පසත් - ඉඩමත් නිසරු වුණොත් අස්වැන්නත් ආර්ථිකයත් දුර්වල වෙයි | Page 6 | සිළුමිණ

පසත් - ඉඩමත් නිසරු වුණොත් අස්වැන්නත් ආර්ථිකයත් දුර්වල වෙයි

 අද පස් කැපීම් පස් ගොඩ කිරීම් වැනි දේවල් මඟින් පසට මොන කෙනෙහිලිකම් කළත් පස අපේ රටේ සියලු කෘෂිකාර්මික කටයුතුවලට නැතිවම බැරි ස්වාභාවික සම්පතකි.

සරු පසක් සරු ඉඩමක් නැත්නම් අපේ ආහාර බෝග වැවිලි බෝගවල අස්වැන්න ඉතා අඩු වේ. එහෙත් පස හා ඉඩම සුරැකීමට අපේ රටේ ජනතාවත් බලධාරීන් හා නිලධාරිනුත් දක්වන්නේ ඉතා අඩු සැලකිල්ලකි. මේ නිසා අද මෙරට කෘෂිකර්මාන්තයට ආර්ථිකයට ඉදිරියේදී ප්‍රබල අහිතකර බලපෑම් එල්ල වීමට ඉඩ ඇත.

ඵලදායිතාව අඩුවී ඉඩම් හා පස තවත් නිසරු වීමට ප්‍රථම පස හා ඉඩම් සුරැකීමට තිබෙන නීතිරීති දැඩි ලෙස ක්‍රියාවට නැංවීම අපි මුලින්ම කළ යුතුය.

පස ඇතිවන්නේ පෘථිවි පෘෂ්ඨයේ ජීර්ණය වූ බාහිර කබොල්ලෙනි. ඛනිජමය හා කාබනික පදාර්ථ මෙයට ඇතුළත් වේ. ජලය මඟින් සුළඟ මඟින් සතුන් මඟින් පස් ඉවත් වේ. එහෙත් ඒ පස් යළි යළි ඇතිවීම නිසා පස් ඉඩම්වල සරු බව සුරැකීම පිළිබඳව අවධානයක් නැත.

පසක ගති ලක්ෂණ සරු බව රඳා පවතින්නේ එහි මවු පාෂාණවලට ඇතිවන දේශගුණික බලපෑම් හා ඒ මත වවන ගහකොළ හා වගාවන්වල බලපෑම මතයි.

මේ අනුව පසේ ඇති කාබනික ස්වභාවය ඇතිවන්නේ ප්‍රධාන ලෙස ඒ මත ඇති ශාක පද්ධතිය අනුව බව පැහැදිලිය. මේ කාබනික ද්‍රව්‍ය පසේ ගුණාත්මක බව සඳහා ඉතා වැදගත්ය. කාබනික ද්‍රව්‍ය අඩංගු වීමෙන් ස්ථාවර ජලය රඳා ගැනීමට හැකි පසක් ඇති වේ. වැසි සමයට ජලය වැඩි ප්‍රමාණයක් පස තුළට උරාගන්නේ කාබනික ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් පස තුළ තිබූ විටය. නමුත් අප පස උඩ ඇති ස්වාභාවික වන ආවරණය පැළෑටි ගහකොළ ඉවත් කළහොත් පසේ තත්ත්වය බාල වෙයි. කාබනික ද්‍රව්‍ය වැඩි පස් - පාංශු ඛාදනයට ලක් වීම ද ඉතා අඩුය.

පාංශු ඛාදනය සිදුකරන මිනිස් ක්‍රියාකාරකම් ප්‍රධාන කොටස් පහක් ඇතැයි භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඛනිජ සඳහා කැණීම්, වනාන්තර එළිපෙහෙළි කිරීම අවිධිමත් ලෙස බෝග වැවීම පශු සම්පත් නිෂ්පාදනය මිනිස් ජනාවාස හා ගොඩනැඟිලි ඉදිකිරීම ඒ අතර ප්‍රධාන වේ.

ඉරිඟු දුම්කොළ මිරිස් වැනි දේ වගා කිරීමේදී පේළි අතර මෙන්ම ශාක අතර හිස් ඉඩකඩ තිබේ. ඉන් පාංශු ඛාදනය වැඩිවී පස නිසරු වේ. ඒ සමඟම ගවයන් අධික ලෙස තෘණ උලා කෑමත් පස් පාංශු ඛාදනයට ලක්වීමට ප්‍රධාන හේතුවක් වේ. පස සුරැකීමට පාංශු ඛාදනය වැළැක්වීමට පමණක් ප්‍රමාණවත් නොවේ. ඉඩම් පරිහරණය ප්‍රමිතියක් අනුව සිදුකළ යුතුව ඇත.

පසුගිය සතියේ කතාබහට ලක්වූ දිවුලපිටියේ අකරගම පස් කැපිල්ල වැනි ක්‍රියා රටපුරා විවිධ ස්ථානවල සිදුවෙන බව අපට වාර්තා වෙයි. මේ සියල්ලගෙන්ම කෙරෙන්නේ පස විනාශ වීම හා අවිධිමත් ඉඩම් පරිහරණයයි. ඉඩමක් තිබෙන ස්ථානය එහි වටා ඇති ගස්වල ප්‍රමාණය හා ඉඩමේ ආනතිය අනුව ඉඩම භාවිත කළ යුතු ආකාරය හා ඉන් ප්‍රයෝජන ගත හැකි ආකාරය වෙනස්ය. ඉහත ලක්ෂණ නොතකා ඉඩම පරිහරණය කළොත් ඉන් ඉඩම නිසරු වේ.

ඉඩම් නිසරු වීම නැත්නම් ඉඩම් හායනය යනු ඉඩමක බෝග සිටුවා කෙතරම් පොහොර දැම්මත් එයින් ඉහළ මට්ටමේ අස්වැන්නක් ලබාගත නොහැකි වීම බව කෘෂි විද්‍යාඥයන්ගේ මතයයි.

කිසිම භූ භෞතික විද්‍යාඥයකුගේ උපදෙස් නොමැතිව ආනතිය සියයට 45ට වැඩි ඉඩම්වල නිවාස ඉදිකිරීම ඉතා භයානකය. විශේෂයෙන් නායයෑම්වලට ලක්වීමට ඉතා ඉඩ ඇති මෙම නිවාසවල ජීවත්වන අය වැඩිපුර වර්ෂාව ඇති කාලයට අවට නායයෑමේ පූර්ව ලක්ෂණ ඇත්දැයි අවධානය යොමුකළ යුතුය. එහෙත් මෙවන් අනතුරු අපිට මෙලෙස වුවමනාවෙන්ම ගෙන්වා ගන්නේ අවිධිමත් ඉඩම් පරිහරණය නිසාවෙනි.

මේ අනුව බලන විට යම් පසක් සුරැකීමට නම් කෘෂිකර්ම උපදේශකවරුන්ගේ උපදෙස් අනුව වගා කිරීමත් හා භූ විද්‍යාඥ උපදෙස් අනුව ඉදිකිරීම් සිදුකිරීමත් අද කාලීන අවශ්‍යතාවක් වී තිබේ. අද අපේ රටේ ප්‍රධාන නගරවල ඉවක් බවක් නැතිව ඉදිවන මහල් ගොඩනැඟිලි ඉදිකිරීමට පෙර ඒ ස්ථානවල භූමිය භූ විද්‍යාඥයන් ලවා පරීක්ෂා කර ගන්නේ නම් ඉතා උචිත බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපදේශක සම්මානිත මහාචාර්ය කපිල දහනායක මහතා ද නිතර පෙන්වා දෙයි. මේ අනුව පස හා ඉඩම් සුරැකීමට විද්‍යාත්මක හා පාරිසරික සංරක්ෂණ උපදෙස් ලබා ගැනීම අද ඉතා සුදුසු කාර්යයක් බවට පත්වී ඇත.

තිරසර ලෙස පස හා භූමිය සංරක්ෂණය කිරීමේදී විය යුත්තේ භූමිය භාවිත කරන්නාගේ අවශ්‍යතා සපුරාලීමට කෘෂි විද්‍යාත්මක හා යාන්ත්‍රික ක්‍රම අනුගමනය කිරීමයි. මෙහිදී කළ යුත්තේ පසේ මතුපිට තට්ටුවට සම්පූර්ණ ආරක්ෂාව ලබාදෙන යහපත් කෘෂි ඛනිජ පාංශු සංරක්ෂණ ක්‍රම භාවිත කිරීමයි. සමෝච්ච ආකාරයට පස් පෙරළීම, ආවරණ බෝග භාවිතය, ස්ථානගත පසට සුදුසු නිවැරැදි සුදුසුම බෝග වැවීම පස් සුරැකීමට අදාළ කෘෂි විද්‍යාත්මක ක්‍රම කීපයකි.

ඉඩම වටා ගල් වැටි හා තාප්ප ආදිය ඉදිකිරීම පඩි ලෙසට කපන ගල් වැටි, සැවැන්දරා වැනි ශාක වැටි, නෙත්ති කානු, කුට්ටි කානු හැරවීමේ කානු සමෝච්ච රේඛා අනුව බඳින ගල්වැටි ආදිය පාංශු ඛාදනය වැළැක්වීමට උදවු වෙයි.

ගොවි ජනතාවට තම ඉඩම් හා පස් සුරැකීම තනියෙන් කළ හැකි කාර්යයක් නොවේ. ඒ සඳහා කෘෂිකර්මයට පරිසරයට වාරිමාර්ගවලට සම්බන්ධ සියලු රාජ්‍ය ආයතන ගොවි ජනතාවට උදවු උපදෙස් ලබාදිය යුතුය.

අද රටේ පවතින තත්ත්වය දෙස බලන විට මේ පස හා ඉඩම් සුරැකීමට වෙනම ආයතනයක් පිහිටුවීම ද කාලීන අවශ්‍යතාවක් වී ඇත. පාංශු සංරක්ෂණ පනතක් තිබුණත් එය ක්‍රියාත්මක නැත. ඉඩම් පරිහරණය හා පස් පරිහරණය පිළිබඳව වෙනම නීති පද්ධතියක් ද අද අවශ්‍ය වී ඇත. එමෙන්ම පස හා ඉඩම් සංරක්ෂණය තමන්ට ඉතා වාසිදායක කටයුත්තක් බව ගොවි ජනතාවට අවබෝධ කරලීම ද කළ යුතුව ඇත.

 

Comments