
මෙරට දන මන සංගීතයෙන් ද, උගැන්වීමෙන් ද පොබ කළ යුගකාරක සංගීතඥයකු යැයි අනලස් ව හඳුන්වා දිය හැකි මහාචාර්ය සනත් නන්දසිරි සිය දිවියේ 75 වන කඩඉමට එළැඹෙන්නේ මෙ මස 15 වැනිදා ය. මෙරට සුභාවිත ගීතයෙහි රන් ලකුණක් සටහන් කර, තමන් වෙහෙස මහන්සියෙන් ම ප්‍රගුණ කළ සංගීතය කිසිදු නොපහන් බවකින් තොර ව ශාස්ත්‍රඥානය පතා එන ඕනෑ ම ශාස්ත්‍රාභිලාෂියකුට තිළිණ කරන එතුමාණෝ පසුගියදා මෙරට ගෞරවනීය ම තනතුරට ද පත්වූයේ ය. ඒ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට ය.
ත්‍රිවිධ සප්තකයෙහි ම හමුවන ස්වර මධූරාලංකාරයේ සංකලනය කරමින්, ඒ ත්‍රිස්ථානයෙහි ම අනාකූල ව හැසිරෙන එතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් කෙරුණු කෙටි සංලාපයෙකි මේ.
• ගුවන්විදුලි ශ්‍රේණිගත කිරීම් ගැන ඔබ දරන මතය කවරාකාරද?
ශ්‍රේණිගත කිරීම් තිබුණේ ගුවන්විදුලියේ. ගායක ගායිකාවන්ට වැඩසටහන් පැවරුවේ ශ්‍රේණිගත කිරීම් කරලයි. දැන් නම් ශ්‍රේණිගත කිරීම් ඇත්තෙත් නෑ; එවැනි වැඩසටහන් ඇත්තෙත් නෑ. ශ්‍රේණිගත කිරීමෙන් ඇති වැඩකුත් නෑ කියලයි හිතෙන්නේ. මේ රටේ මාධ්‍ය වැඩිවුණා; ගුවන් විදුලි නාලිකා වැඩිවුණා. ශ්‍රේණිගත කිරීම් කෙසේ වෙතත් කතා කරගන්න බැරි අයත් අද සින්දු කියනවා. සල්ලි තියෙනව නම් අද කරන්න බැරි දෙයක් නෑනෙ. සින්දු ජනප්‍රිය කරගන්න නාලිකාවලට සල්ලි දුන්න ම ඇති. අද ඉතින් මේ රටේ කවුරු ශ්‍රේණිගත කරන්නද?
• ශ්‍රේණිගත කිරීම් නොකරන්නේ සංගීත ප්‍රාමාණිකයන්ගේ අඩුවක් නිසාද?
අද සංගීත ප්‍රාමාණිකයෝ ටික දෙනෙක් හරි ජීවතුන් අතර ඉන්නවනේ. ඒත් ඒ අයගෙන් ගුරුහරුකම් ගන්නේ කවුද?
මේ වන විට ශ්‍රේණිගත කිරීම් කරන්න වෙන ම පිරිසක් ඉන්නවා. ඒ තමයි අර නාළිකාවල ඉන්න වැඩසටහන් කරන අය. ඉතින් අපි මොකට ද? මේ අය මොකක් හරි වැඩසටහනකට කවුරුහරි ආව ම නිවේදක නිවේදිකාවෝ ඔවුන්ට නානා ප්‍රකාර තනතුරු දෙනවා; මොකක් හරි එක සින්දුවක් කියපු ගමන් මේ නාළිකාවල ඉන්න අය මේ අය ව හඳුන්වන්නේ විශිෂ්ට ගණයේ ගායකයෙක් හෝ ගායිකාවක් කියලයි. ඉතින් විද්වත් මණ්ඩලයකින්, පරීක්ෂණයකින් ශ්‍රේණිගත කිරීම් කරන්න අවශ්‍ය නැහැ.
මේ වැනි දේ නිසා සුදුස්සාට නිසි තැන නොලැබී ගොස් තිබෙනවා. මට තිබෙන කනගාටුව ඒකයි. තම තමන්ගේ පිට කසා ගැනීම් පමණයි තිබෙන්නේ. ඉතින් හැකියාවක් තිබෙන කිහිපදෙනා හෝ මතුවෙන්නේ නෑ.
දැන් මේ රටේ ජනමාධ්‍ය හැසිරෙන විදිහ දිහා බැලුවහම අපි ජීවතුන් අතර ඉන්න එකත් පුදුමයි. අමරදේව මහත්තයා නික්ම ගියා. තව ටිකක් කල් හිටියා නම් එතුමා නැතිවෙන්නේ මේ රටේ වන ව්‍යසනය දරාගන්න බැරිවයි. අපිට තව පව් ගෙවන්න තියෙනවා.
• බහුතර මාධ්‍ය පවසන්නේ ඔවුන් ඉල්ලුමට සපයනවා කියලයි. ඔබ හිතන්නේ මේ සමාජය විසින් ඉල්ලන දේම ද මේ මාධ්‍ය ඔස්සේ ලබා දෙන්නේ.
අවුරුදු 75ක් මම ජීවත් වුණානේ. ඒකෙන් අවුරුදු 50ක් ම ගත කළේ සංගීතයටනේ. මේ අවුරුදු පනහ ගත කළේ කොහොමද කියලා මට දැන් ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. මේ අවුරුදු පනහෙන් 20ක් විතර තමයි මේ ව්‍යසනයට මුහුණ දුන්නේ. අලුත් අලුත් විද්යුත් මාධ්‍ය පැමිණීම මේ රටට සුගතියක් අත්කර දුන්නේ නෑ. මේ අය මිනිස්සු ඉල්ලන ඒවා කියලා දෙන්නේ ඔවුන් අවට සිටින විකාරකාරයෝ කිහිපදෙනෙක් ඉල්ලන දේයි. බහුතර රසිකයන් මේ නිසා පීඩාවට පත්වෙනවා.
• අද සංගීත නාද රටා එක ම ස්වරයකින් ඇසෙන්නට පටන්ගෙන තිබෙනවා. වෙනදා ගීතයෙන් ගීතයට පවා එක ම සංගීත භාණ්ඩයක් වැයෙන්නේ වෙනස් නාදයකින්. තාක්ෂණයට සියල්ල පැවැරී මෙන් නාදයේ විවිධත්වය අපට අහිමි වී ගොස් ද?
වලීනය, බටනලාව, සිතාරය, එස්රාජය ආදී භාණ්ඩවල වාදනය ඇසෙන විට අපි ඒ ඒ වාදකයන්ගේ වාදනයේ තිබෙන කුසලතාව හඳුන ගන්නවා. සර පුවරුවේ (කී බෝඩය) ඒ කුසලතාව නෑ. උදාහරණයක් විදියට වයලීනය ගත්තොත් වයලීනය එක් එක්කෙනා වාදනය කරන්නේ තම තමන්ගේ ආවේණික ශෛලියටයි. ගිටාරය, සැක්සෆෝනය මේ ආදී සියල්ල දැන් එක ම තැනකිනුයි පාලනය වෙන්නේ. වයලීනය වාදනය කරද්දි එහි තාල රටා ඇඟිලිවලින් උපද්දවන්න දැන් බැහැ. ඒ සියල්ල තාක්ෂණික භාණ්ඩවලටයි පවරා තිබෙන්නේ. ඉතින් නාදය සංවේදී නාද රටා අපට අහිමි ව ගොස් තිබෙනවා. අද ලෝකයට අවශ්‍යත් ඒකයි. ගිටාර්, ඔක්ටපෑඩ්, සැක්සෆෝන්, කී බෝඩ්, ජෑස් වාදකයෝ එදාට වඩා අද හරියට ඉන්නවා. අපි එන කාලේ ඕවා තිබුණේ නැහැ. ඔක්ටෆෑඩ් තිබුණෙ ම නෑ. කීබෝඩ් තිබුණෙත් නෑ. එදා ගිටාර් එක පවා පාවිච්චි කළේ බොහොම යන්තමින්. වයලීන්, සර්පිනා වගේ බොහොම සරල වාද්‍ය භාණ්ඩ කිහිපයකින් තමයි අපි අපේ නිර්මාණ කළේ.
අනෙකක් තියා මේ රටේ මහා සංගීතවේදීන්ගේ දරුවෝ වයන්නේ ගිටාර් එක; කී බෝඩ් එකනේ. ඉතින් කොහොමද මේ මහා සම්ප්‍රදායක් ඉතිරි වෙන්නේ. ඒ අයගේ ළමයින්ට උගන්වන්නේ මේවා නම් අනෙක් අය ගැන කවර කතාද?
• ඔබ සංගීතය ඉගෙන ගන්නේ ඉන්දියාවෙන්. මහා සම්ප්‍රදායයි ගුරුකොට ගන්නේ. අනතුරුව එය දේශීය සංගීතය හා බොහොම ලස්සනට මුසු කරනවා. වත්මන් පරම්පරාව විවිධ රටවලට ගොස් සංගීතය හදාරා එය ගැළපෙනවාද; නොගැළපෙනවාද කියා සිතන්නේවත් නැතිව අපට ආදේශ කරනවා.
මම උදාහරණයකින් ම පැහැදිලි කරන්නම්. ඉන්දියාවෙන් තබ්ලා වාදනය හොඳට ඉගෙන ගත් තරුණයෙක් පසුගිය කාලේ ලංකාවට ආවා. ඇත්තෙන් ම ඔහු දක්ෂ තරුණයෙක්. ලංකාවට ඇවිත් ඔහු විවිධ දක්ෂතා පෙන්වුවා. නමුත් දැන් ඔහු එක්තරා නාලිකාවක නටනවා. දැන් ඔහු තබ්ලා ව වයන්නේ නෑ. තබ්ලාවක් වයා ජීවත් විය නොහැකි බවයි ඔහුගේ මතය. රටේ විද්යුත් නාළිකා නේද තරුණයන්ට මේ ව්‍යසනය කරන්නේ. ඔහුව නැති කළේ මේ නා නා ප්‍රකාර විද්යුත් නාළිකා විසින්. ඇත්තෙන් ම මේ තරුණ පරපුර පව්.
• ඔබතුමා දිගින් දිගට ම චෝදනා කරන්නේ මාධ්‍යයට. ජනමාධ්‍ය ම පමණක් ද මේ ව්‍යසනයට වගකිව යුතු.
ඔව්. පැහැදිලි ව ම. මාධ්‍යවලට තියෙන ගැටලු ටික මිනිස්සුන්ට දුන්නා. හැම මාධ්‍ය ම නෙමෙයි. තමන්ගේ නාළිකාව ජනප්‍රිය කරගන්න ඔවුන් වල්මත් වුණු තරුණ පිරිසක් නිර්මාණය කළා. විකාරරූපි වැඩසටහන් පෙන්වුවා. ඔවුන්ව අනවශ්‍ය පරිදි වර්ණනා කරමින් බලෙන් ජනප්‍රිය කළා.
• රසිකත්වය පිරිහීමට මුළුමනින් ම මාධ්‍ය වගකිව යුතු ද?
අමරදේවයන් නැති වුණාට පස්සේ බොහෝ නාළිකා දවස් දෙක තුනකට හරි වෙනස් වුණා. හැදුණා. හැදුණා කියනවට වඩා හැදුණා වගේ පෙනුණා. අමරදේවයන්ගේ චිතකය ගිනි ගනිද්දි ම ආයෙත් මේ නාළිකා වෙනස් වුණා. අද අමරදේවයන් හිටියද කියලවත් කාටවත් මතක නෑ. එතුමා වටේ හිටපු පිරිස අද එතුමාගේ දානයටවත් නෑ. තත්ත්වය ඕකයි. නමුත් අමරදේවයන් අපිට කවදාවත් අමතක වෙන්නෙ නෑ. අපේ පරම්පරාවේ වෙනස ඒකයි.
රසිකත්වයට අහන්න, දකින ලැබෙන දේ තමයි ඔවුන්ගේ මතය පාලනය කරන්නේ. කොච්චර හොඳ දේ බලාපොරොත්තු වුණත් ඔවුන්ට මාධ්‍ය මඟින් ඒවා ලබා දෙන්නේ නෑ.
• අලුත් පරම්පරාව සමඟ ඔබතුමාගේ සම්බන්ධතාව කොහොමද?
කිසිම සම්බන්ධතාවක් නෑ. හමුවුණා ම කතා කළොත් කතා කරනවා. එච්චරයි. අලුත් පරම්පරාවේ සමහර අය ඉන්නවා හොඳ දෙයක් කරන්න උත්සාහ කරන. නමුත් ඒ අය වෙනස් දේවල්, අලුත් දේවල් කළාට මේ නාළිකා ඒවා බාරගන්නේ නැහැ. ඉතින් ඒ අයත් අර ජනප්‍රිය රැල්ලට ම තල්ලු වෙනවා.
• ඔබ දැනට සිටින ප්‍රවීණතම සංගීතඥයෙක්. මේ තත්ත්වයට පිළියම් වශයෙන් යෝජනා කරන්නේ මොනවාද?
ඕන ම කෙනෙක් ජනප්‍රියත්වයට කැමැතියි. ඔවුන් අප සමඟ වැඩ කරන්නත් කැමැතියි. ඒත් මේ රැල්ල ඇතුළේ අප සමඟ ඉඳීමෙන් ඔවුන්ට ප්‍රයෝජනයක් නැහැ. විශ්වවිද්‍යාලයෙන් සිය ගණන් දරුවෝ හොඳින් සංගීතය හදාරා පිට වෙනවා. ඒ අය ඇත්තට ම බොහෝ දක්ෂතා තිබෙන අය. නමුත් වැඩකරන්න සමාජයට ආවම ඒ අයට තැනක් නැහැ. ඔවුන් ව පිළිගන්නේ නැහැ. ඉතින් සංගීතය ගැන උපාධිය හදාරලා අන්තිමේ ඉස්කෝලෙක සංගීතය උගන්වන්නෙක් බවට පත්වෙනවා. මේ අයට අවස්ථාවක් හදන්නේ කොහොමද කියන ගැටලුව අපටත් තිබෙනවා.
මාධ්‍යවලට මේ සංගීතය හදාරපු ළමයි ගන්නෙ නැත්තෙ ඇයි? ඇයි ඒ දරුවන්ගෙන් මේ රටට විදග්ධ දායකත්වයක් නොගන්නේ. ඒ දරුවන් මේවාට යනවා නම් මේ නාළිකාවල මෙවැනි බංකොලොත් තත්ත්වයක් උද්ගත වන්නේ නැහැ.
• ඔබ වැනි අය නිහඬ ව සිටීම මේ රට මේ තරම් ම ආගාධයකට යෑමට හේතුවක් ය කියලා චෝදනාවකුත් සමාජයෙන් නැඟෙනවා.
අපි නෙ ආණ්ඩු කරන්නේ, අමරදේව, මම, වික්ටර්, සුනිල් වගේ අයනෙ ආණ්ඩු කරන්නේ. අනෙක් සේරම දේවල් කරන්නෙ ආණ්ඩුව නම් ඇයි මේකට විතරක් අපිට ඇඟිල්ල දිගු කරන්නේ. හරි ම විවේචනයක්නෙ මේක. අපි කියන ඒවා තඹ සතේකට ගණන් ගන්නෙ නෑ. කතා කරපු ගමන් කියන්නේ ඊර්ෂ්‍යාවට කතා කරනවා කියලා. අලුත් පරම්පරාවට අවස්ථාවක් දෙන්නෙ නෑ. දුන්නොත් හොඳ දේවල් කරන බව විශ්වාසයි. හොඳ අයට තැනක් දෙන්නෙ නැත්තේ බොරුකාරයෝ අහුවෙන නිසයි.
• ඔබ මේ රටේ ගෞරවනීය ම තනතුර දරන කෙනෙක්. සෞන්දර්ය විශ්වවිද්‍යාලය කියන්නේ කලාවේ හදවත. එවැනි තැනක කුලපති ධුරය දරන ඔබෙන් මේ සමාජය විශාල මෙහෙයක් බලාපොරොත්තු වෙනවා.
විශ්වවිද්‍යාලයේ කුලපති වුණේ මේ නොබෝ දිනකනේ. මම ඔය විශ්වවිද්‍යාලෙ අවුරුදු 40ක් සේවය කළා. ඒ මම ම තමයි තාමත් ඉන්නේ. විශ්වවිද්‍යාල ප්‍රජාව ඉගෙන ගන්නේ මොනවාද කියලා මම දන්නවා. අවුරුදු 4ක් තිස්සෙ සංගීත විෂයය පිළිබඳ මනා පරිචයක් ලබන ශිෂ්‍ය ප්‍රජාවක් මෙහි ඉන්නේ. උසස් පෙළෙන් ඉහළ ම ලකුණු අරන් අභියෝගතා පරීක්ෂණයෙනුත් හොඳ ම ලකුණු ගන්න අය තමයි සෞන්දර්ය විශ්වවිද්‍යාලයට එන්නේ. මේ ළමයිට මේවා ඉගෙනගෙන එළියට ගියා ම තියෙන තැන මොකක්ද? මේ ළමයි හිතෙන් හඬා වැලපෙනවා. ඒ අයට නිසිතැන ලැබෙන්නේ නෑ. මම ඒ ගැන කණගාටුවෙන් ඉන්නේ.
• මේ මාසේ 15 වැනිදාට ඔබතුමන්ට අවුරුදු 75ක් පිරෙනවා. නැවත හැරී බලද්දි ජීවිතයේ ගත කළ කාලය ගැන මොකද හිතෙන්නේ.
අවුරුදු 75ක් කියන්නෙ විශාල කාලයක්. ඒ කාලය ඇතුළත මේ රටේ ගෞරවනීය ම තනතුර මට ලැබුණා. ප්‍රදානය කළා. කථිකාචාර්යවරයෙක් විදියට, මහාචාර්යවරයෙක් විදියට, අංශ ප්‍රධාන, පීඨාධිපති ආදී සියලු තනතුරුවලින් පසුවයි මා මේ තනතුරට හැමෝගෙ ම ආරාධනයෙන්, ඉල්ලීමෙන් පත්වෙන්නේ. මම බොහෝ දේ දැක්කා; ඇසුරු කළා; වින්දා. හොඳ නරක දෙක ම දැක්කා. මගෙන් ම ඉගෙන ගන්න දරුවෝ විවිධ නාළිකාවලට ගිහින් සින්දු තෝරද්දි මගේ සින්දුවක් අවසානයටවත් තෝරන්නෙ නැති නොසලකා හැරීම වින්දා. ඒත් මම ඒ හැමෝගෙ ම නැණැස පෑදුවා. ඔවුන්ට ආශීර්වාද කළා. මගේ සැනසීම, ලැබීම වුණේ ඒ සම සිතින් උසුලා ගැනීමයි.
සරස්වතී දේව මැණීයන් කලාකරුවන්ට හැමදේම දුන්නා; එක ම දෙයක් හැර. ඒ තමයි කෘතගුණ සැලකීම කියන උතුම් ගුණය. එය මේ සමාජය පුරා ඔඩුදුවමින් මේ උතුම් කලාව ආගාධයට ඇද දමනවා. මම මේ ගත කළ කාලය පුරා මේ සියල්ල සම සිතින් දරා ගන්නට හැකි වුණා. මගේ ජීවිතයේ සැනසීම උදා කළේ මා රැකගත් ඒ ගුණාංග.
සේයාරූ - සුදම් ගුණසිංහ