ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨය මඟින් 14 වෙනි වරට සංවිධානය කරනු ලැබූ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය සැප්තැම්බර් 1 වැනිදා සිකුරාදා පස්වරුවේදී විශ්වවිද්‍යාලයීය සුමංගල ශාලාවේදී උත්සවාකාරයෙන් පැවැත්විණි. මෙම උලෙළේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) මගිනි. සරසවියකින් පවත්වන එකම සාහිත්‍ය සම්මාන උලෙළ මෙය වේ.
විශ්වවිද්‍යාලයීය උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් මානගේ ගේ ප්‍රධානත්වයෙන් මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරාන්ත හීංකෙන්ද සහ ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් ඇතුළු ආරාධීතයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙවර විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානයේ දී තරග අංශ පහකට අදාළව කෘති ඉදිරිපත් කළ ගත්කරුවන් සම්මානයෙන් පිදුම් ලැබීය.
ඒ අනුව පසුගිය වසරේ පළ වූ විශිෂ්ටතම තීරු ලිපි සංග්‍රහය, විශිෂ්ටතම පද්‍ය කාව්‍ය සංග්‍රහය, විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය, විශිෂ්ටතම නවකතාව සහ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා විෂය ක්ෂේත්රවලට අදාළව පළ වූ විශිෂ්ටතම ශාස්ත්‍රීය කෘතිය යන තරග අංශ යටතේ අවසන් වටයට නිර්දේශ වූ පහත සඳහන් කෘති විදුදය ප්‍රජාවගේ ගෞරව සම්මානයට විය.
මෙහිදී සුභාශිංසන එක්කරමින් විද්‍යෝදය 2023 සහිත්‍ය සම්මාන ප්රදානයේ නිල මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දැක් වූ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කරියවසම් කියා සිටියේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයත් ලේක්හවුස් ආයතනයත් සාහිත්‍යෝදය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක යෙදුණු බවත් මෙවැනි අවස්ථාවක මෙම ආයතන දෙක එක්ව කටයුතු කිරීමට හැකිවිම අාඩම්බරයට කරුණක් බවත්ය.
මෙම අවස්ථාව සඳහා විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළේ නිර්මාතෘ සම්මානිත මහචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර ඇතුළු සරසවි ආචාර්යවරුන්, විද්‍යාර්ථීන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය කෘතිය : (මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා විෂය ක්ෂේත්රවලට අදාළව)
වර්ණ : සන්නිවේදනය හා සංඥාර්ථ - ඩබ්ලිව්. රංජිත් ධර්මතිලක (ප්‍රකාශක - ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ)
වසරේ විශිෂ්ටතම තීරු ලිපි සංග්‍රහය : ටොම්සන් මහත්තයා - 1, 2 - බන්දුල පී. දයාරත්න (ප්‍රකාශක -ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ)
වසරේ විශිෂ්ටතම පද්‍ය කාව්‍ය සංග්‍රහය :'හැඟුම් ගඟෙහි හැංගිලා’ - ලක්ශාන්ත අතුකෝරල (ප්‍රකාශක - විදර්ශන ප්‍රකාශන)
වසරේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය : ‘අන්ධයා සහ සුරුට්ටු න්‍යාය' - විරාජිනී තෙන්නකෝන් (ප්‍රකාශක - සරසවි ප්‍රකාශන)
වසරේ විශිෂ්ටතම නවකතාව : ‘ගිරිජා’ - මනෝහරී ජයලත් (ප්‍රකාශක - විදර්ශන ප්‍රකාශන)
(ඡයාරූප- දුෂ්මන්ත මායාදුන්න / චින්තක කුමාරසිංහ)