
බෙංගාල බොක්ක කුණාටු වලට ප්‍රසිද්ධියක් උසුලයි - ඇතැම් විට පෝක් සමුද්‍ර සන්ධිය හරහාද කුණාටු හමාඑයි. ශ්‍රී ලංකාවට වැඩිපුර දැනෙන්නේ තමිල්නාඩුව හරහා හමාඑන දේශපාලනික කුණාටුය. මේ වන විටද තමිල්නාඩුව දේශපාලනික කුණාටුවකට ගොදුරු වී තිබේ. වී කේ සසිකලා හෙවත් සසිකලා නටරාජන් මේ වනවිට කර්ණාටක ප්‍රාන්තයේ පරප්පානා අග්‍රහාර බන්ධනාගාරයේ සිරකරු අංක 9234 ලෙස වසර හතරක සිරදඬුවමක් විඳීම අරඹා ඇත. තමිල්නාඩුවේ නව මහ ඇමතිනිය වශයෙන් ප්‍රාන්ත පාලනය ඇරඹීඹට සිහින මැවූ ඇයට දැන් බන්ධනාගාරයේ සිට ජීවනෝපාය ලෙස ඉටිපන්දම් තැනීමට සිදුවනු ඇත. ඉන්දීය රුපියල් කෝටි සිය ගණනින් අයථා වත්කම් රැස්කළ බවට නීතිය ඉදිරියේ වැරදිකාරිය වූ ඇයට දිනකට රුපියල් 50ක වේතනයක් සිරගෙදරදී ලැබෙනු ඇත. ස්වකීය සුපිරි නිවහන වූ චෙන්නායි හි පෝස් ගාඩන් මන්දිරයේ සුවපහසු සයනය වෙනුවට ඇයට සැතපීම සඳහා ලැබෙන්නේ සිමෙන්ති පොළවය. ඇඳක් අවශ්‍ය නම් ඇය ඒ සඳහා ප්‍රාන්ත පාලනයෙන් ලිඛිත ඉල්ලීමක් කළ යුතුය. සියගණන් වර්ණවත් හා වටිනා සාරි වලට හිමිකම් කී ඇයට හිරගෙදරදී ලැබෙනු ඇත්තේ කාකි පැහැති දළ කපු සාරි තුනක් සහ හැට්ට තුනකි. එහෙත් සශිකලා සිරගෙදර සිටිමින් ඉටිපන්දම් තනමින් දිනක රුපියල් 50ක වැටුපට සේවය කිරීමට සූදානම් නොවනු ඇත. ඊට වඩා බරපතළ වගකීම් සහිත රාජකාරි ඇයට තිබේ. ප්‍රධාන වශයෙන්ම ඇය අපේක්ෂා කරන්නේ සිරගෙදර සිටිමින් තමිල්නාඩුව පාලනය කිරීමයි. වෙනත් වචන වලින් කිවහොත් තමිල්නාඩුවේ සැඟවුණු එහෙත් සැබෑ නායිකාව බවට පත්වීමටයි. ඒ සඳහා සශිකලා යොදාගන්නේ තම ස්වාමිවරිය වූ අභාවප්‍රාප්ත මහඇමතිනි ජයලලිතා ජයරාම් යොදාගත් සරල දේශපාලනික උපක්‍රමයයි. එනම් රූකඩ පාලකයකු පත් කිරීමයි. ප්‍රශ්නය වී ඇත්තේ ජයලලිතාගේ රූකඩ පැංචා වූ ඕ පනිර්සෙල්වම් ඉතිහාසය පුරා අනුගමනය කළ නිද්‍රාශීලී ගැති පිළිවෙත අතහැර එකවරම ජයලලිතාගේ ප්‍රබල අන්තේවාසිකාව වූ සශිකලාට එරෙහිව නැඟී සිටීමයි.
තමිල්නාඩු ආණ්ඩුකාර සී විද්‍යාසාරග රාඕ පසුගිය බ්‍රහස්පතින්දා උදේ තමිල්නාඩුවට නව මහඇමතිවරයෙක් පත් කළේය. ඒ එදප්පාදි පලනිසාමිය. ඔහු ප්‍රාන්ත සභාවේ වත්මන් ප්‍රවාහන ඇමතිවරයා ද වෙයි. දින 15ක් ඇතුළත තමිල්නාඩු ප්‍රාන්ත මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහාය දිනා තම පදවිය තහවුරු කරගැනීම සඳහා ඔහුට අවස්ථාව ලබාදී තිබේ. තමිල්නාඩු දේශපාලන ආරංචි මාර්ග පවසන ආකාරයට පලනිසාමි යනු අන් කවරෙකු හෝ නොව තමිල්නාඩුවේ චින්නම්මා හෙවත් වත්මන් කුඩම්මා හෙවත් වී කේ සශිකලාගේ රූකඩ පැංචාය.
ඔහු චෙන්නයි නුවර සිට පාලන කටයුතු සිදුකළද මෙහෙයවීමේ රැහැන් කර්ණාටක ප්‍රාන්තයේ පරප්පානා බන්ධනාගාරයේ සිරකරු අංක 9234 විසින් පාලනය කරනු ඇතැයි විශ්වාස කෙරේ. පලනිසාමි පක්ෂයේ මීළඟ මහඇමති අපේක්ෂකයා ලෙස පත්කළේ හදිසියේ කැඳවූ පක්ෂ විධායක කමිටු රැස්වීමකදී සශිකලා විසිනි. එම තීරණය පක්ෂයේ ප්‍රබලයන් විසින් අනුමත කරනු ලැබූ බව වාර්තා විය. පලනිසාමි යනු තමිල්නාඩු ප්‍රාන්ත සභාව සශිකලාට ඉතා සමීප හා විශ්වාසවන්ත චරිතයක් සේ සැලකේ. සශිකලා තම ආධිපත්‍යය ගිලිහී යාම වළක්වාලීම සඳහා ගත් ප්‍රබලතම හා අවසන් ක්‍රියාමාර්ගය ලෙස එය සැලකේ.
මේ අනුව සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් හෙවත් ඒ අයි ඒ ඩී එම් කේ පක්ෂයේ අනාගතය කුමක්ද? වත්මන් පාලන බලයට හිමිකම් කියන සශිකලා හා ඊට අභියෝග කරන ඕ පනිර් සෙල්වම් අතර විවෘත සටනේ අවසානය පක්ෂය දුර්වල වීමද? ඒ අයි ඒ ඩී එම් කේ පක්ෂය බිහිවන්නේ 1972 වසරේ හිටපු දෙමළ සිනමා දැවැන්තයා හා පසුකාලීනව ඉන්දියාවේ මුල්පෙළේ හා ප්‍රබලතම දේශපාලනඥයෙකු වූ එම් පී රාමචන්ද්‍රන්ගේ සංකල්පයකට අනුව ඔහුගේ නායකත්වය පෙරදැරි කරගනිමිනි. මුතුවෙල් කරුණානිධිගේ නායකත්වයෙන් යුත් ඩී එම් කේ පක්ෂයට නව පක්ෂයෙන් එල්ල වූයේ අභියෝගයකි. අවස්ථා කිහිපයකදීම තමිල්නාඩුවේ පාලන බලය හිමිකර ගත් ඒ අයි ඒ ඩී එම් කේ පක්ෂ නායකත්වය එම් පී ආර් හෙවත් රාමචන්ද්‍රන් ඍජු පාලනයක් ගෙනගියේ සිනමාව තුළින් ජනප්‍රියත්වයද උපයෝගී කරගනිමිනි. එදා රාමචන්ද්‍රන් ප්‍රබල නායකයෙකු වශයෙන් තමිල්නාඩුවට නායකත්වය දෙද්දි ඔහු අසලින්ම සිටි චරිතය ජනකාන්ත සිනමා නිළි ජයලලිතා ජයරාම්ය. එම සබඳතාෙව් අවසන් ප්‍රතිඵලය ජයලලිතා දේශපාලනික වශයෙන් බලවත් වීමයි. 1987 එම් ජී ආර් හෙවත් රාමචන්ද්‍රන් මියයද්දී හිඩැස පිරවීමට ජයලලිතා සමත්වූවාය. ඒ පක්ෂයේ නායකත්වය සඳහා එම් ජී ආර් ගේ බිරිය වූ ජානකී රාමචන්ද්‍රන්ගෙන් එල්ල වූ අභියෝගයද පරාජය කරමිනි. ඒ ඇය සතුව තිබූ සිනමා නිළි - පූජනීය ප්‍රතිරූපය හා එම් ජී ආර් ඇසුරෙන් ලබාගත් දේශපාලනික ප්‍රතිරූපය යොදා ගනිමිනි. ජානකී රාමචන්ද්‍රන්ගේ පාර්ශ්වයෙන් එල්ල වූ අභියෝගය ඉතා කෙටිකලකින් පරාජය කිරීමට ජයලලිතා සමත් වූවාය. එහෙත් සශිකලා යනු නිළියක හෝ දේශපාලනික නායිකාවක නොවේ. ඇය හුදෙක් ජයලලිතාගේ අතවැසියාය. ඇයට ආවතේව කරමින් හා ඇයගේ රහසිගත මෙහෙයුම්වලට සම්බන්ධ වෙමින් හා ඇතමුන් කියන පරිදි කෝටි සංඛ්‍යාත අයථා ධනය රැස්කරමින් සසිකලා රඟදැක්වූයේ ප්‍රබල නායකත්වයක විශ්වාසවන්ත සේවිකාවගේ භූමිකාවය. අයථා වත්කම් පිළිබඳ චෝදනා අධිකරණය හමුවේ සනාථ වී ඇති බැවින් ඒවා තවදුරටත් හුදෙක් චෝදනා පමණක් වන්නේ නැත. සසිකලාට දේශපාලනික පරිණත බවක් හෝ විද්වත්භාවයක් හෝ ජයලලිතාට මෙන් ජනකාන්ත භාවයක් නොතිබුණ ද මැකියාවෙල්ලියානු දේශපාලනඥයෙකු සතු ලක්ෂණ ඇයට තිබිණ. . සසිකලාටද අවස්ථාව හා පුද්ගලයන් හොඳින් හඳුනාගෙන නියමිත වෙලාවට තුරුම්පු පාවිච්චි කිරීමටත් බූවල්ලෙකු සේ අඩු විහිදා සියල්ල ග්‍රහණය කර ගැනීමටත් ශක්තිය ඇති කාන්තාවකි. එහිදි ඇය විවිධ සබඳතා ගොඩනඟා ගනිමින් හා ජයලලිතාගේ බලය අයුතු ලෙස යොදවා ගනිමින් පක්ෂයේ අභ්‍යන්තරය තුළ ක්‍රමයෙන් ස්ථානගතවීමේ අති ශූර උපාය මාර්ගය සාර්ථක ලෙස අනුගමනය කළාය. තමන්ගේ ඥාතින් පක්ෂය තුළට මෙන්ම ජයලලිතාගේ අභ්‍යන්තර වටයට එනම් සමීපතම කණ්ඩායමට එක්කර ගැනීමට ඇය සමත් වූවාය. එය පක්ෂයේ ප්‍රබලයන් දැනගන්නා විට කල් ඉකුත් වී තිබිණ. සශිකලාට ජයලලිතාගේ නිල නිවසට ඇතුළුවීම පවා දෙවරක් තහනම් කෙරුණේ පක්ෂ ප්‍රබලයන්ගෙන් එල්ල වූ විරෝධය හේතුවෙනි. එහෙත් ඒ සෑම විරාමයකින්ම පසු සසිකලා ජයලලිතාට ළංවූවාය. එමෙන්ම තම ඥාතින් පක්ෂයෙන් එළවා දැමීමට ජයලලිතා ක්‍රියා කළද නායිකාව හා උරණ වූයේ හෝ ඇයට එරෙහිව නැඟී සිටියේ සසිකලා නොවේ. ඇය නායිකාවගේ සුපුරුදු සුවච කීකරු අන්තේවාසිකාව වූවාය. ඒ අතරම තම ඉදිරි ගමන රහසේ ශක්තිමත් කරගැනීමටද සමත් වූවාය. . අම්මාගේ අඩි පාරේ යන චින්නම්මා ලෙස තමිල්නාඩුවේ හැඟීම්බර හා විචාර බුද්ධිය එතරම් භාවිතයට නොගන්නා බහුතර ඡන්ද දායකයන් හමුවේ ප්‍රතිරූපයක් ගොඩනඟා ගැනීමට සසිකලා එහිදී සමත්වූවාය.
සිරගත වුවද අද ඒ අයි ඒ ඩී එම් කේ පක්ෂයේ සැබෑ නායිකාව සශිකලාය. පක්ෂයේ මන්ත්‍රිවරුන්ගෙන් බහුතරය සිටින්නේ ඇය සමඟය. ඇයට අභියෝග කළ හිටපු මහඇමති ඕ පනිර්සෙල්වම් පක්ෂයෙන් එළවා දැමීමට සශිකලා සමත්වී තිබේ. ඊට එරෙහිව නැඟී සිටීමට පනිර්සෙල්වම්ට ඇත්තේ අල්ප ශක්තියකි. ජයලලිතා ජීවත්ව සිටින කාලය තුළ තම පෞද්ගලික කටයුතු සඳහා සසිකලා ළං කරගත්තද දේශපාලනය සඳහා ඇය ක්‍රියාකාරී ලෙස ගාවා නොගැනීමටත් ඇයට පක්ෂය තුළ බලයක් නොදීමටත් පරිස්සම් වූවාය. ඇයට බලය අහිමි සෑම විටම ජයලලිතා තම අනුප්‍රාප්තිකයා වශයෙන් පත් කළේ කිසිදු තර්ජනයක් එල්ල නොකරන බවට විශ්වාස කටයුතු පනිර්සෙල්වම්ය. මහ ඇමති පදවියට වරින්වර පත්වුවද ඔහු තුළින් දිස්වන්නේ දේශපාලන අනුගාමිකයෙකුගේ ලක්ෂණ මිස නායකත්වයේ ලක්ෂණ නොවේ. උදාහරණයක් වශයෙන් ඔහු විවිධ අවස්ථාවලදී ජයලලිතාට දණ්ඩ නමස්කාර කරන ආකාරය මාධ්‍ය ඔස්සේ පළවිය. ඔහුගේ තීන්දු තීරණද පතෝල මෙනි. පනිර්සෙල්වම් යනු මඩේ සිටවූ ඉන්නක් වැනි නායකයෙකු බව තමිල්නාඩු දේශපාලන නිරීක්ෂකයන්ගේ පිළිගැනීමයි. ඔහු ඉකුත් සතියේ සසිකලාට එරෙහිව දියත් කළ කැරැල්ලෙන්ම ඒ බව තහවුරු වේ. එය දේශපාලන නායකයකුට නොගැළපෙන තරම් අභව්‍ය ක්‍රියාමාර්ගයකි. පළමුව ඔහු සසිකලාට මහඇමති පදවියට ඉදිරිපත් වීමට ඉඩදෙමින් ඉල්ලා අස්වෙයි. දෙවැනුව ඔහු ජයලලිතාගේ සොහොන ළඟ විනාඩි 40ක් භාවනා කරයි. තමට ඉල්ලා අස්වීමට සසිකලා පාර්ශ්වය බලකළ බව සිහිවන්නේ එවිටයි. ඔහු නැවත මහ ඇමතිපදවිය ඉල්ලා සසිකලාට දුර්වල අභියෝගක් කරයි. මෙය පනිර්ගේ වුවමනාව මත සිදුකළ දෙයක් නොව තමිල්නාඩුවට පරිබාහිර ප්‍රබල දේශපාලන හස්තයක් විසින් ප්‍රාන්තයේ දේශපාලනය මෙහෙයවීම සඳහා පනිර්සෙල්වම් යොදාගත් බවටද ඉන්දීය දේශපාලන ක්ෂේත්‍රය තුළ කතාබහට ලක්වෙයි. එහෙත් එය දේශපාලනික පුස් වෙඩිල්ලකි. ජයලලිතා ජයරාම්ගෙන් හිස්වූ දේශපාලනික භූමිකාවට සසිකලා රිංගාගෙන හොඳින් ස්ථානගතවී තිබේ. පක්ෂයේ පාලනයට තමන්ගේ ඥාති පුතුන් වන තිනකරන් හා එස් වෙන්කටේෂ් යොදවා ඔවුන්ට උප මහලේකම් වැනි පදවි ලබාදීමට ගතවූ කෙටි කාලය තුළ සශිකලා සමත් වී තිබේ. මේ දෙදෙනා හා සශිකලාගේ සැමියා වන නටරාජන් වරෙක පක්ෂය විනාශ කිරීමේ චෝදනා මත ජයලලිතා විසින් පලවා හරිනු ලැබූ අයවලුන් බව මෙහිදී සිහිපත් කළ යුතුය. පවුල යොදා ගනිමින් පක්ෂයේ බලය මෙහෙයවීමේ දේශපාලනික උපාය හොඳින් ක්‍රියාත්මක කිරීමට සසිකලා සැලසුම් කර තිබේ. ඒ අනුව බන්ධනාගාරයේ සිට ඉදිරි වසර හතර තුළ තමිල්නාඩුව පාලනය කිරීමට සශිකලා සැරසී සිටී. මෙය බන්ධනාගාරයේ සිට ජයලලිතා පනිර්සෙල්වම් හරහා තමිල්නාඩුව පාලනය කිරීමට අතීතයේ ගත් ක්‍රියාමාර්ගයට සමානය. සසිකලාට ඇත්තේ ඉදිරි කාලය තුළ එක් ප්‍රධාන අභියෝගයක් පමණි. ඒ නව මහඇමති පදවියට පත් පලනිසාමි රූකඩ පැංචෙකු නොවී තමාට වුවමනා පරිදි හැසිරෙන පිනෝකියෝ කෙනෙකු වේද යන්නයි. එනම් ඇගේ රැහැනින් මිදී වෙනම ස්වාධීන නායකත්ව ගමනක් ඇරඹීමට උත්සුක වේද යන්නයි. පවුලේ සාමාජිකයන් පක්ෂයට අතට ගන්නේ එවැන්නක් වැළැක්වීමටයි.
තමිල්නාඩු දේශපාලනය ගත් කළ මුල් යුගයේ සිට මේ දක්වා එය පදනම් වී ඇත්තේ ද්‍රාවිඩ වාදය එනම් දෙමළ ජාතිකවාදී සංකල්ප මතයි. පසුකාලීනව සිනමාවේ වීරයන් තමිල්නාඩුවේ දේශපාලනය අතට ගැනීමක් දක්නට ලැබිණ. දැන් ඒ යුගයද අවසන්ය. අද වනවිට ඇත්තේ තමිල්නාඩුවේ නව නායකත්වයක් කරා ප්‍රධාන පක්ෂ යොමුවීමේ සංක්‍රාන්ති සමයයි.
ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් හා සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් යන පක්ෂ දෙක නිදහසින් පසු තට්ටුමාරු ක්‍රමයට තමිල්නාඩුව පාලනය කළේය. පක්ෂ දෙකම දැන් නායකත්ව අර්බුදයකට ලක්ව තිබේ. ඩී එම් කේ පක්ෂයේ අනුවියැති නායක මුතුවෙල්කරුනානිධි රෝගාතුරව පසුවෙයි. ඔහුගෙන් පසු නායකත්වයට ඔහුගේ පුත් ස්ටාලින් නම් කිරීමට පක්ෂයේ විධායක කමිටුව පසුගියදා තීන්දු කළේය.
ජයලලිතාට දූ පුතුන් නැති නිසා පක්ෂය දැන් සසිකලාගේ අතට පත්ව තිබේ. ඉන්දියාවේ මධ්‍යම රජයද ප්‍රධාන දේශපාලන පක්ෂද මේ ගැන විමසිල්ලෙන් පසුවෙයි. ඒ මන්ද බොහෝ අවස්ථාවලදී තමිල්නාඩු දේශපාලනය දිල්ලියේ මධ්‍යම රජය අභියෝගයක් වන බැවිනි. එම අවදානමින් මෑත යුගයේ මිදුණු එකම නායකයා තමිල්නාඩු සහාය අවශ්‍ය නොවන තරම් බහුතර බලයක් හිමිකරගෙන සිටින අගමැති නරේන්ද්‍ර මෝදිය. එහෙත් ඔහු තමිල්නාඩුව කිසිසේත් නොසලකා හරින්නකු ද නොවේ. තමිල්නාඩු දේශපාලන කුණාටුවේ ඉදිරි ගමන් මඟ සටහන් වන්නේ මේ සියලු සාධක මතය.