
ජයන්තා රුක්මනී සිරිවර්ධන
ප්‍රවීණ නවකතා, කෙටිකතා සහ කාව්‍ය නිර්මාණ රචිකාවක වන ජයන්තා රුක්මනී සිරිවර්ධනගේ නවතම කාව්‍ය නිර්මාණය 'සමනල මරණය' සහ කෙටිකතා සංග්‍රහයක් වන 'නිරුවත් පුෂ්පය' ඉකුත් දා ජනගත විය. මේ නිර්මාණයන්හිදී වර්තමාන සමාජ චලනයන් උපේක්ෂා සහගතව විවරණයට තමා විවිධ ආකෘති අත්හදා බලන්නට උත්සාහ කළ බව 'සත්මඬල' සමඟ සංලාපයක යෙදෙමින් ඕ සඳහන් කරන්නීය.
• ඔබ රාජ්‍ය පරිපාලන සේවයේ වගකීම් දරන නිලධාරිනියක්. මෙවැනි නිර්මාණ කාර්යයන්හි යෙදීමට ඔබ වේලාව සොයාගන්නේ කොහොමද?
රාජ්‍ය පරිපාලන සේවයේ වසර 32ක් සේවය කර විශ්‍රාම ලැබීමෙන් අනතුරුව මා නැවතත් පරිපාලන ක්ෂේත්‍රයේ රැකියාවක නිරතව සිටිනවා. ඒ කාර්යබහුල ජීවිතයත් සමඟ මා නිර්මාණකරණයේත් යෙදෙනවා. ඊට ඉඩහසර සපයාගැනීමේ හැකියාව ලැබී තිබෙන්නේ මගේ කාල කළමනාකරණය නිසයි.
• ඔබේ නිර්මාණකරණයේ මූලාරම්භය සදහන් කළ හොත්...
මා පාසල් අවධියේ පටන් ලිවිමට හුරු වුණා. යොවුන් වියේදිත් ලිවිම නතර කළේ නෑ. ඒත් කාර්යබහුල වීමත් සමඟ විශ්වවිද්‍යාල ජීවිතයේදී මගේ නිර්මාණ කිරීම අතපසු වුණා. ඉන් පසු බැංකු සේවයේ නිරත ව සිටින අතරතුරත් මට නිර්මාණ කිරීමට අතපසු වුණා. ඉන් අනතුරුව මා රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයට යොමු වුණාට පසු ඉතාලියට යෑමට මා හට ශිෂ්‍යත්වයක් ලැබුණා. මෙහිදී මට යළිත් ලියන්න උත්තේජනයක් ලැබුණා. විදේශගත වී සිටි කාලයේ ලැබුණ අත්දැකීම මට හුඟක් ඉවහල් වුණා නව නිර්මාණයන් කිරීමට.
මට ලිවීමට අනුබල දුන්නේ එවකට 'දිවයින' ප්‍රධාන කර්තෘ වුණු, වත්මන් 'සිළුමිණ' කර්තෘ එඩ්මන් රණසිංහ මහතායි. 'ඉරිදා දිවයින' පුවත්පතේ මගේ සංචාරක ලිපි පෙළ පළ කිරීමෙන් අනතුරුව කර්තෘවරයාම යෝජනා කළා මට තීරුලිපියක් ලියන්න. ඉන් අනතුරුව මා 'සිතක සිතුම්' තීරුලිපිය ලිවීමට පටන් ගත්තා. ඒ අතරතුර 'නවලිය' පුවත්පතටත් තීරුලිපියත් ලිව්වා. පාඨක ජනතාව මා හඳුනාගත්තේ ඒ තීරුලිපිවලින් කිව්වොත් නිවැරදියි. ඉන් පසුව දයාසේන ගුණසිංහ මහතා මගේ කවියක් දැකීමෙන් මට කවි පොතක් කරන්න යෝජනා කළා. 'හරස්කඩ' කියන මගේ මුල්ම කවි පොත නිර්මාණය වුණේ ඒ අනුවයි.
• ඔබේ නිර්මාණ තුළ හෙළිදරවු කිරීමට උත්සාහ කරනුයේ වත්මන් සමාජ චලනයන් යැ යි කිව හොත්...
පරිපාලන නිලධාරිනියක ලෙස රැකියාව ආරම්භ වීමත් සමඟ මා මිණිපේ, හසලක වැනි ප්‍රදේශවල සේවය කරන කාලයේ කොළඹ ගත කරපු කාලයට වඩා බොහෝ අත්දැකීම් ලැබුණා. එහිදී මා දුටු මිනිසුන්ගේ ජීවිතවල සංවේදනාත්මක සිදු වීම් මගේ නිර්මාණ සදහා වස්තු බීජ සැපැයුවා. ඒ අනුව ජීවිත කාලේ මෙච්චර දුරක් ඇවිත් වරින් වර මා විවිධ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කළ නිර්මාණයන්ට විෂය වන්නේ ඒ අත්දැකීම්. ඒ එක් එක් නිමිත්තට සරිලන මාධ්‍යය මා තෝරා ගන්නවා. මා නිර්මාණකරණයේ යෙදෙන්නේ බොහොම සෙමෙන්. එයින් සාර්ථක නිර්මාණයක් කරන්න හැකි වනවා කියා මා සිතනවා.
• ඔබේ අලුත් කෙටිකතා එකතුවේ ඇතැම් කෙටිකතාවලදී නව ආකෘති අත්හදා බැලීමක යෙදී තිබෙනවා...
ඇත්තටම මේ ආකෘති සම්බන්ධයෙන් මගේ තිබෙන්නේ වෙනස් ආකල්පයක්. යම් නිර්මාණකරුවකු තමන්ගේ නිර්මාණ සුවිශේෂ ආකෘතියකට දැමීම මඟින් ඒ අය හිතනවා එය සම්භාවනීය නිර්මාණයක් වෙනවා, කියා. එහෙත් තමා කරන නිර්මාණයේ ආකෘතිය සරල වුවත් වස්තු බීජය ශක්තිමත් නම් එහි ගැඹුරක් මතු කිරීමට පුළුවන්. ආකෘතික හරඹ කිරීමට යන බොහෝ නිර්මාණ සාර්ථක වෙන්නේ නැහැ. හොඳම උදාහරණයක්: චිත්‍රපට ක්ෂේත්‍රයෙන් ගත හොත් මා නැරඹු ගැඹුරු චිත්‍රපට සියල්ල වාගේ සරල ආකෘතියක් භාවිත කර නිර්මාණය වී තිබුණා. සත්‍යජිත් රායිගේ පාතර්පංචාලී චිත්‍රපටයේ මහ ගැඹුරක් තිබෙනවා. එය කවදාවත් නැරඹිම එපා වන්නේ නැහැ. ඒත් ආකෘතියේ මහ සංකීර්ණ බවක් දකින්න නැහැ. ලංකාවෙත් එවැනි නිර්මාණ බිහි වී තියෙනවා. මම කියන්නේ හැමවෙලාවෙම වස්තු බීජය කලින් තෝරාගත් ආකෘතියක් තුළට දැමිමෙන් කිසි දිනක සාර්ථක නිර්මාණයක් බිහි වන්නේ නෑ.
කතාවක් හෝ කවියක් හෝ වේවා, කියවීමේ අභිරුචිය ඇති නොවන්නේ නම් කුමන ආකෘතියක් භාවිත කළත් පලක් නෑ. වස්තු විෂයයට, නිමිත්තට සහ චරිතයන්ට ගැළපෙන ආකාරයට ආකෘතිය හැඩගැස්වීමයි කළ යුත්තේ. වස්තු විෂයයට කිසිදු හානියක් නොවන අයුරින් මා නව ආකෘති අත්හදා බලා තිබෙනවා.
• ඔබේ කවියට හයිකු සම්ප්‍රදායේ ආභාසය ලැබී තිබෙනවා යැ යි කිව හොත්...
මා හයිකු කවියට ප්‍රියයි. ඒ ආකෘතියට මා විශේෂ කැමැත්තක් දක්වනවා. ඊට අමතරව මා විශේෂයෙන් මහගම සේකර, ජී.බී. සේනානායක කවීන්ගේ නිර්මාණවලට ප්‍රියයි. අනෙක් අතට මා ඕනෑම හොඳ නිර්මාණයක් කියවීමට හුරු වී සිටිනවා. මේ අතරේ මා මටම ආවේණික කවියක් නිර්මාණය කරනවා.
ඕනෑ ම නිර්මාණකරුවකුට නිර්මාණාවේශයක් ලැබෙන්නේ හොඳ නිර්මාණ කියවීමෙන් ලැබෙන රසෝද්දීපනයෙන් යැ යි කිව හොත් නිවැරදියි. ඒ නිර්මාණ කියවීමෙන් අපේ සිත් තුළ නව නිර්මාණ රසයන් උද්දීපනය වනවා. මේ ඔස්සේ බිහි වන නිර්මාණය කියවන්නා තුළ නැවුම් රසයක් දනවන්නේ නම්, මා හිතනවා එයයි සාර්ථක කවියක් වන්නේ කියා.