දුම්බර හිරගෙදර පල් හොරු... | සිළුමිණ

දුම්බර හිරගෙදර පල් හොරු...

 

හිරගෙදර ඇතැම් නිලධාරින් හොරා කන්නට පුරුදු වුයේ අද හෝ ඊයේ නොව. ඇතැම් අය හොරා කෑවාට ගෙඩි පිටින් තොග පිටින් කන්නට ගියේ නැත. එක අතකට මෙයට හොරා කෑම යැයි කියන්නට බැරිය. මෙයට කිව හැකි හොඳම නම නම් අල්ලස් ගැනීම විය යුතුය. මේ ලිපිය කියවා අවසානයේ මොවුන්ට කිවයුතු නම කුමක්දැයි ඔබම තිරණය කරන්න.

හිරගෙදර නිලධාරීන් සිටින්නේ සිරකරුවන් බලා ගැනීමටය. ඇතැම් නිලධාරීන් නම් සිරකරු සුබ සාධනය පිළීබඳ බොහෝ කැප වීමේන් කටයුතු කරන්නේය. මේ කියන්නට යන්නේ සිරකරුවන් සහ නිලධාරින් දෙතුන් දෙනෙකු එක් වී තම තමන්ගේ සුබ සාධනය කරගන්නා ආකාරය පිළිබඳව ය.

බෝගම්බර බන්ධනාගාරයට අධිකාරීවරයෙක් මෙන්ම සෙසු නිලධාරීන් පත්කර සිටින්නේය. ඒ ඔවුන්ගෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට හොඳ සේවාවක් ලබාදේවී යැයි පාලනාධිකාරීය අනිවාර්යය විශ්වාසය ඇති නිසාය. නමුදු බන්ධනාගාර තොරතුරු අනුව අපට වාර්තා වන්නේ නම් අද වන විට බන්ධනාගාරයේ සියලු කටයුතු සිදුවන්නේ සිරකරුවන් කිහිප දෙනෙකුගේ ඕනෑ එපාකම අනුව මත බවය. මෙහිදි බන්ධනාගාර අධිකාරීවරයා පාලනය කරන තත්ත්වයට ද මේ සිරකරුවන් බලවත් වී ඇත්තේය. දැන් බෝගම්බර සියල්ල තිරණය වන්නේ මුදල් මතය.

බෝගම්බර බන්ධනාගාරයේ බලවතකු වී සිටි 'කන්නන්' නමැත්තා මේ වන විට ඇපමත මුදා හැර සිටින්නේය. ඔහු බෝගම්බර බන්ධනාගාරයේ සිට සෑම නඩු වාරයක් සඳහා ම මීගමුව බන්ධනාගාරයට ගෙන ගොස් ඇත්තේය . එසේ යන ගමන්වලදී සිරකරු විසින් අදාළ අධිකාරිවරයාට රුපියල් හැත්තැ පන්දහසක මුදලක් ලබා දෙන බවද මේ පිළිබඳ තොරතුරු දන්නෝ පවසති.

මේ අතර බෝගම්බර බන්ධනාගාරයේ නිලධාරීන්ගේ සියලු මාරුවීම් ආදිය මෙන්ම තමන්ගේ වට පිටාව තමන්ට ඕනෑ ආකාරයට සකස් කර ගැනීමට 'කැප්ටන්' නමැත්තා කටයුතු යොදාගෙන ඇත්තේය. කැප්ටන් යනු හමුදාවේ සේවය කළ අයෙකි. ඔහු ජීවිතාන්තය දක්වා සිර දඩුවම් විදින අයෙකි. සාමාන්‍යයෙන් නම් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් විඳින අයෙකුට එළියට යාමට අවසර නැත.

නමුත් බෝගම්බර බන්ධනාගාරයේ සිටින මේ දළ කාරයන්ට නම් ඕනෑ ඕනෑ හැටියක‍ට හැසිරෙන්න‍‍ට අධිකාරිවරයාගේ අනුමැතිය ලැබී ඇත්තේය. ඒ අනුව 'කැප්ටන්' ' විසිට් ' යන්නේ ( තම ගෙදර අයව හමුවන්නේ ) අධිකාරීවරයාගේ නිල නිව‍සේ දී හෝ අධිකාරීවරයාගේ කාර්යයාලයේ දීය. කාර්යාලීය කටයුතු සියල්ල කෙරෙන්නේ මොහුගේ ඕනෑ එපාකම් මතය. අනෙක් සිරකරුවන් සවස පහට වැසෙන විට කැප්ටන් වාට්ටු වැහෙන්නේ රාත්‍රි හතටය .

අනෙක් සිරකරුවන්ට ප්‍රථම උදෑසන පහට කැප්ටන්ට වාට්ටුව ඇරෙන විට ඔහු අධිකාරීවරයාගේ කාර්යාල‍යේදී එහි ඇති පරිගණක පාවිච්චි කරමින් අන්තර්ජාලයේ සරන්නේය. මොහු තම බලය එලෙසින් බෝගම්බර හිර ගෙදර දි පාවිච්චි කරන විට තවත් අයෙකු කිසිදු කරදරයකින් තොරව තම මත්ද්‍රව්‍ය ව්‍යාපාරය යහති්න් කරගෙන යන්නේය. ඔහු තම නිවැසියන් ලවා සතියකට කුඩු ග්‍රෑම් 500ක් පමණ හිර ගෙය තුළට ගෙන්නා ගන්නා අතර ඉන් ග්‍රෑම් 250 තම ප්‍රයෝජනයට තබා ගන්නා අතර ඉතිරි ග්‍රෑම් 250 හිර ගෙය තුළ බෙදා හරින්නේය.

රුපියල් 500 සිට රුපියල් 5000 දක්වා මිල ගණන් වලට මෙහිදි කුඩු විකිණෙන්නේය. මුදල් හුවමාරු වන්නේ 'ඊෂි කෑෂ්' ක්‍රමයට අනුවය. මේ සියලු තක්කඩි වැඩ හිර ගෙදර දී කිරිමට නම්එ හි බලධාරීන්ගේ සහාය මොවුන් සඳහා නොඅඩුව ලැබිය යුතුය . මුදලට කෑදර අධිකාරීවරයා මේ සියල්ලට ඉඩ දී ඇත්තේ තමන්ගේ අතට ද 'කුට්ටිය ' ලැබෙන බැවිනි. බලධාරියා මෙන්ම මේවාට හා 'හ්ම් ' කියන නිලධාරීන් රොත්තක් ද සිටින බැවින් මේ සිරකරුවන්ට තමන්ගේ 'බිස්නස්' යහතින් කරගෙන යාමට ඉඩ ලැබී ඇත්තේය.

මෙම ක්‍රියා පටිපාටියට අකැමැති යම් නිලධාරියෙක් වෙත් නම් ඔහුට මාරුවීම් හෝ වෙනත් ප්‍රශ්න මතුකරන්නේ ද හිරකරුවන් විසින්මය. මේ දුෂණ පිළිබඳ වාර්තා වීමෙන් පසු මෙම සිරකරුවන් අතරින් 'කැප්ටන්' වෙනත් බන්ධනාගාරයකට මාරු කර යවන ලෙස බන්ධනාගාර අධිකාරීවරයා විසින් නියෝගයක් නිකුත් කර තිබුණද මේ වනතුරු එය ක්‍රියාත්මක ‍වී නැත. මේ පිළිබඳ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් විමතිය පළකරන්නේය.

‍ ඉදින් අද වන විට මෙවැනි වු දුෂණ රැසක් යටතේ පවත්වා ගෙන යන බෝගම්බර බන්ධනාගාරයේ අනාගතය කෙසේ විස දෙනු ඇත්ද? බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට හෝ මේ දුෂණ වළක්වාලිය හැක්කේ ඇයිදැයි යන්න කාටත් ඇත්තේ විමතියකි.

නිලධාරින් දෙන්නෙකු තුන්දෙනෙකු මේසා දුෂණ අල්ලස් ගැනීම්, සිරකරුවන් මෝරුන් වී බෝගම්බර බන්ධනාගාරයට සිදුවන හානිය පිළිබඳ අදාළ ඇමැතිවරයා හෝ නිසි ක්‍රියා මාර්ගයක් නොගන්නේ ඔහු ද මේ සියල්ලටම ආශිර්වාද කරන බැවින් දැයි මෙම ලියුම්කරු ප්‍රශ්න කරනු ලැබේ. මත්ද්‍රව්‍ය රටට ගෙන්වන ඒවා රට පුරා බෙදාහරින ඒ මදිවාට නිතියට හසු වු විට, හිරේ ගිය විට එහි ද අණසක පතුරවා ගෙන සිටින සිකරුවන්ට රැකවරණය සලසන, එවැනි හිරකරුවන්ගෙන් ලැබෙන ලක්ෂ ගණනක මුදලින් 'ෂෝක්' කරන ඇතැම් විට සිරකරුවන්ගේ මුදලින් පිට රට සවාරි ගසන නිලධාරීන් පිළිබඳ නිතීය ක්‍රියාත්මක වන්නේ කවදාද?

විශේෂ ලියුම්කරුවකු විසිනි. 

Comments