පාන් ජනප්‍රිය කරන හාල් අර්බුදය | Page 6 | සිළුමිණ

පාන් ජනප්‍රිය කරන හාල් අර්බුදය

 

“රජය කියන උපරිම සිල්ලර මිලට හාල් නැහැ” ඔය රටින් ගෙනාපු හාල් කන්න බැහැ” මේ අද ගෙවල්වල නිතර ඇසෙන කතාවකි. රජය කියන්නේ පිටරට හාල් දැන් අඩු මිලට ඇති බවයි.

මේ පිළිබඳ ඇත්ත නැත්ත කුමක් ද? එමෙන්ම තුන් වේලටම බත් කෑ අපට මේ වෙන්නේ මොකක්ද? යළිත් අඩු මිලට හාල් ගන්න පෝලිම්වල තැපීමට ද නැත්නම් පාන්ගෙඩියේ රස බැලීමට ද?

රටේම බත් කන ජනතාව මුහුණ දී ඇති මේ හාල් අර්බුදය පිළිබඳව අපි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සොයා බැලුවෙමු.

හාල් අර්බුදයට ප්‍රධාන හේතුව රට ඇතුළත සහල් වෙළෙඳපොළට ඉල්ලුම සපිරීමට හාල් නොලැබීමයි. වෙළෙඳපොළේ හාල් මිල රුපියල් 100ටත් වඩා ඉහළ නැඟ තිබේ. පසුගිය මාසයේ වෙළෙඳ පොළේ වී මිල කලෝවක් රුපියල් 40ක් විය. මේ නිසා සහල් මිල අඩු කිරීමට මොන ජගතකුටවත් හැකි වුණේ නැත. මේ අතර රට ඇතුළත හාල් මිල අඩුවෙන්නේ නැති නිසා රජය පිටරටින් හාල් ගෙන්වීය. මේ අතර පිටරටින් ගෙන ආ සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 76ට වඩා වැඩි මිලකට අලෙවි කළ නොහැකි බව රජය නියම කළේය. නමුත් තොග ව්‍යාපාරිකයෝ පිටරට හාල් අඩු මිලට අලෙවි කළේ නැත.

සහල් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රජය විසින් ජනවාරි 27 සිට රුපියල් 13 සිට රුපියල් 5 දක්වා අඩු කළේය. මුදල් අමාත්‍යාංශය කියන්නේ හාල් කිලෝවකට රුපියල් 50 ක පමණ බදු අඩුවීමක් කළ බවයි. නමුත් එහි ප්‍රතිලාභ ජනතාවට ලැබුණේ නැත. පසුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කළේ සහල් සඳහා උපරීම සිල්ලර මිලක් නියම කිරීමයි. ඒ අනුව සම්බා සහල් සඳහා කිලෝවකට රුපියල් 80ක් නාඩු සහල් සඳහා රුපියල් 72ක් හා කැකුළු සඳහා රුපියල් 70ක් ලෙස අලෙවි කළ යුතු බවට මිල නියම කෙරිණි.

ඉන්පසු පාරිභෝගික අධිකාරිය වැඩි මිලට හාල් විකුණන ස්ථාන වැටලීමට පියවර ගත්තේය. වැඩි මිලට ගත් හාල් අඩු මිලට විකිණීම ප්‍රතික්ෂේප කළ වෙළෙන්දෝ හාල් සැඟවූහ. හාල් අලෙවිය නතර කළේය. “පොලොන්නරුවෙත් අද හාල් කිලෝ 1ක්වත් ගන්න තැනක් නැහැ.” අපේ පොලොන්නරුව විශේෂ වාර්තාකරු පැවසුවේ පසුගිය බදාදාය. මේ තත්ත්වය මත ජනතාව පිටරට හාල් මිලදී ගත්තේය.

නමුත් පාරිභෝගික ජනතාව වැඩි පිරිසක් පැවසුවේ පිටරට හාල් පිසීමට අමාරු බවත් කිසිම රසක් නැති බවත්ය. ඒ හාල්වල අපේ බතේ රස නැහැ. අපිටනම් කන්න බැහැ. දැන් ඉතින් පාන්වල පිහිට තමයි. පාරිභෝගිකයෝ පිරිසක් අප සමඟත් පැවසූහ. ඒ අනුව දැන් වෙළෙඳපොළේ මෙරට හාල් විකිණීමට නොමැත. ඇත්තේ රට හාල්ය. ඒවා කෑම අමාරුය. පිසීම අමාරුය. මේ නිසා සිදුවූ ලොකුම විපත තුන්වේලම බත් කෑ අප යළි පාන්පිටි කෑමට යොමු වීමයි.

ඊට පසු සිදුවූ තවත් දෙයක් වන්නේ යළි පෝලිම් යුගයක් ඇති වීමයි. ඒ අනුව ලක් සතොස මඟින් රුපියල් 70 හාල් මිලදී ගැනීමට පෝලිම්වල රැඳීමට සිදු විය. එසේ ගත් සමහර හාල්වල ගුණාත්මක බව රස අඩු බවට පාරිභෝගිකයෝ ම චෝදනා කළහ. නමුත් මීට විසඳුමක් දෙන්නට කවුරුවත් ඉදිරිපත් නොවීය.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අලෙවි හා ආහාර ප්‍රතිපත්ති සැලසුම් අංශයේ ප්‍රධානී දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසන්නේ රජය මේ ගැටලුව අවම කිරීමට රජය සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2 1/2ක් පිටරටින් ගෙන්වීමට තීරණය කර ඇති බවයි.

අද අපේ රටේ ලොකු හාල් හිඟයක් නැහැ. මහා පරිමාණයේ හාල් මෝල් හිමියෝ තමයි මේක මවාපාන්නේ. තව සතියක් දෙකක් යන විට මහ කන්නයේ හාල් වෙළෙඳපොළට එනවා. මෙවර මහ කන්නය හුඟක් අසාර්ථක වෙයි කියලා හිතුවත් කුඹුරු හෙක්ටයාර ලක්ෂ 5ක් වගා කරන්න පුළුවන් වුණා.

 එමඟින් වී මෙට්‍රික් ටොන් 14 1/2ක් විතර ලැබේවි. ඒ අනුව තව මාසයක් ඇතුළත අපේ වෙළෙඳපොළට හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8කට වඩා ලැබෙනවා. ඒ හාල් ටික මැයි මුල වන තෙක් මුළු රටටම ඇති. මේ අනුව ඉදිරියේදී හිඟයක් නැහැ. ඊට අමතරව මහා පරිමාණ මෝල් හිමියෝ ගාව තව මාස ගානකට හාල් තිබෙනවා.

මේ හාල් අර්බුදයට ප්‍රධානම හේතුව වී අලෙවි මණ්ඩලය කලට වේලාවට මෙරට වෙළෙඳ පොළට තම වී ටික අඩු මිලට අලෙවි නොකිරීමයි. වී අලෙවි මණ්ඩලයේ එක අරමුණක් විය යුත්තේ වෙළෙඳ පොළේ වී මිල හාල් මිල වැඩි කාලෙට අඩු මිලට තම වී වෙළෙඳපොළට දාලා හාල් මිල අඩු කිරීමයි. නමුත් ඒක කළේ නැහැ.

නොවැම්බර් මාසේ මේ වී ටික සතොසට දුන්නානම් මෙහෙම හාල් මිල වැඩි වන්නේ නැහැ. අනෙක් එක කොහොමහරි සතොට වී ටිකක් දෙන්න ඕනෑ. දැන් වැඩිපුර හාල් තියෙන්නේ හාල් වෙළෙඳ පොළට දාන්නෙ නැති මහා පරිමාණ වී මෝල් හිමියෝ ළඟ. මේ නිසායි ප්‍රශ්නය දරුණු වෙලා තියෙන්නේ.

දැන් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ වී මෝල් හිමියන්ට අවම මිලට හාල් දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට පුළුවන් වෙලා තිබෙනවා. ඒත් මහා පරිමාණ මෝල් හිමියාට දෙන්න බැරි ඇයි? මහ මෝල් හිමියෝ පසුගිය මහ කන්නයේ අස්වැන්න ගත්තේ රුපියල් 32ට - 35ට ඒ සම්බා වී කිලෝ එකක් හාල් කළාම ලාභයකුත් තියාගෙන රුපියල් 80ට දෙන්න පුළුවන්. නමුත් අද සම්බා හාල් 100ට ගිහිල්ලා. මහා පරිමාණ ව්‍යාපාරිකයෝ මේකෙන් ලොකු ලාභයක් ගන්නවා. ඒක ඉතා අසාධාරණයි.

මාගේ අදහස අනුව පිටරට හාල්වලටත් අපේ හාල්වලටත් එක උපරීම මිල දමපු එක වැරැදියි. ඒක වෙනස් විය යුතුයි. අද අපි කළ යුත්තේ අපේ සහල් වෙළෙඳපොළ ශක්තිමත් කිරීමට තවත් හාල් වෙළෙඳපොළට එවීමයි. යනුවෙන් දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසයි.

මේ අතර මේ වන විට සහල් තොග මිල පහත බසිමින් පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙදුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් ජී. එස්. නාදන් මහතා පවසන පරිදි දැන් පිටකොටුවේ නාඩු හා කැකුළු හාල් කිලෝ 1ක තොග මිල රුපියල් 65 - 67 අතරය. සම්බා කිලෝ 1ක තොග මිල 73 - 74 අතර වේ.

නමුත් මේ මිලට හාල් පාරිභෝගික ජනතාවට ලැබෙන්නේ නැති බව පාරිභෝගිකයන්ගේ මතය වී තිබේ. එය අතරමැදියන්ගේ ප්‍රශ්නයකි. මේ අතර මරඳගහමුල සහල් වෙළෙඳ සංගමයේ සභාපති කේ. බී. රංජිත් මහතා පවසන්නේ මරඳගහමුල සහල් වෙළෙඳපොළට සහල් තොග හිමියන්ගේ පැමිණීම මේ දිනවල ඉතාම අඩු බවයි. මේ අනුව ඉදිරියේදී වෙළෙඳපොළේ හාල් හිඟයක් රට ඇතුළත ඇති වනු ඇතැයි ද කේ. බී. රංජිත් මහතා උපකල්පනය කරයි.

පොලොන්නරුව දිස්ත්‍රික් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා පවසන්නේ අඩු මිලට වී ගත් මහා පරිමාණ හාල් මෝල් හිමියන්ට උපරීම මිලට සහල් වෙළෙඳපොළට දැමීමට බැරි වූවත් 56 දෙනෙක් සාමාජිකත්වය දරන තම සංගමය පසුගිය බ්‍රහස්පතින්දා සිට උපරිම සිල්ලර මිලට හාල් මෙට්‍රික් 20600 අලෙවි කිරීම අරඹන බවයි.

මහ පරිමාණ හාල් මෝල් හිමියෝ රුපියල් 32 - 36ට තමයි ඉස්සර වී අරන් තියෙන්නෙ. මාස දෙකකට රටට කන්න ඇති තරම් ඒ අය ළඟ තිබෙනවා. ඒ අය හාල් පොඩ්ඩ පොඩ්ඩ තමයි වෙළෙඳපොළට දාන්නෙ. වී අලෙවි මණ්ඩලය වැඩිපුර වී දුන්නෙත් මහා පරිමාණ වී මෝල් හිමියන්ට.

දේශපාලන හිතවත්කම්වලටත් වී ලාබෙට දුන්නා. සමහරු පස්සෙ ඒ වී තොග රුපියල් දෙකක් ලාභ තියාගෙන අපට අලෙවි කළා. මණ්ඩලයෙන් පොඩි මිනිහාට වී දුන්නෙ නැහැ. අපි ළඟ දැන් තියෙන්නෙ වැඩි මිලට ගත්ත වී විතරයි. ඒත් රටේ ජනතාව පිළිබඳවත් රජය අපහසුතාවට පත්වීම පිළිබඳවත් ගැන හිතලා තමයි අපි මේ උපරීම සිල්ලර මිලට හාල් දෙන්න වැඩ පිළිවෙළක් හැදුවේ.

දැන් හාල් ප්‍රශ්නය නිසා කොළඹ හා අවට සියලු ආපන ශාලා 19 වැනිදා වැසෙන්නත් පටන් අරන්. අපි ඒ අයටත් මේ හාල් දෙන්න ලෑස්තියි.

ඉදිරියේදී මාර්තු මැද වන විට අපේ සහල් වෙළෙඳ පොළට ගමේ හාල් ලැබෙනවා. ඒ එක්කම නගරයටත් හාල් එනවා. එතකොට ඔය රටට මාස ගණන් කන්න පුළුවන් හාල් හංගාගෙන ඉන්න මහා පරිමාණ හාල් ව්‍යාපාරිකයන්ට හුඟක් පාඩු වේවි. මේ කරන වැඩේ වක්කඩේ හකුරු හැංගුව වාගේ වැඩක් වේවි.

අලුත් වැඩපිළිවෙළ අනුව උපරීම මිලට රුපියල් 70ට හාල් ලබාදීම පිණිස දැන් පොලොන්නරුව දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය නමින් තවත් සංවිධානයක් පිහිටුවාගෙන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යනු ලබන බවත් මුදිත පෙරේරා මහතා පවසයි.

මෙරට හාල් මිල පාලනයට මෙරට ඇති සුළු හා මධ්‍ය පරිමාණයේ හාල් මෝල් හිමියෝ ද මහඟු කාර්යයක් ඉටු කළහ. අප රට තුළ එවැනි හාල් මෝල් 3500ක් පමණ තිබේ. නමුත් වී නොලැබීම් නිෂ්පාදන ඇණහිටීම හා ණය ගෙවා ගැනීමට නොහැකි වීම නිසා මේ වන විට කුඩා හා මහ පරිමාණ වී මෝල් 3000ක් පමණ වසා දමා අවසානය.

සමස්ත ලංකා සුළු හා මධ්‍යම පරිමාණයේ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ කැඳවුම්කරු ක්‍රිෂාන්ත අත්තනායක මහතා පවසන්නේ තම සංගමයේ කිසිම අයකුට වී අලෙවි මණ්ඩලයේ වී නොදුන් බවය. ඒ අතර පසුගිය වසරක පමණ කාලයක ඇතුළත තම සාමාජිකයන්ට වී මිලදී ගැනීමට මහා පරිමාණ මෝල් හිමියන් බාධා එල්ල කළ බවත් මේ නිසා දැන් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ හාල් මෝල්වලින් සියයට 90ක් වැසි ඇති බවත් අත්තනායක මහතා පවසයි.

අපිට වී දෙන්නෙත් නැහැ. කිලෝවක් රුපියල් 40ට අරන් අපි හාල් විකුණන්නේ කොහොමද? අපිට ණය දෙන්නෙත් නැහැ. මේ නිසා අපි සියලු දෙනා අසරණ වෙලා. අපේ ණය ගෙවාගන්න බැරිම සමහර අයගේ මෝල් බැංකුවට අයිති වෙලා.

අපි කියන්නෙ මේ රටේ ඉන්න සුළු හා මධ්‍යම පරිමාණ හාල් මෝල් හිමියන්ට සහන මිලට වී අලෙවි මණ්ඩලයෙන් වී ටිකක් දෙන්න අපි උපරීම මිලට හාල් දෙන්නම්. එවිට වෙළෙඳ පොළේ හාල් මිල අඩු වේවි. දිගටම ඒ වැඩේ කෙරුණොත් ආයි කවදාවත් හාල් මිල මේ තරම් ඉහළ යන්නෙ නැහැ.

වී අලෙවි මණ්ඩලය තම ආදායම ඉහළ දැමීමට පමණක් කටයුතු නොකර ජනතාව හා රට ගැනත් රජය ගැනත් සිතා බලා මධ්‍යම හා කුඩා ප්‍රමාණයේ හාල් මෝල් හිමියන්ටත් වී අලෙවි මණ්ඩලය සහන මිලකට වී ලබාදුන්නානම් උපරීම සිල්ලර මිලට පාරිභෝගිකයන්ට හාල් ලබාදීමට අපට පුළුවන්” ක්‍රිෂාන්ත අත්තනායක මහතා පවසයි.

මේ අනුව බලන විට අපේ රටේ වෙළෙඳපොළට ඉදිරි සති 2 - 3 ඇතුළත එතෙරින් හා මෙතෙරින් තවත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් පමණ ලැබේ. කළ යුත්තේ මනා කළමනාකාරිත්වයක් ඇතිව හා ප්‍රමිතිය සොයා බලා ඒ සහල් රට පුරා බෙදාහැර මේ අර්බුදය විසඳීමට කාර්යක්ෂමව කටයුතු කිරීමයි. එවිට මේ වකවානුවේ දෙයියන්ගේ හාල් කෑ අය මෙන් ප්‍රශ්න ඇතිකර ගැනීමට හේතු කාරණා ඇතිවන්නේ නැත.

 

Comments