
'වැවයි දාගැබයි ගමයි පන්සලයි' කියන සංකල්පය අපට උරුම වුණේ මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කිරීමත් සමඟයි. එදා පටන් අපේ රටේ පන්සලක් එහෙමත් නැත්නම් බොදු සිද්ධස්ථානයක් ගොඩනැඟුණා නම් ඒ වැවක් අසලම බව ඉතිහාසය දෙස බැලූ විට පෙනී යනවා. ඉතිහාසයම අවශ්‍ය නැහැ. රජරට පළාතේ බොහෝ සිද්ධස්ථාන පිහිටලා තියෙන්නේ වැවක් ආසන්නයේම බව අදත් අපට පැහැදිලියි.
මේ සංස්කෘතිය අනාදිමත් කාලයක සිටන්මයි අපට උරුම වුණේ. වරින් වර සොළී ආක්‍රමණ නිසා වැනසී ගිය බොදු උරුමය යළි නඟා සිටුවීමට හෙළ රජවරුන් දරන ලද ප්‍රයත්නද අනන්තයි - අප්‍රමාණයි.
වසර 30ක පමණ ත්‍රස්තවාදී යුද්ධයෙන් වැනසී ගිය උතුරු නැඟෙනහිර බොදු උරුමය යළි නඟාසිටුවීමට මේ වන විට කටයුතු කෙරෙන්නේ ඒ නිසාමයි.
එහෙත් ඉඳ-හිට හෝ අපට අසන්න දකින්න ලැබෙන ශෝකජනක සිදුවීම්වලට වග කිව යුත්තන්ට එරෙහිව කිසිඳු ක්‍රියා මාර්ගයක් නොගැනීම නිසා ආගමික ගැටුම් මෙන්ම පසුව විවිධ වාර්ගික ගැටුම් පවා ඇතිවීමට ඉඩ තිබෙනවා.
අප මේ කියන්නට යන කතාවත් එවැන්නක්.
අනාගතයේ මතු වීමට ඉඩ ඇති අනතුරක සේයාව වැටී ඇති නිසා නියපොත්තෙන් කඩා දැමිය හැකි දේ ගැන දැන්ම අවධානය යොමු කළ යුතුයි.
ඉතිහාසයේ දැක්වෙන පරිදි කනක රජු තම රාජාභරණ රැගෙන විත් නැවතී ඇත්තේ කනකරායන්කුලමේය.
කනකරායන්කුලම් වැව මෙන්ම ඒ අසල බොදු සිද්ධස්ථාන ඉදිවන්නට ඇත්තේ ඉන් පසුව බවයි අපට වාර්තා වන්නේ. එසේම බොදු සිද්ධස්ථාන වටා සිංහල ගම්මානද බිහිව තිබෙන අතර පසුව මේ ගම් පියස් දියුණුවලට පත් වුවත් යුද්ධය ඇරැඹීම නිසා මේ ගම් පියස් පාළුවට ගොසින්.
දැන් යුද්ධය අවසන්. සැඟවුණු ආගමික උරුමයන් කලඑළි වීමට දැන් කාලය එළැඹිලා.
එහෙත් අපේ නිදා සිටින පුරාවිදුදරුවන් නිසා අපට උරුම බෞද්ධ පමණක් නොව ඉපැරැණි අන්‍යාගමික සිද්ධස්ථාන පවා ඉදිරියේදී නැත්තටම නැතිව යන තත්ත්වයකට පත්ව ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ.
කනකගාරයන්කුලමේ පිහිටා ඇති කනකරායන්කුලම් වැව අසල තිබූ බොදු සිද්ධස්ථාන සියල්ල පසෙකට දමා එහි අනවසර ගොඩනැගිල්ල ඉඳි කරන්නට අද අැතැම් පිරිස් කටයුතු කර තිබීම සැබැවින්ම කනගාටුදායකයි.
සංහිඳියාවට පාර කපන මේ වකවානුවේ මෙවන් ක්‍රියාදාමයන් නිසා සිදු වන්නේ අනවශ්‍ය ගැටලු මතු වී අර්බුද ගොඩනැඟීමයි. මේ සියල්ලටම වගකිව යුතු වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිදා සිටින බලධාරීන්.
මේ අනවසර ඉදි කිරීම් සම්බන්ධව පැමිණිලි රැසක්ම යොමු කර ඇතත් ඒ කිසිවක් සම්බන්ධව පුරා විද්‍යා බලධාරීන් කිසිදු අවධානයක් යොමු කර ඇති බවක් නම් පෙනෙන්නට නැහැ.
කනකරායන්කුලමේ තිබූ ඉපැරැණි බෞද්ධ උරුමයන් පසෙකට විසි කර දමා, එහි අනවසර ගොඩනැඟිලි සෑදීමට අවසර දුන්නේ කවුද යන ප්‍රශ්නයද අපට විමසීමට සිදුව තිබෙනවා.
පුරාවිද්‍යා රක්ෂිතයක අඟලක බිමකඩක් හෝ උදලු පාරක් ගැසීමට කිසිදු අයකුට අවසරයක් නැහැ. එවන් තත්ත්වයක් තිබියදී බොදු උරුමය විනාශ කරන තුරු මේ පුරා විද්‍යා නිලධාරීන් සිටියේ කොහේද යන්න අපට මතුවන ගැටලුවයි.
පුරාවිද්‍යා ගොඩනැගිලිවලට අත තැබීමට හෝ කිසිවකුට හෝ හැකියාවක් නැහැ.
එවැනි තත්ත්වයක් තුළ මෙවන් ඉතිහාසයක් ඇති බොදු උරුමයක් වළලා දැමීමට පුද්ගයන් කිහිප දෙනකුට අවසර ලැබෙන්නේ නම් එය රටේ ඉතිහාසය මුළුමනින්ම වළලා දැමීමක්.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිදාගෙන සිටීම තුළ මේ වළලා දැමීමට මේ වංචනික පුද්ගලයන්ට තම කාර්යයන් ඉතා පහසුවෙන් කර ගෙන යෑමට හැකියාව ලැබී තිබෙනවා.
මේ අපරාධය සම්බන්ධයෙන් කනකරායන්කුලමේ ද්‍රවිඩ වැසියන් විසින්ද අවස්ථා ගණනාවකදී පැමිණිලි කර තිබේන බව අපට දැන ගන්නට ලැබුණා.
තිස් වසරක් පුරා පැවැති යුද්ධයෙන් බැට කා ඇති මේ ජනතාව යළිත් කිසිදු අවුල් වියවුල් ඇති වනු දැකීමට ඇති අපේක්ෂාව නිසාම මේ සම්බන්ධව වග කිව යුත්තන්ට දන්වා තිබෙනවා. ඔවුන්ද මේ ඉතිහාසය හා සබැඳි බොදු උරුමයන් විනාශ වනු දැකීමට ඇති අකමැත්තයි එයින් පැහැදිලි වන‍්නේ. විශේෂයෙන්ම සිංහල දෙමළ සංහිඳියාවට බාධා කරන මේ විනාශකාරී ක්‍රියාදාමයන් නැවැත්වීමට වහාම පියවර නොගත හොත් ඉදිරියේදී යළිත් ඇති වන අර්බුද නිරාකරණය කිරීම දැඩි අපහසු වනවාට සැකයක් නැහැ.
මේ අනවසර ගොඩනැඟීම් සිදු කෙරෙන්නේ විදුලි බලයද මේ සඳහා ලබා ගැනීමෙන්. ඒ සඳහා අනුමැතිය දුන්නේ කවුරුන්ද යන්න ගැනද සොයා බැලිය යුතුයි. විදුලිය බලය ලබාගන්නට අවශ්‍ය ලියවිලි රැසක් ඇති නමුත් මේ කිසිවක් නොමැතිව විදුලිය ලබා ගත්තේ කෙසේද යන්න විශාල ගැටලුවක්.
කිසිවකුට මේ රටේ ඉතිහාසය හෝ බොදු උරුමය වළකාලන්නට ඉඩ දිය නොහැකියි. කරුණු කෙසේ වුවත් රාජකාරිය වත් හරිහැටි කරන්නට නොදන්නා පුරාවිද්‍යා බලධාරීන්ට එරෙහිව ගනු ලබන ක්‍රියා මාර්ගය කුමක්ද යන්න ගැනද අපි කවුරුත් බලා සිටිමු.
සේයාරූ - රුක්මල් ගමගේ