වැවෙන් උපන් අපි... | සිළුමිණ

වැවෙන් උපන් අපි...

 

අද අගනුවර පමණක් නොව ඉන් බැහැරවද ඇතැම් විට ඈත දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවලද සුලබ දර්ශනයක් වී ති‍බෙන්නේ විරෝධතා පෙළපාළි, උද්ඝෝෂණ, උපවාස, වර්ජන තර්ජනාදියයි. පුවත්පත්, ගුවන් විදුලිය, රූපවාහිනිය මෙන්ම සමාජ වෙබ් අඩවි ඔස්සේ ද නිදහසේ ගලා යන පුවත් බවට පත්ව තිබෙන්නේ ද මෙබඳු ක්‍රියාකාරකම්ය. කොළඹ වටලන විරෝධතාකරුවන් මෙන්ම අනෙක් බොහෝ තැන්වලද සිදුවන විරෝධතා, උද්ඝෝෂණ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පිළිබඳ හැඟවුමක් වුවත් සාමාන්‍ය ජනතාවට නම් එමඟින් බොහෝ විට ලැබෙන්නේ අමිහිරිම අත්දැකීම් බව ද නොකියාම බැරිය.

එහෙත් හිමිකම් හා උරුමකම් උදෙසා වීදි බැසීම හෝ සටන් කිරීම වැඩ කරන ජනතාවගේ අයිතියක් බව කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය. මෙම විරෝධතා හා උද්ඝෝෂණ සියල්ලම සාධාරණ හෝ නිවැරදි යැයි කිව නොහැකි වුවද ඇතැම් විටක සාධාරණත්වය ඉටු කර ගැනීම සඳහා පාලකයන්ගේ ඇස් ඇරවීමට ඒවා හේතුවන අවස්ථා ද තිබේ. එසේ වුවද සකල විධ ජනමාධ්‍ය ඔස්සේ ප්‍රමුඛත්වය දී පළ කෙරෙන මෙබඳු පුවත් නිසා ජාතික වශයෙන් වැදගත් වටිනා පුවත්වලට ජනතා අවධානයක් නොලැබී යාමද අවාසනාවක් වැන්න.

මේ වටිනා ජාතික පුවත ඔබට කිව යුතුයැයි මා කල්පනා කළේ ද මේ පසුබිම තුළය. නිදහසින් පසු මේ රටේ පාලන භාරකාරත්වය හිමි කරගත් බොහෝ නායකයන්ට මෙන්ම ආණ්ඩුවලට ද මේ මහපොළව පමණක් නොව ඒ පොළව සමඟ පොර බදමින් ජාතියේම කුස ගින්න නිවන ජන කොටස වන ගොවි ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ මීට වඩා උනන්දුවක් දැක්වූයේ නම් අපට අගහිඟ කමින් පීඩාවට පත් නොවූ රටක් ලෙස ඉදිරියට යාමට නොතිබිණිද? යන ප්‍රශ්නය මා මනස තුළ නිබඳ විදුලි කොටමින් තිබෙන්නකි.

මහාවංශය කියවීමට පෙර ගමේ පාසලේ එදා ඉගැන්වූ ඉතිහාස පාඩම අනුව ද අපට වැ‍ටහුණේ මේ රට වාරි කර්මාන්තයේ විශාල දියුණුවක් ලබා තිබුණු බවය. මහසෙන් රජතුමා විසින් පමණක් ජලාශ 15ක් පමණ ඉදිකරන ලද බවත් කියැවේ. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරි වැව, මාදුරු ඔය හා කවුඩුල්ල වැව ද අපට පෙන්වා දෙන්නේ අපගේ අතීත ගොවි ජනතාවගේ වීර භූමිකාවේ නොබිඳිය හැකි වාර්තාවන් බව මම සිතමි. ආදි මිනිසාගේ කාර්මික නිපුණත්වය නොවේද මේ?

ඩී. ඇස්. සේනානායක අගමැතිවරයාගෙන් පසු මේ වාරි සංස්කෘතිය අතැඹුලක් බවට පත්කර ගත් රාජ්‍ය නායකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බව ඉතා පැහැදිලිය. නොඑසේ නම් ඔහු අතින් මොරගහකන්ද කළුගඟ ජලාශ ඉදිකිරීමේ කටයුතු ආරම්භ නොවන බවද නිසැකය. එහි අභිනව පියවර ලෙස වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය ද ආරම්භ විය. එහෙත් මේ ජාතික වැදගත් ප්‍රවෘත්ති ජනතාවට සන්නිවේදනය වූ‍යේ ද යන්න මට නම් ප්‍රශ්නයකි. උද්වේගතර පුවත් හා අශිෂ්ට ජන ඝාතන ක්‍රියාකාරකම් තලු ගසමින් රස විදීමට පුරුදු කෙරෙන මාධ්‍ය සංස්කෘතියකට මේවා නොවැදගත් පුවත්ද විය හැකිය. එහෙත් ඉකුත් 13 වනදා වයඹ ගොවි ජනතාවගේ හදට දැනුණු සොම්නස කොළඹ අපට නොදැනීම ද පුදුමයට කරුණක් නොවේ.

මහවැලිය ජාතික ධනයක් පමණක් නොව ජනතාවගේ නිධානයක් බව ද මුලින්ම වටහා ගත් රජරට නායකයන් අතර සී. පී. ද සිල්වා හා මෛත්‍රීපාල සේනානායක ද වූහ. ඔවුන්ට යථාර්ථයක් බවට පත්කළ නොහැකිවු ඒ සිහිනයේ ප්‍රතිඵල දැයට ලබා දීමේ ගෞරවය හිමි වූයේ ගාමිණි දිසානායක ඇමතිවරයාටය. මහවැලි යතුර ගාමිණිගෙන් ලැබෙන්නේ රජරටින්ම දේශපාලනයට එක් වු තරුණයකු වූ මෛත්‍රීපාල සිරිසේන මහතාටය. රජරට ජනතාවගේ සුසුම, කඳුළ ඉඳුරා දත් ළමා වියේ සිටම රජරට ගොවි ජන හදේ රිද්මය හඳුනාගත් ගොවි ජනපදයක ‍ගොවි නායකයකුගේ පුතකු වූ මෛත්‍රී ට ඒ ගොවි දුකට ඔසු සෙවීම හැර වෙනත් දේශපාලනයක් නොවු තරම්ය. මේ වයඹ ඇළ ව්‍යාපෘතිය අරඹමින් එදා කීවේ ද ඒ කතාවමය. මේ ඉන් බිඳකි.

“ මම ගොවි පවුලකින් බිහිවු ජනාධිපතිවරයෙක් විදිහට, ඒ වගේම උදැල්ල නඟුල අතට හුරු කෙනෙක් විදිහට, මේ රටේ ආර්ථිකය ශක්තිමක් කරන් න අපේ රජයේ නිල කාල සීමාව තුළ ගත හැකි ගත යුතු සෑම ක්‍රියා මාර්ගයක්ම ගනිමින්, මේ රටේ ගොවි ජනතාවට ආර්ථික සමෘද්ධියක් ඇති කිරීමට, මේ රටේ යහපත් ආර්ථිකයක් ඇති කරන්න ආණ්ඩුවක් විදිහට අපි බලාපොරොත්තු වන ඉලක්ක කරා සාර්ථකව ගමන් කරනවා”

මේ මෛත්‍රී ජනාධිපතිවරයාගේ හෘදය සාක්ෂියේ ප්‍රතිරාවයයි. මහවැලි සංවර්ධන හා කෘෂිකර්ම ඇමති පදවි හිමි වුව ද ඔහුට ඔහු විසින් අපේක්ෂා කරන ලද ඉලක්ක අතහැර දැමීමට ද සිදුවිය. 2007 ජනවාරි 25දා මොරගහකන්ද ව්‍යාපෘතියට මුල් ගල තබා පැය 48 කින් ඔහුට එම ඇමතිධුරය ද අහිමි විය. එහෙත් යළි එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පමණක් නොව ජනාධිපතිධුරයට පත්වීමට ද ඔහුට දෛවය දොර හැර දුන්නේය.

වයඹ යනු නිරන්තරයෙන්ම ජලහිඟයෙන් පීඩාවට පත් වූ ප්‍රදේශයකි. මීට පෙර දැදුරු ඔය ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කළේත් මේ ජල ප්‍රශ්නයට පිළිතුරක් දීමටය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව, පොල්පිතිගම වැනි ප්‍රදේශ ජල හිඟයේ පත්ලටම එරී ගිය ප්‍රදේශ විය. ‍මෙම වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය මේ සියලු විපත් දුරලන්නකි. ඇත්ත වශයෙන්ම කුරුණෑගල ගොවි ජනතාවගේ ආයාචනයක් වූයේ ද මහවැලි ජලය ඔවුන්ටද ලබා දෙන ලෙසය. මහවැලි ජල සුරක්ෂිත ආයෝජන වැඩ සටහන ලෙස ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියට ශ්‍රී ලංකා රජයේ හා ආසියානු සංවර්ධන බැංකුවේ රු.මිලියන 16,000 ක් පමණ ආයෝජනය කෙරෙනු ඇත.

වයඹ පළාතේ ගොවි ජනතාවට බාධාවකින් තොරව කන්න දෙකම වගා කිරීම සඳහා ජලය ලබා දීම හා අනෙක් ජල අවශ්‍යතා ඉ‍ටු කිරීම ද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වී තිබේ. එසේම මොරගහකන්ද කළුගඟ ජලාශවල මෙන්ම අ‍වශේෂ ගංගා ද්‍රෝණිවල අතිරික්ත ජලය අපතේ නොහැර ප්‍රයෝජනයට ගැනීම ද මෙම ව්‍යාපෘතියේ අපේක්ෂාවකි. මෙයින් වයඹ පළාතේ පමණක් කුඩා වැව් 300ක් හා ප්‍රධාන වැව් 8කින්ද පෝෂණය වීමට ගොවි ජනතාවට හැකිවනු ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ වයඹ පළාත් ඇළ, ඉහළ ඇළහැර ඇළ හා මිණිපේ වම් ඉවුරු ඇළ යන ව්‍යාපෘති තුනක් සැලසුම් කර තිබේ. වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියෙන් කි.මි. 96ක් දිග නව ඇළ මාර්ග පද්ධතිය මීටර් 25ක් උස වේල්ලක් ද ඉදිවීම නිසා විශාල ජල ධාරිතාවක් ලබා ගත හැකි වනු ඇත. බෝවතැන්න සිට කලාවැව දක්වා මහවැලි ජලය ගෙන යන දඹුලු ඔයෙන් හරවන ජල ප්‍රමාණයක් වෑමඩිල්ල වැවට ද ලැබෙනු ඇත.

කුරුණෑගල හා මාතලේ දිස්ත්‍රික්ක අතර තිබුණු අතීත සමෘද්ධිය යළි උදාකර ගැනීම මෛත්‍රී ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී තිබේ. මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන ඒ සඳහාම සැලසුම් කරන ලද්දකි. මෙම ව්‍යාපෘතිය නිසා ග්‍රාමීය මාර්ග පද්ධතිය දියුණු වන අතරම රැකියා අවස්ථා ද වර්ධනය වනු ඇත. සමාජීය හා ආර්ථික විසමතා දුරලීමට මෙන්ම සමස්ත දුගී භාවය දුරලීමට ද මෙමඟින් සැලසුම් කර ඇත.

ක්‍රිස්තු පූර්ව පළමුවැනි සියවස තරම් ඈත යුගයකදීත් වාරි ශිෂ්ටාචාරයේ ප්‍රධාන ප්‍රතිඵලයක් ලෙස හැම ගමකටම වැවක් ලැබී තිබුණු බව ඉතිහාසයේ සඳහන් වේ. මහාචාර්ය පරණවිතාන මහතාට අනුව එදා ‘පරුමක’ නමින් නිලධාරින් පිරිසක් මෙරටේ වාරි කටයුතුවලට හා වාණිජ කටයුතුවලට මුල් වී ක්‍රියා කර ඇත. මහසෙන් රජු විසින් ඉදිකරන ලද මින්නේරි වැව නිසාම ජනතාව ඔහුට දේවත්වය පිරිනැමු බවද ඉතිහාසය දන්නෝ දනිති.

අපේ ආර්ථික, සමාජ හා සංස්කෘතික ආධ්‍යාත්මය පෝෂණය කරන ලද්දේ ද වැව විසිනි. රජරට වැව්වලින් ලෝකයා විස්මයට පත් කිරීමට පමණක් නොව අදීන ජාතියක් ලෙස නැඟි සිටීමටද අපට හැකිවී තිබේ. මහා පරාක්‍රමබාහු රජුගේ යශෝරාවය විදහා දක්වන පෙලොන්නරුව පිළිබඳ චූලවංශ කතුවරයා කරන වර්ණනාවෙන් තහවුරු වන්නේ ඔහු යටතේ එදා රටට හිමි වූ කීර්තිය හා අභිමානය පිළිබඳ සත්‍යය කතාවය. අහසින් වැටෙන දිය බිඳක්වත් මිනිසාගේ ප්‍රයෝජනයට නොගෙන මුහුදට වැටීමට ඉ‍ඩ නොදෙනුයි ජාතියට හඬඟා කී දාර්ශනික පාලකයා ද මහා පරාක්‍රමබාහුමය. ඔහු විසින් වාරිමාර්ග ව්‍යපෘති 53ක් අරඹන ලද බවද සඳහන් වේ. වේලි, ඇළ මාර්ග, ජලාශ ඉදිකරමින් කෘෂිකාර්මික විප්ලවයක් කිරීමට ද ඔහු සමත් වී ඇත.

පොලොන්නරුවට නිධානයක් බඳු පරාක්‍රම සමුද්‍රය පරාක්‍රමබාහු රජුට පමණක් නොව ශ්‍රී ලංකා දෙරණේ ජන්ම ලාභය ලද සියලු ජන කොටස් වලටම ආඩම්බරයකි. අඹන් ගඟ හරහා වේල්ලක් බැඳ නිමවු මෙම ජලාශයට ජලය ලබා ගන්නා ලද්දේ ආකාස ගංගා හෙවත් අඟාමැඬිල්ල ඇළෙන් යැයි ද ඉතිහාසයේ සඳහන් වේ.

දහතුන්වන සියවසේදී බිහිවූ විශිෂ්ට සාහිත්‍ය කෘතියක් වන පූජාවලියේ සඳහන්ව ඇත්තේද පොලොන්නරුවට ආභරණයක් මෙන්ම ලොවටම විස්මයක් බඳු පරාක්‍රම සමුදුර නිසැකයෙන්ම මහා සාගරයක් බවය. ජල කළමනාකරණය හා ජල පාලනය සඳහා අපේ ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද ‘බිසෝ කොටුව’ දෙවන සියවසේ තරම් ඈත යුගයකදී අප ලද තාක්ෂණික දැනුමට විශිෂ්ට නිදසුනක් බවද කියති. ලංකාව ගැන ආඩම්බර විය හැකි යැයි ජෝන් ඩේව් හා හෙන්රි පාකර් වැනි බ්‍රිතාන්‍ය ලේඛකයන් ලියන්නේ මේ වාරි ශිෂ්ටාචාරය දෙස බලාගෙනය. මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ හා පරාක්‍රම සමුද්‍රයේ එන ‘බිසෝ කොටු’ ඔවුන්ගේ විස්මයට හේතු වු බවද කියති. ඉන්දියාවට පවා මෙම වාරි තාක්ෂණය අහලකටවත් ළඟාවීමට හත්වෙනි සියවස තෙක් බලා සිටීමට ද සිදුවී ති‍බේ.

ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරයක් බවට පත් කිරීමට මහා පරාක්‍රමබාහු රජුට හැකි වූයේ ද ඒ වාරිමාර්ග හා කෘෂිකාර්මික සංවර්ධනයේ බල මහිමය නිසා බව ද රහසක් නොවේ.

මෛත්‍රී ජනාධිපතිවරයා මේ විශිෂ්ට වාරි සම්ප්‍රදායේත්, වාරි සංස්කෘතියේත් උරුමය ලද්දෙකි. ඒ අදීන ඉතිහාසයට උඩින් පැන හෝ එයට පිටු පා හෝ මේ රට සංවර්ධනය කළ නොහැකි බව ඔහු ඉතා මැනවින් පසක් කර ගෙන සිටියි. පොලොන්නරුව යනු බෞද්ධ හින්දු යන දෙවර්ගයේම බැතිමතුන්ට සෙවණ දුන් පින්බිමක් බව ද ඔහු දනී. එනුවර පාලනය කළ ද්‍රවිඩ හින්දු පාලකයන්ගේ සංස්කෘතිය මෙන්ම සිංහල රජවරුන්ගේ විශිෂ්ටත්වයද ඉඳුරා දත් මෛත්‍රී ජනාධිපතිවරයා ආගමික සාමයික සහජීවනය පිළිබඳ පළමු පාඩම උගන්නේද ඒ ප්‍රෞඪ රජ දහනෙන් බවද නිසැකය.

මහා පරාක්‍රමබාහු රජු පිළිබඳ අභිමානයෙන් සඳහන් කරන චූලවංශ කතුවරයා ඔහු කිසිවිටෙක කිසිවකින් කම්පා නොවූ ක්‍රියාශීලි හා ප්‍රීතිමත් මනසකින් හෙබි පාලකයකු ලෙස වර්ණනා කර තිබේ. ඔහුට සිය බල පරාක්‍රමය දකුණු ඉන්දියාව හා ඈත පෙරදිග කාම්භෝජය දක්වා වුවද පැතිරවීමට ශක්තියක් තිබුණු බවද එහි සඳහන් කර තිබේ.

මෛත්‍රී ජනාධිපතිවරයා එවන් විශිෂ්ටයකුගේ පරමාදර්ශය ප්‍රිය කරන පමණක් නොව ඊට සක්‍රීයව දායක වන පාලකයකු බවට ද පත්ව සිටියි. මේ රට එක් කළ හැක්කේ ද ඒ විශිෂ්ට උරුමය ජනසතු කර පූජා කිරීමෙන් බව මේ උදාර රජරැටියා පසක් කරගෙන සිටීම අපගේ භාග්‍යයකි. වැවෙන් දිය බී මුහුදට ආ වඩන දේශපාලනය බැහැර කළ මෛත්‍රී ජනාධිපතිවරයා ඒ පාරිශුද්ධ උරුමය සොයා ඊට ගෞරව කරන රාජ්‍ය නායකයා බවට ද පත්ව සිටියි.

ආර්ථික සංවර්ධනයේ ප්‍රමුඛ සාධකයක් බවට කෘෂි ආර්ථිකය සවිබල ගැන්වීම ඔහුගේ රාජ්‍ය පාලනයේ පරම සාධනීය ලක්ෂණයක් බවට පත්ව තිබේ. ආහාර නිෂ්පාදනය හා ආහාරවලින් ස්වයංපෝෂිත නොවී අපට ජාතික නිදහස සම්පූර්ණ කර ගත නොහැකි බව ඔහු ‍ඉඳුරා දැන සිටියි. මහසෙන්, මහ පැරකුම් වැනි රජදරුවන්ගේ අනුප්‍රාප්තිකයකු ලෙස ජාතික ආධ්‍යාත්මය පෝෂණය කිරීමටත් එමඟින් ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් රාජ්‍යයක් බවට පත් කිරීමටත් ඔහු කැපවී සිටින බව ද මේ වාරි සංස්කෘතිය සොයා යන දූෂ්කර එහෙත් සෞන්දර්ය චාරිකාවෙන් අපට පැහැදිලිය.

දැයේ අබිමන දැයේ නිදහස වැවෙනි රැකුණේ
අගේ කළ වැව දැස් විස්මයෙනි බැඳුණේ
යුගේ පැරකුම් උරුමයයි හදවතෙහි රැඳුණේ
මගේ දේශය මගේ ජාතිය වැවෙනි නැගුණේ

 

 

Comments