අඩ නිරුවත් මානව කැන්වසය | සිළුමිණ

අඩ නිරුවත් මානව කැන්වසය

 ටිම් ස්ටෙයිනර් ගේ පිටේ විසිතුරු පච්චයක් කොටා තිබේ. කීර්තිමත් චිත්‍ර ශිල්පියකු විසින් නිර්මාණය කරන ලද එය ජර්මන් ජාතික කලා චිත්‍ර එකතු කරන්නකුට විකුණා ඇත. ස්ටෙයිනර් මිය ගිය පසු ඔහුගේ හම රාමු කෙරෙනු ඇත. එතෙක්, ඔහු කල් ගෙවන්නේ උඩුකය නිරුවත්ව කලාගාරවලය. “චිත්‍ර කලාව තියෙන්නේ මගේ පිටේයි. මම එය එහෙ මෙහෙ ගෙන යන කෙනකු පමණයි” 40 හැවිරිදි ස්ටෙයිනර් පවසයි. ඔහු සූරිච් නුවර පච්ච කොටන සාප්පුවක හිටපු කළමනාකරුවෙකි. මීට දශකයකට පෙර, ස්ටෙයිනර්ගේ එකළ පෙම්වතියට විම් ඩෙල්වොයී නමැති බෙල්ජියානු චිත්‍ර ශිල්පියෙක් මුණගැසිණි. මතභේදාත්මක අයුරින් ඌරන්ට පච්ච කෙටීම නිසා ඔහු ප්‍රසිද්ධියට පත්ව සිටියේය. අලුත් වැඩකට මානව කැන්වසයක් වීමට කැමති පුද්ගලයකු තමන් සොයමින් සිටින බව ඇයට පැවසූ ඩෙල්වොයී, ඊට කැමති කෙනකු දන්නේදැයි ඇගෙන් විමසා සිටියේය. “ඇය මට දුරකථනයෙන් කතා කළා. මම එක පයින් කැමති වුනා” ස්ටෙයිනර් කියයි. දෙවසරක් හා පැය 40ක පච්ච කෙටීමකින් පසුව, මෙක්සිකානු ශෛලියේ හිස්කබලක් ඔටුන්න කරගත් මැඩෝනා හා කහ පාට කිරණවලින් සමන්විත ප්‍රතිරූපයක් ස්ටෙයිනර්ගේ පිට පුරා පැතිර ගොස් තිබිණි. චිත්‍රයේ දකුණු පසින් චිත්‍ර ශිල්පියා ඔහුගේ අත්සන තබා ඇත. “පච්ච කොටන්නන් යනු විශ්වාස කළ නොහැකි තරමේ දක්ෂ චිත්‍රන ශිල්පීන්. නූතන චිත්‍ර ලෝකයේ කිසිම දිනෙක ඔවුනට පිළිගැනීමක් ලැබී නැහැ. කැන්වසයක පාට චිත්‍ර යක් ඇඳීම එකක්. නමුත් කටුවලින් හම උඩ පාට කිරීම සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්” ස්ටෙයිනර් පවසයි. TIM ලෙසින් නම් කර ඇති මේ චිත්‍රය යූරෝ 150, 000 (පවුම් 130, 000)ක මුදලකට චිත්‍ර එකතු කරන්නකු වන ජර්මන් ජාතික රික් රෙයින්කිං ට 2008 වසරේ දී අලෙවි කර තිබේ. මේ මුදලින් තුනෙන් එකක් ස්ටෙයිනර් ට ලැබී තිබේ. “මගේ හම දැන් අයිති රික් රෙයින්කිංටයි” ස්ටෙයිනර් කියයි. “කැන්වසය මගේ පිටයි. තාවකාලික රාමුව මමයි.” ගනුදෙනුවේ කොටසක් වශයෙන්, ස්ටෙයිනර් මිය ගිය පසු ඔහුගේ පිට හම ගසා ඒ හම ස්ථිර ලෙසින් රාමු කෙරෙනු ඇත. ඉන්පසු එය රෙයින්කිංගේ පෞද්ගලික චිත්රප එකතුවට එක්වනු ඇත.

“මෙය පැරණි සංකල්පයක්. ජපන් පච්ච කෙටීමේ ඉතිහාසයේ මෙය බොහෝ වතාවක් කර තිබෙනවා. නියම විදියට රාමු කිරීමෙන් පස්සෙ චිත්‍රය හොඳට පේනවා නම්, මෙය එතරම්ම නරක අදහසක් නෙවෙයි කියලයි මම හිතන්නේ..” ස්ටෙයිනර් ප්‍රකාශ කරයි. එහෙත් මේ කාර්යය කරන ආකාරය පිළිබඳව බොහෝ විට ප්‍රබල විවාද හටගනී. “සෑම වෙලාවකම මෙය ලොකු සාකච්ඡාවලට බඳුන් වෙනවා. ජනතාවගේ අභියෝගයට ලක්වන අවස්ථාවන් ඉතාමත් සිත්ගන්නා සුලුයි” ස්ටෙයිනර් කියයි.

“මෙය දුෂ්ට අපරාධයක් බව ඔවුන් කියනවා. මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව කියනවා.”

කොන්ත්‍රාත්තුවේ කොටසක් වශයෙන් ස්ටෙයිනර් අවම වශයෙන් වසරකට තෙවතාවක් උඩුකය නිරුවත්ව චිත්‍ර ප්‍රදර්ශන ශාලාවන්හි වාඩිවී පච්චය ප්ර දර්ශනය කළ යුතු වෙයි. ඔහුගේ පළමු ප්‍රදර්ශනය සිදුවූයේ 2006 වසරේ ජූනි මාසයේ දී සූරිච් නුවරදීය. ඒ වන විට පච්චය සම්පූර්ණයෙන්ම අවසන් කර නොතිබිණි. පසුගිය වසරේ 10 වැනි සංවත්සරය එළැඹි විට ස්ටෙයිනර් ඔහුගේ වඩාත්ම දීර්ඝ ප්‍රදර්ශනයේ මැදට පිවිස සිටියේය. එහි දී ස්ටෙයිනර් දිනකට පැය පහක් බැගින් හා සතියකට දින හයක් බැගින් පුර වසරක් ටැස්මානියා ප්‍රන්තයේ හොබාට් නුවර පැරණි හා අලුත් චිත්‍ර කෞතුකාගාරයේ (මොනා) ඔහුගේ පිට ප්‍රදර්ශනය කළේය. ඒ කාර්යය පසුගිය ජනවාරි 31 වැනිදායින් අවසන් විය. “කකුල් දෙක පහළට එල්ලී වැනෙන විදියට මේසයක් උඩ කොන්ද කෙළින් තියාගෙන දණිස් දෙකට අත තදකර ගෙන මිනිත්තු පහළොවක් ඉන්න එක අමාරු වැඩක්” ස්ටෙයිනර් කියයි. “මම පැය 1500ක් තිස්සේ එහෙම කළා. එය මෙතෙක් මගේ ජීවිතයේ කරපු වඩාත්ම දුෂ්කර ක්රිවයාවයි.”

“ඒ දවස්වල වෙනස් වූ එකම දෙය මගේ මානසික තත්ත්වයයි. සමහර අවස්ථාවල ස්වර්ගයේ. සමහර අවස්ථාවල අපායේ. හැම වෙලේම මම හිටියේ ‍හොඳ සිහිබුද්ධියෙනුයි.” කලාගාරයට එන නරඹන්නන්ගෙන් ස්ටෙයිනර් වෙන් කරන එකම දෙය වන්නේ පොළොවේ ඇඳ තිබෙන රේඛාවකි. අතීතයේ දී සමහරු මේ රේඛාව පසුකර තිබේ.

“මාව අල්ලලා තියෙනවා. මට හුළං පිඹලා තියෙනවා. මට කෑගහලා තියෙනවා. සමහරු මාව තල්ලු කරලා මට කෙළ ගහලා තියෙනවා.” ජනතාව තමන්ට කතා කිරීමට උත්සාහ කරන විට ස්ටෙයිනර් උත්තර නො දී නොසැලී සිටියි. “මිනිසුන් බොහෝ දෙනෙක් හිතන්නේ මම ප්‍රතිමාවක් කියලයි. මම ඇත්තටම පණපිටින් ඉන්නේ කියලා දැන ගත්තම ඔවුන් විස්මයට පත්වෙනවා.” එහෙත් මෙය ප්‍රාසංගික චිත්‍රයක් යන අදහස ස්ටෙයිනර් ප්‍රතික්ෂේප කරයි. “විම් ඩෙල්වොයීගේ නම මේ චිත්ර යට දාලා තිබුෙණ් නැත්නම් කලාත්මක අදාළතාවක් ලැබෙන්නේ නැහැ” යැයි ස්ටෙයිනර් අවධාරණය කරයි. බිත්තියේ එල්ලා ඇති පින්තූරයක් හා කාලයත් සමඟ වෙනස් වන ‘ජීවමාන කැන්වසයක්’ අතර වෙනස පෙන්වීම ස්ටෙයිනර්ගේ අරමුණ වෙයි. “මම මහත් වෙන්න පුළුවනි. ඇ‍ඟේ කැළැල් ඇති වෙන්න පුළුවනි. පිච්චෙන්න පුළුවනි. ඕනෑම දෙයක් වෙන්න ඉඩ තියෙනවා. ජීවිතයේ හැටි එහෙමයි. ශරීරය පිටුපස පහළ කොටසේ මට ශෛල්‍යකර්ම දෙකක් කරලා තියෙනවා. කෞතුකාගාරයේ සිටිය දී ස්ටෙයිනර්ට ලැබෙන එක ආස්වාදයක් වනුයේ විවෘත කරනු ලබන වේලාවට පෙර ශාලාව සම්පූර්ණයෙන්ම ඔහුටම වෙන්ව තිබීමයි.

“තනියම, ‘හෙඩ්ෆෝන්’ දාගෙන, එහාට මෙහාට ඇවිදිමින්, මගේ ව්‍යායාම් කරමින්, විස්මිත චිත්‍ර වට කරගෙන මේ ගුප්ත ගොඩනැඟිල්ලේ සිටීම විකාරයක්” ඔහු කියයි.

එහෙත් හය මසක කාලයක් සඳහා ස්ටෙයිනර් නැවතත් නොවැම්බරයේ දී එම ස්ථානයට පැමිණෙනු ඇත. ඒ, ඩෙන්මාර්කය හා ස්විට්සර්ලන්තයේ පෙනී සිටීමෙන් පසුවය.

“මම මෙහෙට ඇවිත් ඉන්නේ පෙට්ටි උඩ ඉඳගෙන ඉන්නයි කියලා මේ මුළු අත්දැකීමෙන් මට ඒත්තු ගොස් තියෙනවා” ස්ටෙයිනර් පවසයි.

“මතු දිනයෙක TIM බිත්තියක එල්ලිලා ඉඳීවි. ලස්සනයි.” 

 

Comments