දෙවියන්ට කියා නඩු දින්න ගම්පොළ ලාරා | Page 5 | සිළුමිණ

දෙවියන්ට කියා නඩු දින්න ගම්පොළ ලාරා

 නීතියක් ඇත්තේ රටක පුරවැසියන් සුරැකීමට යි. පුරවැසියන් රැකෙන්නට නම් එරට නීතිය සුරකින පුද්ගලයන් හා ආයතන එම ක්‍රියාවලිය සාධාරණව හා අවංකව කැපවීමෙන් ඉටු කළ යුතුය. එසේ නොවද්දී පුරවැසියන්ට සිදු වන්නේ යුක්තිය වෙනුවෙන් සටන් කරන්නය.

ගම්පොළ ඇත්ගාල ජනපදයේ පදිංචි නුවන් තුසිත කුමාරට ද සිදු වූයේ නීතියෙන් යුක්තිය ඉටු කරවා ගැනීම සඳහා තනිවම සටන් කරන්නටය. එහෙත්, ඔහු තමාට සිදු වූ අසාධාරණයට එ‍රෙහිව හඬ නඟා වි යැයි කිසිවකුත් නොසිතුවේය.

නුවන් තුසිත කුමාර නම් වූ ඔහු ජීවිතයේ ඉතා කටුක අත්දැකීම්වලට මුහුණ දී අපමණ දුක් විඳි පුද්ගලයෙකි. කුඩා කල පියා පවුලෙන් වෙන්ව යෑම නිසා අසරණ වූ ඔහුට ඉගෙනීමට වඩා ජීවත්වීමට වෙහෙස වීමට සිදු විය.

මේ නිසා ම පාසලේ හයවැනි ශ්‍රේණියේදී පාසල් ගමනට ආයුබෝවන් කීමට ද ඔහුට සිදුවිය. එතැන් පටන් විවිධ රැකියාවල නිරත වූ ඔහු පසුව ලංගම රියැදුරු සහතිකය ලැබ එතැන් පටන් ගම්පොළ නගරයේ ත්‍රී රෝද රථ රස්සාව ආරම්භ කළේය.

තමාට කියා ත්‍රීරෝද රථයක් ගැනීමට වත්කමක් නොවූ ඔහු දවස් කුලියට ත්‍රීරෝද රථයක් සොයාගෙන එයින් යමක් උපයා ගත්තේය.

ඒ අතරතුර ගම්පොළ මාවතුර ප්‍රදේශයෙන් විවාහ වූ නුවන් තම මවගේ ඉඩමේ ම කොටසක නිවෙසක් සාදාගෙන එහි පදිංචි විය.

ඉටිරෙදි, තහඩු හා ලෑලි ගසා සකසා ගත් මෙම නිවෙසේ තම දරු පැටවුන් දෙදෙනා හා ජීවත් වීමට ඔවුනට ත්‍රීරෝද රස්සාවෙන් ලැබෙන ආදායම සෑහිණ.

මේ ලෙස කාලය ගතවෙද්දී 2014 වසරේ අප්‍රේල් මස 20 වැනි දින දිවා කාලයේ කුලී ගමන් ගිය නුවන් රාත්‍රී නවයට පමණ ගම්පොළ සිංහපිටිය ප්‍රදේශයට යමින් සිටියේ ඥාති නිවසක සිටි බිරිය කැටුව සිය නිවෙසට යෑම සඳහාය. ගම්පොළ නිදහස් මාවත දිගේ ගමන් කරමින් සිටි නුවන්ට වැඩිදුරක් යෑමට නොහැකි විය. මාර්ග පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරීහු දෙදෙනෙක් නුවන්ගේ වාහනය නැවැත්වූහ. ලියකියවිලි පරීක්ෂාවේදී ඒවා නිසි ලෙස තිබූ හෙයින් ඊළඟට පොලිස් නිලධාරීන්ගෙන් නුවන් වෙත යොමු වූයේ ඔහු කිසි විටෙකත් බලාපොරොත්තු නොවූ ප්‍රශ්නයකි.

“තමුසේ බීලා නේද ඉන්නේ?” පොලිස් නිලධාරියා එක එල්ලේ බලා නුවන්ගෙන් විමසීය.

“නෑ මම බීලා නෑ. නැන්දලාගේ ගෙදර යන්නේ. නෝනා ඉන්නවා. එයත් අරන් ගෙදර යන්න යන්නේ” නුවන් පැවසීය.

නමුත් පොලිස් නිලධාරියා තමා කිවූ දෙය ඉවත් කර ගැනීමට කැමති නොවීය. “නෑ තමුසේ බීලා” පොලිස් නිලධාරියා යළිත් පැවැසුවේය.

ඉන්පසු සිදු වූ දෙය නුවන් මෙසේ විස්තර කළේය.

“මම බීලා නෑ කිව්වට ඒ නිලධාරියා ඇහුවේ නෑ. මට වාහනයට නඟින්න කීවා.බ්රේක් පාගන්න කීවා. වමට සිග්නල් දාන්න කීවා. දකුණට සිග්නල් දාන්න කීවා. පොඩි ලයිට් දාන්න කීවා. හෑන්ඩ් බ්රේක් අදින්න කීවා. මම ඒ දේවල් කළා. මම උදේ ඉඳන් හයර් යන කෙනා බීලා හිටියොත් මිනිස්සු වාහනේට නඟින්නෙත් නෑ. හයර් යන්නත් බෑ කියලා මම ඔවුන්ට කිව්වා. මම බීලා නෑ කියන එක පිළිගන්නේ නැතිව පොලිස් නිලධාරීන් දෙන්නා මගේ කම්මුලට ගැහුවා. ඒ අය මගේ ත්‍රීවීල් එකෙන්ම මාව පොලිසියට ගෙනාවා. ගෙනත් මට බැලුන් පුම්බන්න දුන්නා. මම එයත් කළා. ඒත් මත්ද්‍රව්‍ය සටහන් වුණේ නෑ. එතන තවත් බීපු කෙනෙකුත් හිටියා. මට හතර පාරක් බැලුන් පුම්බන්න දුන්නා. එහෙම කරලා මාව මූලස්ථාන පොලිස් පරීක්ෂක මහතාට ඉදිරිපත් කළා. ඔහු මාව කූඩුවට දාන්න නියෝග කළා.

පහුවදා මාව ගම්පොළ උසාවියට දැම්මා. මහේස්ත්‍රාත් තුමා වරදකරුද නිවැරැදිකරුද කියා ඇහුවා. මම වරදක් කරලා නැති නිසා නිවැරැදිකරු කීවා. මට චෝදනා දෙකක් දාලා තිබුණා. බීමත්ව රිය පැදවීම හා රාජකාරියට බාධා කිරීම කියලා. පස්සේ මහේස්ත්‍රාත්වරයා මාව 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. මම පල්ලේකැලේට අරන් ගියා.

නැවත උසාවි ගෙනාවට පස්සෙත් මම කීවේ නිවැරැදිකරු කියලයි. නොකෙරු දෙයක් පිළිගන්න මං කැමති වුණේ නෑ. නීතිඥයකු අල්ලා නඩු වාර තුනක් යනතුරුම මම බලාපොරොත්තු වුණු දේ ලැබුණේ නෑ. මට තේරුණා නීතිඥවරයා පොලිසිය වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා. මට මේ විදිහට දිගට නඩු කියන්න මුදලුත් නෑ.

ලයිසන් උසාවියට ගත්ත නිසා මට කවුරුවත් නැවත ත්‍රීවිල් දෙන්න කැමති වුණේ නෑ. ඒ වෙන‍කොට බීලා වීල් එක ඇල්ලුවා කියලා මුළු ගම්පොළම දැනගෙන හිටි නිසා කවුරුවත් වීල් එකක් දුන්නේ නෑ.

මගේ පාසල් යන දරුවයි අනෙක් දරුවයි ජීවත් කරවන්න විදිහක් තිබුණෙත් නෑ. ගමෙන් ම අපි කොන් වුණා.

ඒත් මම අධෛර්ය වුණේ නෑ. මට හිතුණා අපටත් කොහේ හරි සාධාරණයක් ඇති කියලා. මේ නිසා මම නීතිඥ මහත්තයට කීවා. නැවත මගේ නඩුවට පෙනී ඉන්න එපා කියලා.

එහෙම කියලා මම උසාවියට කීවා මේ නඩුව වෙනුවෙන් මින් ඉදිරියට මම ම පෙනී ඉන්නවා කියලා. තමුන්ට පුළුවන් ද හරස් ප්‍රශ්න අහලා නඩුව ඉදිරියට ගෙන යන්න කියලා මගෙන් ඇහුවා. මම කීවා මට වුණු අසාධාරණය දන්නේ මම විතරයි. ඒ නිසා මම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා ස්වාමිනී කියලා.” ඔහු පැවසීය.

හයේ පන්තියට ඉගෙන ගත් ඔහු නඩු කියන්නේ කෙසේද කියා ඇතැමුන් සමච්චල් කරද්දී ඔහු සිය පවුල ජීවත් කරන්න ගම්පොළ මාර්කට් එකේ එළවළු වෙළෙඳසැලක රැකියාවක් සොයා ගත්තේ ය. එතැන් පටන් ඔහු ‘මාර්කට් එකේ ලාරා’ විය.

සියලු වැඩ කටයුතු අතර ඔහු නඩුවට ද සූදානම් වූයේය.

“මම වැඩට යන්නේ දෙවියන් බුදුන් වැඳලා. මම හැමදාම මගේ නඩු වාර්තාව දේව කුටියේ තියලා නඩු කියන්න පුරුදු වෙනවා. මම තනියම හරස් ප්‍රශ්න අහනවා. වෙච්ච දේ උසාවියට ගැළපෙන භාෂාවෙන් කතා කරන්න උත්සාහ ගන්නවා. මේ විදියට පුරුදු වෙලා නඩු වාර්තාව දෙවියෝ ළඟ තියලා පහන් පත්තු කරලා දෙවියන් බුදුන් වැඳලා මම වැඩට යනවා.” මම ඒ හැමවෙලේ ම දෙවියන් ඉදිරියේ හිතා ගත්තේ මම එදා බීලා හිටියේ නෑ මට නිකරුණේ අපහාස හා දඬුවම් විඳීමට සිදු වුණා. පොලිසිය කළ මේ අපරාධය දෙවියො ම බලා ගන්න කියලයි.”

2014 අප්‍රේල් මාසයේදී නුවන්ට එරෙහිව පැවරුණු නඩුව 2017 ජනවාරි මස අග දක්වා වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ ඇසිණ. සියලු නඩුවාරවලදී නුවන් අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීය. නඩුව අවසන් අදිය‍රයේ දී නුවන්ට පොලිසියේ සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීමේ වාරය උදාවිය.

“සාක්ෂිකරු කියා සිටිනවා හැමදේම මතක නැහැ කියලා. ඒත් අද වන විටත් මගේ කටේ අරක්කු සුවඳ දැනුණු එක මතකයි.” යනුවෙන් නුවන් ප්‍රශ්න කරමින් විමසීය. තවත් අවස්ථාවක නුවන් අසා ඇත්තේ තමා වෛද්‍යවරයකු වෙත යොමු කරන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටියත් එය ඉටු නොවුණු බවයි.

මේ ලෙස ගම්පොළ හිටපු මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා ඉදිරියේ හා වර්තමාන මහේස්ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය ඉදිරියේ මෙම නඩුව විභාග වූ අතර මහේස්ත්‍රාත්වරිය මෙහි තීන්දුව ලබා දෙමින් ප්‍රකාශ කොට ඇත්තේ ශ්වසන පරීක්ෂණය අවිධිමත් ලෙස කිරීම යන කරුණු අනාවරණය වීමෙන් පළමු චෝදනාව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු නොකර ඇති බවය. දෙවැනි චෝදනාවෙන් ද ඔහු නිදොස් කොට නිදහස් වූයේය. ඒ අනුව අසාධාරණ අයුක්ති සහගත චෝදනා දෙකකට මැදි වූ නුවන් තුසිත කුමාර හෙවත් “මාර්කට් එකේ ලාරා” ට නීතියෙන් යුක්තිය ඉටුවිණි.

දුප්පත් නිර්දන මිනිසාට තමාගේ දුක අසාධාරණය කීමට ඇත්තේ දෙවියන් පමණය. ඒත් බොහෝ දෙවිවරුන්ට එය ඇසෙන්නේ නැත. නමුත් තමන්ගේ දුක ඔහු අදහන දෙවියන්ට ඇසී ඇත. උදේ හවා දෙවියන් බුදුන් නැමැද පහන් දල්වා දෙවියන් සමඟ නීතිය පසිඳලන අයුරු තර්ක කළ නුවන් අවසානයේ නීතය ඉදිරියේ නිවැරැදි වූයේය.

විස්තර සහ ඡායාරූප
දිල්හාන් විජයානන්ද - ගම්පොළ සමූහ 

Comments