ශ්‍රී ලංකා - ද. අප්‍රිකානු එක්දින තරගාවලිය එක්දින පිටියේ දෙවැන්නාගේ සහ සයවැනියාගේ සටන ඇරැඹේ | සිළුමිණ

ශ්‍රී ලංකා - ද. අප්‍රිකානු එක්දින තරගාවලිය එක්දින පිටියේ දෙවැන්නාගේ සහ සයවැනියාගේ සටන ඇරැඹේ

රග පහකින් සමන්විත වන ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු එක්දින ක්‍රිකට් තරගාවලිය (28) ඊයේ ආරම්භ වූයේ පෝර්ට් එළිසබත්හිදීය.

ශ්‍රී ලංකා - දකුණු අපි‍්‍රකානු එක්දින තරගාවලියේ නායකත්වය උපුල් තරංගට හිමි වී තිබේ. ඇන්ජලෝ මැතිව්ස් දෙවැනි විස්සයි20 තරගයේ ආබාධයට ලක්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වීම නිසා තරංගට නායකත්වය හිමි විය. කණ්ඩායමේ සිටින පරිනතම ක්‍රීඩකයා වන තරංග එක්දින තරග 193 කට ක්‍රීඩා කර තිබේ. තරංග මීට පෙර සිම්බාබ්වේහි පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ අතර එය ජය ගැනීමට ද සමත් විය.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අවසන් වරට තරග වැදුණේ 2015 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගයේ සිඩ්නි පිටියේදීය එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දියාරු ආකාරයෙන් ක්‍රීඩා කරමින් දකුණු අප්‍රිකාව වෙතින් කඩුලු 9කින් පරාජය විය.


දෙපිල අවසන් වරට ශ්‍රී ලංකාවේ පැවැති තරගාවලියේදී 2-1 ක් ශ්‍රී ලංකාව තරගාවලිය පරාජය විය. ශ්‍රී ලංකාව අවසන් වරට දකුණු අප්‍රිකාවේ එක්දින තරගාවලියකට එක්වූයේ 2011 - 12 දීය. තරග පහකින් සමන්විත වූ එම තරගාවලිය 3-2 ක් ලෙස ද ශ්‍රී ලංකාව පරාජය විය.
තරග 60
දෙපිල අතර එක්දින වංශ කතාව ආරම්භ වන්නේ 1992 දීය. එතෙක් මෙතෙක් දෙපිල අතර තරග 60ක් පවත්වා තිබෙන අතර එහිදී දෙපිල තරග 29 බැගින් ජය ගෙන තිබීම විශේෂත්වයකි. එක් තරගයක් සම වී ඇති අතර අනෙක් තරගය ජය පැරදුමකින් තොරව අවසන්ව තිබේ.
දකුණු අප්‍රිකාව දෙක
එක්දින ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල දකුණු අප්‍රිකාව දෙවැනි ස්ථානයේ පසුවන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම හයවැනි ස්ථානයේ පසුවේ. ඔස්ට්‍රේලියාව ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ පසුවෙයි. බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ පිළිවෙළින් හත්වැනි - අටවැනි සහ නවවැනි ස්ථානයන්හි පසුවේ.
පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල දකුණු අප්‍රිකාවේ ඒ. බී. ඩි විලියර්ස් අංක එකේ පසුවන අතර, තිස් දෙවැනි වියේ පසුවන හෙතෙම, තරග 206 කදී ලකුණු 8742 ක් රැස් කර තිබේ. ශ්‍රී ලංකාවට එරෙහිව තරග 17 කදී ලකුණු 756 ක් රැස් කර තිබෙන අතර, වැඩිම ලකුණු සංඛ්‍යාව නොදැවී 125 කි. පිතිකර ශ්‍රේණිගත කිරීම්වල සිවුවැනි ස්ථානයෙ ක්වින්ටන් ඩි කොක් සහ හසීම් අම්ලා හයවැනි ස්ථානයේ පසුවෙයි.
තුන් ඉරියව් දස්කම් දක්වන ක්‍රීඩකයන් අතර ඇන්ජලෝ මැතිව්ස් 6 වැනි ස්ථානයේ පසු වෙයි. විසි නවවැනි වියේ පසුවන මැතිව්ස් තරග 180 කදී ලකුණු 4492 ක් රැස් කර ඇති අතර, කඩුලු 111 ක් බිඳ දමා තිබේ. දකුණු අප්‍රිකාවට එරෙහිව තරග 13 කදී ලකුණු 246 ක් රැස් කර තිබේ.
පිළිකාවට එරෙහිව
මේ අතර එක්දින තරගාවලියේ පෙබරවාරි 04 දා පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් රෝස පැහැති ඇඳුමකින් සැරසී ක්‍රීඩා කිරීමට නියමිතය. මේ තරගය පියයුරු පිළිකා වැලැක්වීමේ අරමුදල් තර කිරීමේ අරමුණෙන් පැවැත්වේ. තරගය පැවැත්වෙන්නේ ජොහැනස්බර්ග්හි නිව් වොන්ඩරස් ක්‍රීඩාංගණයේදීය.
 

දෙවැනි තරගය -  පෙබරවාරි 01  ඩර්බන්හිදී
තුන්වැනි තරගය - පෙබරවාරි 04 ජොහැනස්බර්ග්හිදී
හතරවැනි තරගය - පෙබරවාරි 07 කේප්ටවුන්හිදී
පස්වැනි තරගය - පෙබරවාරි 10 සෙන්චූරියන්හිදී

 

Comments