩමේ කඩ කෑල්ලක් තනා ගත්තේය. ඒ වසරේම ඔහු යළි ප්‍රසංගය පැවැත්වූයේය. ඉන් 15දාහක ලාබයක් ලැබිණි. ඒ මුදලින් ඔහු කඩයට බඩු ගෙනැවිත් දැම්මේය. ඒ අනුව මේ කඩය නම් කෙරුණු ‘සයනු’ කඩේ කියාය.

‘ස’ ප්‍රසංගයේ මංගල දර්ශනය වෙනුවෙන් මුද්‍රාපිත සමරු සංග්‍රහයට මහගමසේකර මෙසේ ලීවේය.

“සංගීතයේ රස මාධුර්යය සහෘදයන් වෙත ගෙන යාමට පොතපතින් ලැබූ ශිල්පීය දැනුමෙන් එතරම් ඵලක් නොවේ. එය එක්තරා වාසනා ගුණයක් ද සමඟ පිහිටිය යුත්තකි. එය ජන්ම වාසනාව ලෙස පුරාණාචාර්යවරු හැඳින්වූහ. මා වික්ටර් රත්නායක දකින්නේ එවැනි ජන්ම වාසනා ගුණයෙන් හෙබි ජන ජීවිත ආරේ රිද්මය හා බැඳුණු සංවේදී නාද රටාවක පවතී. එය කිසියම් මායා චමත්කාරයක් තුළ අප හුදකලා කරයි. අප සත්‍යය හා පියවි බව සැබැවින්ම අත් විඳින්නේ ඔහු අප කැඳවා යන මේ සංවේදී හුදකලා චමත්කාර ඉසව්වේදීය.”

‘ස’ ප්‍රසංගය දෙමළ සංගීත රසිකයන් වෙනුවෙන් යාපනයේ ද පවත්වා ඇත. ඊට ලැබී ඇත්තේ විස්මිත ප්‍රතිචාරයකි. යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ. කයිලාසපති මෙසේ සටහනක් තබා ඇත.

“ඔබේ ‘ස’ ප්‍රසංගයේ සෑම ගීයක්ම අපට කැටපතක් වැන්න. අපි සැවොම රසික හෘදයකින් එම කැටපතට එබී බලමු. එවිට එම කැටපතින් අපගේ හැබෑව ප්‍රති දර්ශනය වෙයි. ඔබගේ අත්දැකීම් අපගේම අත්දැකීම්ය. ඔබේ හඬ අපේ හඬයි. ඔබගේ රිද්ම රටාව ද අපේ රිද්මයයි. ඔබ අන් සැමට මෙන්ම අපට ද අයත්ය. ඔබේ ගී ප්‍රසංගය ශ්‍රවණය කොට අපි ඒකීය මිනිස් හදවත්හි සුවඳ බෙදා ගනිමු.

වික්ටර්ගේ ගායන දිවියේ අගය කළ යුතු සද්ගුණයක් වන්නේ ඔහු නිරන්තරවම අර්ථපූර්ණ පදමාලා තෝරා ගැනීමය. මහාචාර්ය සුනිල් ආරියරත්න, ප්‍රේමකීර්ති ද අල්විස්, වික්ටර් වෙනුවෙන් සුරස පද සංකල්පනා ලියූහ. එම ගී මිනිස් ජීවිත විනිවිදින සුලුය. එහෙයින්ම ඒවායින් රසික ඥාන මණ්ඩලය පෘථුල කරවයි.

එසේම වික්ටර් සංගීතඥයකු ලෙස එක් සංගීත සම්ප්‍රදායකට පමණක් කොටු වී නැත. ගීතයේ අවශ්‍යතා පරිදි ඔහු විටෙක දේශීය සංගීත රටා, බටහිර නාද මාලා, රාගධාරී සංගීතය, කර්ණාටක සංගීතය උපයුක්ත කර ගනී.

වික්ටර් චිත්‍රපට ගණනාවකට සංගීතය අධ්‍යක්ෂණය කර ඇත ද ඔහුගෙන් අවම නිර්මාණශීලී බවක් ප්‍රකටව ඇත්තේ එම ක්ෂේත්‍රයේදී බව මගේ හැඟීමයි. චිත්‍රපට පසුබිමින් ගායකයකු වශයෙන් ගත් විට ද පසුබිමින් ඇසෙන ගීතයක සාර්ථකත්වය කෙසේ වෙතත් නළුවන් සඳහා ගී ගැයීමේදී ඔහු අසාර්ථකය. ‘හිනැහෙන්න රෝමියෝ මමයි’, ‘පෙම්බර මධු වගේ’ වැනි ගී කේවල වශයෙන් ගත් විට අපගේ රසෝද්දීපනයට හේතු වුවද ගායකයාගේ ප්‍රතිරූපය හා සසඳද්දී එය නොගැළපෙන බවක් පෙන්නුම් කරයි.

වික්ටර් ප්‍රතිපත්තිගරුක කලාකරුවෙකි. ඔහු කිසියම් හේතුවක් මත එක්තරා ගීත රචකයකුගේ ගී රචනා ගායනා නොකළේය. සන්ෆ්ලවර් රැල්ලට නොවැටිණි. මතවාද ප්‍රකාශනයේදීත් හෙතෙම අදීනය.

වික්ටර් අද එක් යුගයක ස්මාරකයක් සේ තහවුරුව පිහිටා සිටී.

Comments