ජනතාව නන්නත්තාර කරන කොළඹ ONE WAY | සිළුමිණ

ජනතාව නන්නත්තාර කරන කොළඹ ONE WAY

අප කොටුව දුම්රියපොළෙන් එළියට පිවිසුණේ සම්පත් බැංකුව නැත් නම් ඩී.ආර්. විජයවර්ධන මාවත අන්තයෙනි. අපට යෑමට අවශ්‍ය වූයේ මරදාන ශාන්ත ජෝසප් විදුහල අසලටය. අප පැමිණෙන තෙක් එතැන නවතාගෙන සිටි මෝටර් රථයේ අවශ්‍යතාවකට අපට මරදාන පොලීසියට යෑමටද සිදු විය. වැඩි දුරක් නොවන හෙයින් පළමුව පොලිස් ස්ථානයට ගොස්, පසුව අපගේ ගමන යෑමේ අපේක්ෂාවෙන් අපි මෝටර් රථයට නැඟුණෙමු.

මෝටර් රථය විනාඩි එකයි තත්පර 57ක් ගත වන විට මරදාන වටරවුම අසලට පැමිණියේය. එතැනට කොටුව දුම්රිය ස්ථානයේ සිට දුර කිලෝමීටර් 2යි මීටර් 100කි. අපට මීටර් දෙතුන් සීයක් දකුණු පසට වන්නට පොලීසිය පෙනිපෙනී අප වමට මෝටර් රථය හරවා ටෙක්නිකල් හන්දිය දෙසට ගමන් ගතිමු. ටෙක්නිකල් හන්දියෙන් යළි දකුණට හරවා මාලිගාවත්ත දෙසට ගමන් කොට බීසීසී වටරවුමෙන් යළිත් මරදාන පාරට හැරී පැමිණියෙමු. මරදාන වටරවුමෙන් යළිත් පොලීසිය පෙනිපෙනී ගිය තැනින් පොලීසිය වෙත ළඟා වීමු. ගමනේ මුළු දුර කිලෝමීටර් 4.1කි. ඒ වන විට අප මරදාන වටරවුමේ වර්ණ සංඥාව දෙපාරක් පසු කර ඇති අතර, පසු කරගෙන ආ සමස්ත වර්ණ සංඥා සංඛ්‍යාව 11කි. ගමන් කාලය විනාඩි 14කි. පොලීසිය පෙනිපෙනී වර්ණ සංඥා 11ක් පසු කරගෙන විනාඩි දෙකේ ගමනට අපට විනාඩි 14ක් ගත විය.

අපගේ ඒ ගමන වෙසක් සමයේ තොරණ බලන්නට යන ගමනකට නම් ඉතා කදිමය! එහෙත් මෙවර අප ගියේ තොරණ බලන්නට නොවේ. කොළඹ රථ වාහන තදබදය අවම කිරීමට සකස් කර ඇති තනි අතට ගමන් කරනු ලබන මාර්ගයන්ට පින් සිදු වන්නට ඇති මාර්ගයකය. එම ගමන යෑමට අපට වෙනත් මාර්ගයක් නොමැත.

ඒ සඳහා අපට සාමාන්‍යයෙන් වැය වන ප්‍රමාණය මෙන් දෙකහමාරකට අධික ඉන්ධන ප්‍රමාණයක් වැය වන්නට ඇත. අධික තදබදය මෙන්ම වර්ණ සංඥා අසල නවත්වාගෙන සිටීම නිසා එසේ අනවශ්‍ය අන්දමින් ඉන්ධන අපතේ යන්නට විය.

කොළඹ නගරයේ තදබදය අවම කිරීමේ අරමුණින් කොළඹ නගර සීමාවේ ප්‍රධාන මාර්ග කිහිපයක වාහන ධාවනය තනි අතට සීමා කිරීමට කටයුතු යෙදුණේ වසර කීපයකට පෙරය. එහෙත් ඒ ක්‍රමවේදය ගැන කිසිදු පසු-විපරමක් සිදු වන බවක් නම් නොපෙනේ. විශේෂයෙන්ම වාහන තනි අතට ධාවනය කරන්නට යෙදුණු මාර්ගයන්ගේ ගාලු පාරේ හැරෙන්නට රථ වාහන තදබදයේ කිසිදු අඩුපාඩුවක් දැනෙන්නටද නැත. එසේම ගමන් කාලය වෙනදාටත් වඩා දෙගුණ තෙගුණ වී ඇති බවක් අපට සිදු වූ අකරතැබ්බයෙන් පැහැදිලිය.

විනාඩි දෙකකදී තුනකදී ගමන් කළ හැකි කාලය වෙනුවට එමෙන් පස් ගුණයක කාලයක් වැය කරන්නට සිදු වීම තුළ විනාශ වන වටිනා මිනිස් පැය ගණන කිසිදු ස්ථානයක ගණනය වන බවක් නොපෙනේ. එසේම ඒ සඳහා වැය වන අතිවිශාල ඉන්ධන ප්‍රමාණය අමුඅමුවේ දැවී යන්නේ මෙරට ජාතික ධනය විදේශීය රටවල් කරා ඇදී යවමිනි.

මේ තනි අතට ගමන් කිරීමේ ක්‍රමවේදය නිසා නුවර පාරේ සහ මීගමුව පාරේ සිට පැමිණෙන සියලු වාහන මරදාන දුම්රිය ස්ථානය අසලින් ගොස් ටෙක්නිකල් හන්දියෙන් හැරී කොටුව බලා යා යුතුය. ඒ සඳහා අමතර කිලෝමීටර් ගණනක් ගමන් කළ යුතු වන අතර, එවිට සිදු වන්නේ බලාපොරොත්තු වූවාටත් වඩා තදබදයක් මාර්ගයන් තුළ ඇති වීමයි.

වෙනදා මරදාන දුම්රිය ස්ථානය අසල සිට ටෙක්නිකල් හන්දිය දක්වා ගමන් කෙළේ කොටුව දෙසට යන වාහන පමණි. දැන් කොටුව දක්වා යන වාහනත් මරදාන හරහා බොරැල්ල දෙසට යා යුතු වාහනත්, බීසීසී වටරවුම දක්වා යන වාහනත්, පංචිකාවත්ත දෙසට ගමන් කරන වාහනත් යන වාහන සියල්ල ඒ මාර්ගයේ ගමන් කළ යුතු වේ.

එසේම කොටුවේ සිට බොරැල්ල දක්වා යන සියලු බස් රථ බීසීසී වටරවුම දක්වා ගොස් මරදාන දුම්රිය ස්ථානය දක්වා පැමිණිය යුතු වේ.

අප පෙර සදහන් කළාක් මෙන් කිලෝමීටරයකටත් අඩු දුරක් ටෙක්නිකල් හන්දියේ සිට මරදාන පොලීසිය දක්වා ඇතත් ඒ සඳහා කිලෝමීටර් 2.7ක් පමණ ගමන් කළ යුතුය. මේ සඳහාද පෙර පැවසුවාක් මෙන් අධික ඉන්ධන ප්‍රමාණය මෙන්ම අපතේ යන මිනිස් පැය ප්‍රමාණයද ගණනය කෙරෙන්නේ නැත.

එමෙන්ම වාහන අනතුරුද වැඩි වේ; වාහන ක්ෂය වීමද වැඩි වේ. මේ නිසා වාහන අමතර කෙටස් සඳහාද අධික පිරිවැයක් විදේශ රටවල් කරා ඇදී යනු ඇත.

තනි අතට ගමන් කිරීම උදෙසා සකස් කරන ලද සියලු මාර්ගයන්ගේ තත්ත්වය මේ ආකාරයෙන් අසාර්ථක බව අපට පෙනී ගියේය. කෞතුකාගාරය අසල සිට කොළඹ විශ්වවිද්‍යාලයේ ‘කොලේජ් හවුස්‘ දක්වා ඇති දුර මීටර් 400කි. වෙනදා 138 බස් රථයකට නැග්ගා නම් ඒ සඳහා ගත වන්නේ තත්පර ගණනකි. දැන් ඒ සඳහා කිලෝමීටර් 2.1ක් ගෙවා යා යුතුය. ඒ කෞතුකාගාරයේ සිට නෙළුම් පොකුණ අසලින් කුරුඳුවත්ත පොලීසිය, තුම්මුල්ල හන්දිය වටරවුමෙන් හරවා නැවත පැමිණීමේදීය. ගත වන කාලයද සුළුපටු නැත ඒ ගමන් මාර්ගයේදී වර්ණ සංඥා කුලුනු 4ක් සහ වර්ණ සංඥා රහිත පදික මාරු 3ක් පසු කර යා යුතුය.

එසේම කොළඹ නගර සභාව (පුරහල) අසල සිට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ගමන් කරන්නකුට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව අඩි ගණනක් එහායින් පාර අනෙක් පස පෙනිපෙනී මහජන පුස්කාලය පසු කර විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයද පසු කර ලිබර්ටි වටරවුම අසලටම ගොස් පිත්තල හන්දියෙන් යළි හරවා පුරහල දෙසට පැමිණිය යුතුය. එහිදීද වර්ණ සංඥා කුලුනු 3ක් හා පදික මාරු 3ක් පසු කර යා යුතුය. දුර කිලෝමීටර් දෙකකට ආසන්නය.

මාර්ග අංක 138 බස් රථයේ නුගේගොඩ වැනි ප්‍රදේශයක සිට කොළඹ මහජන පුස්තකාලයට එන්නකුට පුස්තකාලය පෙනිපෙනී වටරවුමක් ගොස් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඉදිරියෙන් බැස, යළි පාගමනින් පැමිණිය යුතු වෙයි.

මේ කරුණු සියල්ල හමුවේ අපට කියාපානුයේ තනි අතට වාහන ගමන් කිරීමට යෙදූ ක්‍රමයේ අසාර්ථක භාවයයි. බැලූ බැල්මට එක්වරම නොපෙනුණද, ඇතැම්විට සාර්ථකයැයි හැඟුණද ගැඹුරින් ඒ ගැන විමසා බැලූ විට මේ කරුණු අනාවරණය කර ගත හැකි වේ.

පොදුවේ ගත් කල රථවාහන හිමිකරුවන් මෙන්ම රියැදුරන් පවසන්නේද තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි. මීටර් 10ක්-15ක් දුරින් පිහිටි යම් ස්ථානයකට ගමන් කිරීමට කිලෝමීටර් ගණන් මඟ ගෙවන්නට සිදු වීම මහා පාපයක් බවයි ඔවුන් පවසන්නේ. ඇතැම් මගීන් මේ වන විට කොටුවේ සිට මරදාන දුම්රිය ස්ථානයට දුම්රියෙන් පැමිණ, එතැන් සිට බොරැල්ල දක්වා බස් රථයෙන් ගමන් කිරීමට තෝරාගෙන ඇති බවද අනාවරණය විය. මක් නිසාද යත්: කොටුවේ සිට මරදාන දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට ඇතැම් විට බස් රථයකට විනාඩි 30කටත් අධික කාලයක් ගත වන හෙයිනි. දුම්රියට ඒ ගමනට ගත වන්නේ විනාඩි 4කි.

ගාලු පාරේ තත්ත්වය මේතරම් උග්‍ර වී නැතත් බස් රථවල ගමන් ගන්නා මගීන් දැඩි අපහසුතාවන්ට මුහුණ පාන බවක් අපට වාර්තා වෙයි. විශේෂයෙන් කොල්ලුපිටිය හන්දිය දක්වා ගමන් ගන්නා මඟීන්ට දැන් ඩුප්ලිකේෂන් පාරෙන් බැස සැලකිය යුතු දුරක් පයින් ගමන් කරන්නට සිදුව තිබේ. දුම්රිය මඟට සමාන්තරව නව මාර්ගයක්ද ඉදි කර ඇති හෙයින් හා ඩුප්ලිකේෂන් මාර්ගයද වෙනම ඇති හෙයින් ගාලු පාර පහසුවෙන් ගමන් කළ හැකි මාර්ගයක් ලෙසට පත් කරන්නේ නම් එය මහඟු සෙතක් වනු නොඅනුමානය.

වාහන ධාවනයට අවශ්‍ය ඉන්ධන කඳුළක් හෝ අපේ රටේ නිපදවන්නේ නැත. ඒ සියල්ල මුදල් ගෙවා ආනයනය කළ යුතුය. එසේම බොහෝ මෝටර් රථ අමතර කොටස්ද විදේශයන්ගෙන් ආනයනය කළ යුතුය. මෙවන් තත්ත්වයක් යටතේ තනි අතට ගමන් කිරීමේ මේ මාර්ග ක්‍රමවේදය කොතරම් සාර්ථකද යන්න ගැන විශාල ගැටලුවක් මතු වේ. යම් කිසි සුළු පිරිසකට මේ නිසා පහසුවක් සැලසී තිබෙන්නට පුළුවන. එහෙත් බොහෝ විට සිදුව ඇත්තේ තමන් ගමන් කළ යුතු ස්ථානය අත ළඟ පෙනිපෙනී කිලෝමීටර් ගණන් මඟ ගෙවා ඉන්ධන පුච්චමින් සංඥා කුලුනු පසු කරමින් යන්නටය. ඒ සඳහා ගත වන කාලයද සුළුපටු නොවේ. මේ නිසා බැලූ බැල්මට එක්වරම රථවාහන තදබදය අඩුයැයි තර්ක කළද අපේක්ෂිත ප්‍රතිඵල ලැබී ඇත්දැයි යන්න සැක සහිතය.

අද වන විට කොළඹ නගරයට දිනපතා වාහන 250000ක් ඉක්මවා පැමිණෙයි. මේ සියලු වාහන තනි අතට ගමන් කරන මාර්ග ක්‍රමවේදය නිසා අඩුම වශයෙන් කිලෝමීටරයක් හෝ අමතරව ධාවනය කරන බව පෙනෙයි. මේ නිසා කිලෝමීටර් 250000ක් අමතරව මේ වාහන අඩුම වශයෙන් ගමන් කරන බවද පෙනෙන්නට තිබේ. ඒ සඳහා වැය වන ඉන්ධන ප්‍රමාණය, ගත වන කාලය අපතේ යන මිනිස් ශ්‍රමය ගණනය කරන්නේ කවුරුද? අඩුම වශයෙන් අමතර කිලෝමීටරයක් මේ වාහන ගමන් කර තිබුණ හොත් වාර්ෂිකව මේ වාහන සංඛ්‍යාව 250000X365ක් එනම්: කිලෝමීටර් 91250000ක් ගමන් කර තිබේ. ඒ ගැන අවධානය යොමු කළේ කවුරුන්ද යන පැනය මේ මහදැනමුත්තන්ගෙන් අසන්නට ඉතිරිව ඇත.

 

Comments