වෙනස් කිරීමට තවමත් කාලය තිබේ | සිළුමිණ

වෙනස් කිරීමට තවමත් කාලය තිබේ

අ.පො.ස. උසස් පෙළ - සිංහල විෂය නිර්දේශය

සංවාදයට විවෘතයි

ජාතික අධ්‍යාපන ආයතනය මෙවර සිංහල විෂය නිර්දේශය සකස් කර ගැනීමට පෙලඹීමේදී උග්‍ර අර්බුදයකට මුහුණ දී සිටින බැව් පෙනේ. මෙබඳු අර්බුදයක් පැන නැඟීමට තුඩු දී ඇත්තේ සමබර විෂය නිර්දේශ කමිටුවක් තෝරාපත් කර ගැනීමට අපොහොසත් වීම නිසා ය. ගුරුකුල අත්්තුඃකංසනයෙන් මිදුණු, පුද්ගල බද්ධ හේතු සාධක මත පුද්ගලයන් ගෙන් කැකෑරෙන ද්වේෂයෙන් යුතුව පළිගැනීමට නොපෙලඹෙන මනා ශික්ෂණයට හා විවේක බුද්ධියෙන් යුත් මැදහත් බුද්ධිමතුන් පිරිසක් විෂය නිර්දේශ කමිටුවට තෝරා පත් කර ගත යුතු ය‍. එහෙත් මෙවර එවැන්නක් සිදුවී නැති බැව් ජාතික අධ්‍යාපන ආයතනයට එල්ල වන චෝදනා වලින් ප්‍රකට කෙරේ.

දැනට අවසාන තීරණයට එළඹ ඇති සිංහල විෂය නිර්දේශය නිකුත් වී තිබේ. එහි පුරාතන ගද්‍ය හා පුරාතන පද්‍ය අරභයා කිසිදු ගැටලුවක් පැන නොනැගේ. විසංවාද පැන නැගී ඇත්තේ නූතන සාහිත්‍යාංග අරභයා ය. නූතන සාහිත්‍යය, නවකතා, කෙටිකතා, නාට්‍ය හා කාව්‍ය රචනා ලෙස කොටස් කළ හැකි ය. අන් කවර අවධියකටත් වඩා නුතන සාහිත්‍යය අද වනවිට අතිශය පුළුල් මෙන් ම සංකීර්ණත්වයට පත්ව තිබේ. ඒ නිසා උසස් පෙළ ශිෂ්‍යයා අධ්‍යයනය සඳහා ඒ ඒ ක්ෂේත්‍ර නියෝජනය කරන පෙළ පොත් තෝරා ගැනීමට පෙළෙඹීමේදී වඩාත් ප්‍රඥාගෝචර බුද්ධිමත් නිගමන වලට එළෙඹීමට තේරීම් කමිටු සාමාජිකයන් නැඹුරු විය යුතු ය. ඇතැම් ප්‍රබුද්ධ සාහිත්‍යකරුවන් සමඟ තිබෙන පෞද්ගලික වෛරය පෙරදැරි කරගෙන තේරීම් කමිටු සාමාජිකයන් ක්‍රියා නොකළ යුතු ය. ඔවුන් විසින් පෙළ පොත් තීරණය කරනු ලබන්නේ අනාගතයේ බිහිවන විචාරශීලී බුද්ධිමත් තරුණ පිරිසකට බව මොහොතකටවත් අමතක කළ යුතු නොවේ.

නිර්දේශිත නවකතාව වන්නේ බැද්දේගම ය. මෙය මෙරට තත්කාලීන සමාජාර්ථික හා දේශපාලන පසුබිම සියුම් විමර්ශනයට ලක් කෙරෙන, ගැමි ජීවිතය මෙන් ම ගැමියන්ගේ ජීවන අර්බුද විචක්ෂණ විශ්ලේෂණයට හසු කෙරෙන මෙරට සමාජය පසුබිම් කරගත් නවකතාවකි. එය මුල් කෘති‍යට අසාධාරණයක් නොකෙරෙන ළගන්නාසුලු සංවේදී කතා පුවතක් විවරණය කෙරෙන අනුවර්තනයකි. මුල් ලේඛකයාගේ නිර්මාණ ශක්‍යතාවලට කිසිදු අසාධාරණයක් නොකෙරෙන සමාජ යථාර්ථය ගවේෂණය කෙරෙන පැසසුම් කටයුතු නිර්මාණයකි. මේ කෘතිය තෝරා ගැනීම මඟින් උසස් කලාත්මක නවකතා ලක්ෂණ විමර්ශනය කිරීමට අවකාශය සැලසෙන අතර පරිවර්තන සාහිත්‍යය අරභයා ද විද්‍යාර්ථීන්ට අවබෝධයක් ලබාදීමට ඉඩකඩ සැලසේ. බැද්දේගම උසස් පෙළ විද්‍යාර්ථීන්ට නොගැළපෙන කෘතියක් ලෙස කිසිසේත් නොසැලකිය යුතු වුව ද, මෑතකාලීන උසස් නවකතා කෙරෙහි ද තේරීම් මණ්ඩල සාමාජිකයන්ගේ අවධානය යොමු විය යුතුව තිබුණි. මඩවල එස්. රත්නායකගේ අක්කර පහ, ජයසේන ජයකොඩිගේ අස්වැන්න, සෝමවීර සේනානායකගේ යසෝරාවය, ඇරැව්වල නන්දිමිත්‍රගේ මල්දෙණියේ සිමියොන්, මිණිවන් පී. තිලකරත්නගේ පමා නොවී එමි අකුරට, සුමිත්‍රා රාහුබද්ධගේ බුමතුරුණු, සුනේත්‍රා රාජකරුණානායකගේ කන්දක් ගිනි ඇවිළෙන්නේ, ජයතිලක කම්මැල්ලවීර ගේ පුරාහඳ, සේන තෝරදෙනියගේ සදත්විල සුභද්‍රාවෝ ආදී නවකතාවලින් එකක් තෝරාගෙන කාලීන සමාජ ප්‍රවණතා හැදෑරීමට විද්‍යාර්ථීන්ට‍ ඉඩ ප්‍රස්තාව සලසා දීමට අවකාශය තිබුණි.

සිංහල කෙටිකතාව සාහිත්‍යාංගයක් ලෙස පෝෂණය කිරීමට කෙටිකතා කරුවන් රැසක් දායකත්වය සපයා ඇත. එහෙත් විෂය නිර්දේශයක් සකස් කරන විට ඒ සියලුම කෙටිකතාකරුවන් පිළිබඳව අවධානය යොමු කළ නොහැකි බව අපි පිළිගනිමු. මේ ගැටලුව නිරාකරණය කර ගැනීමට නම්, එම කාල වකවානුවල කෙටිකතාවේ ප්‍රවණතා නියෝජනය කරන එක්, ලේඛකයකු බැගින් තෝරා ගැනීමට කමිටු සාමාජික‍යන් පෙලෙඹිය යුතු ය. ඒ අනුව, දැනට තෝරා ගෙන ඇති විෂයය නිර්දේශයෙහි ඇතුළත් කෙටිකතා අතුරෙන් මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී. සේනානායක, ගුණදාස අමරසේකර බඳු ලේඛකයන් තෝරා ගැනීම ගැන ගැටලුවක් පැන නොනඟී. ඔවුන් සිංහල කෙටිකතා ඉතිහාසයේ සන්ධිස්ථාන නියෝජනය කරන ලේඛකයන් වන හෙයිනි. එහෙත් ප්‍රමාණය ගැන සැලකිලිමත් වුවහොත් කේ. ජයතිලකගේ කෙටිකතාවක් තෝරා ගැනීමට වඩා මෙරට කෙටිකතා ක්ෂේත්‍රයට නූතනවාදී ලක්ෂණ නිර්මාණාත්මක ලෙස ප්‍රවිෂ්ට කරලූ ටෙනිසන් පෙරේරා ගේ කෙටිකතාවක් ඇතුළු කිරීමට ඉඩකඩ තිබුණි. ඔහුගේ කතා විෂය නිර්දේශ කමිටුවට පමණක් නොව අද විෂය නිර්දේශය විවේචනය කරන ඇතමුන්ගේ අවධානයෙන් ගිලිහ‍ීයාම ද ඛේදජනකය.

මෙවර ප්‍රථම වතාවට අජිත් තිලකසේනගේ කෙටිකතාවක් තෝරා ගැනීම ගැන ප්‍රශංසා කළ යුතු ය. අජිත් තිලකසේන යනු කථාන්තරකරුවෙක් නොවේ. ඔහු ජීවන අවස්ථා හා සංසිද්ධි චරිත සංඝටන ඇසුරින් ගැඹුරින් නිරූපණය කරන ලේඛකයෙකි. ආසියාතික කෙටිකතා කරුවන් අතර ස්වතන්ත්‍රතාවක් ගොඩනඟා ගැනීමට කුසලතාවක් ප්‍රකට කළ සිංහල කෙටිකතාකරුවා වන්නේ අජිත් තිලකසේනය.

සෝමරත්න බාලසූරියගේ හා ජයතිලක කම්මැල්ලවීර ගේ කෙටිකතා අනිවාර්යයෙන් ම විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතුව තිබුණි. යථාර්ථවාදය මෙන් ම විවේචනාත්මක යථාර්ථවාදය අනුගමනය කරමින් සමත් ය. තියුණු විවරණයට හසු කිරීමට මේ ලේඛකයෝ දෙදෙනාම නැඹුරු වී සිටියහ. චෝදනා නැගෙන ආකාරයට ඔවුන් දෙදෙනාගේ නිර්මාණ බැහැර වූයේ පෞද්ගලික හේතු සාධක මත නම් එය කිසිසේත් අනුමත කළ නොහැකි ය. තරුණ පරපුරේ පෙරළිකාර කෙටිකතාකරුවා වන පියල් වික්‍රමසිංහ ගේ කෙටිකතාවක් ද උසස් පෙළ විද්‍යාර්ථීන් සඳහා තෝර‍ා ගැ‍නුණේ නම් කෙටිකතාවේ නව ප්‍රවණතා හැදෑරීමට විද්‍යාර්ථීන්ට එය මනා පිටුබලයක් විය හැකිව තිබුණි. කෙටිකතාවේ විවිධ ප්‍රවණතා අධ්‍යයනය කිරීම මඟින් විද්‍යාර්ථීන්ගේ වින්දන ශක්‍යතා පෝෂණය වන අතර ම කෙටිකතාව ගැඹුරින් හැදෑරීමට ද අනුබලයක් ලැබෙන්නේ ය.

දැනට සකසා ඇති විෂය නිර්දේශයෙන් ඉමහත් හානියක් සිදුවී ඇත්තේ නූතන සිංහල කාව්‍ය රචනා සම්බන්ධයෙනි. උසස් පෙළ විද්‍යාර්ථීන්ට නූතන සිංහල කාව්‍ය ඉතිහාසය හැදෑරීමට අවකාශය සැලසෙන අයුරින් කාව්‍ය රචනා තෝරාගත යුතුව තිබුණි. කොළඹ යුගයේ වැඩිහිටි පරපුරේ කවීන් නියෝජනය කිරීම සඳහා ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ගේ හා ජී.එච්. පෙරේරාගේ කාව්‍ය නිර්මාණ දෙකක් තෝරා ගත හැකිව තිබුණි. කොළඹ යුගයේ තරුණ පරපුර නියෝජනය කිරීම සඳහා විමලරත්න කුමාරගම හා සාගර පළන්සූරිය යන කවීන් දෙදෙනාගේ කාව්‍ය රචනා දෙකක් තෝරා ගත යුතු වේ. හෙළ හවුල නියෝජනය කිරීම සඳහා කුමාරතුංග මුනිදාස හා රැයිපියෙල් තෙන්නකෝන් යන කවීන්ගේ නිර්මාණ එක බැගින් ඇතුළත් කළ යුතුව ඇත. එහෙත් විෂය නිර්දේශ කමිටුව මේ කාව්‍ය පරපුරු තුනම අමතක කිරීම කිසිසේත් සාධාරණීකරණය කළ හැකි නොවේ. මේ ඔවුන් විසින් හිතාමතාම සිදු කරන ලද වරදකි. නූතන සිංහල කවිය හැදෑරීමට පෙලෙඹෙන විද්‍යාර්ථීන්ට සිදුවී ඇත්තේ පූර්වකාලීන නිර්මාණ පිළිබඳව කිසිවක් නොදැනම ජී.බී. සේනානායකගෙන් කවිය ඇරඹීමට ය. අද පවත්නා පාසල් අධ්‍යාපනයට අනුව, ගුරුවරුන් කිසිසේත් කොළඹ කාව්‍ය පරපුරු දෙක ගැන හා හෙළ හවුල ගැන කිසිවක් විද්‍යාර්ථීන්ට ඉගැන්වීම පෙලඹෙන්නේ නැත. ජී.බී. සේනානායක, සිරි ගුනසිංහ, ගුණදාස අමරසේකර, මහගම සේකර යන කවීන්ගෙන් පසු කිසිසේත් අමතක කළ නොහැකි කවියා නම් විමල් දිසානායකය‍. 70 දශකයේදී සිංහල කවියේ නව ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා කාව්‍ය නිර්මාණකරණයෙන් ද කාව්‍ය විචාරයෙන් ද, රස වින්දනාත්මක වැඩසටහන්වලින් ද සුවිසල් මෙහෙයක් ඉටු කරනු ලැබුයේ විමල් දිසානායක විසිනි.

දිසානායක කවියා කපා හැරීම, මේ කමිටුවේ සිටින එක් කෙනකුගේ හෝ දෙදෙනකුගේ යම් බඳු කුරිරු, ද්වේෂ සහගත ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. මෙහිදී පැන නඟින උත්ප්‍රාසාත්මක සිදුවීම නම් දිසානායක කපා හැර ධර්මසිරිගේ කාව්‍ය නිර්මාණයක් තෝරා ගැනීම ය. මෙහි පදනම කුමක්ද? ඔහුගෙන් නියෝජනය වන්නේ නුතන සිංහල කවියේ කෙබඳු ප්‍රවණතාවක් ද? මා දන්නා පරිදි (මා අවසාන වසරේ සිටින විට) ධර්මසිරි පළමු හෝ දෙවන වසරේ ශිෂ්‍යයෙකි. ඔහු ධර්මසිරිගේ කව කියවමින් ඒවායේ වැරැදි හා ඌනතා පෙන්වා දෙමින්, නිර්මාණ සභාවේ දී ඔහු පිළිබඳව සෙසු විශ්වවිද්‍යාල සගයන්ට හඳුන්වා දෙමින් ඔහු කවියකු බවට පත් කිරීමට සෙවණැල්ලක් මෙන් පෙනී සිටිමින් ඔහුට යෝධ හස්තයක් වූයේ විමල් දිසානායක කවියා ය. එහෙත් විෂයය නිර්දේශ කමිටුවේ සිටි ද්වේෂයෙන්, කුරිරුකමෙන් හා ඊර්ෂ්‍යාවෙන් පෙළුණු බක පණ්ඩිතයන්ට ඔහුගේ මැදහත්කම හා අවශ්‍යතාව නොපෙනුනේ ඔවුන් ජාත්‍යන්ධයන් වන හෙයිනි. බොහෝ විචාරකයන් පෙන්වා දී ඇති පරිදි බුද්ධදාස ගලප්පත්ති, නන්දන වීරසිංහ, ආරියවංශ රණවීර බඳු කවීන් මේ (අ) විද්වත් යැයි හඳුන්වා ‍ගන්නා කමිටුවෙන් ගිලිහී ගියේ කෙසේ ද?

නාට්‍ය සම්බන්ධයෙන් පැන නඟින ගැටලුව වී ඇත්තේ දිගින් දිගටම මහාචාර්ය සරච්චන්ද්‍රගේ නාට්‍ය පිටපතක් විෂය නිර්දේශයට ඇතුළත් වීම ය. මහාචාර්ය සරච්චන්ද්‍ර නාට්‍ය කලා ක්ෂේත්‍රයේ එක් ප්‍රවණතාවක් නියෝජනය කරන නාට්‍යකරුවෙකි. සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, ප්‍රේම රංජිත් තිලකරත්න, ජයලත් මනෝරත්න ආදී ප්‍රතිභාපූර්ණ නාට්‍යකරුවෝ උසස් නාට්‍ය පිටපත් රචනා කොට නිෂ්පාදනය කළෝ වෙති‍. ඔවුන්ගේ උසස් නාට්‍යයක් උසස් පෙළ විද්‍යාර්ථීන්ට හැදෑරීමට තෝරා ගත හැකි ව තිබුණි. නැතහොත් දයානන්ද ගුණවර්ධනගේ ‘නරිබෑණා’ නැමැති අර්ධ ශෛලීගත නාට්‍යය තෝරා ගත හැකි ය. මහාචාර්ය සරච්චන්ද්‍ර ම සඳහන් කොට ඇති පරිදි එතුමන් ගේ බාලගෝලයා විසින් එතුමා හ‍ෑල්ලුවට පත් කරන තත්ත්වයට යොමු කර ඇති බව නම් සඳහන් කළ යුතු ය.

ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂිකාව මෙන් ම මේ කමිටුවට ඇතුළත්වූ සියලු දෙනාම ලජ්ජාවට පත්විය යුතු ය. ඔවුන්ට මේ විෂය නිර්දේශය අවලංගු කර ඉහත සඳහන් වෙනස්කම් සිදු කරලීමට තවමත් කාලය තිබේ. එසේ නොවුණහොත් සාහිත්‍යකාමී විද්‍යාර්ථීන්ගේ සත්‍යය ඔවුන්ට පතිත වීම වැලැක්විය නොහැකි ය. ඔවුන්ට නුවණැ’ස පෑදේවා!

Comments