
කිසියම් කාන්තාවක විසින් තම අනාගතය පිළිබඳව විමසා තම ජන්ම පත්‍රය දක්ෂ ජ්‍යොතිර්වේදියෙකුට ඉදිරිපත් කරන්නේ යැයි සිතමු. එම කාන්තාව තම සහකරුගේ කේන්දර සටහන ජ්‍යොතිර්වේදියා වෙත ඉදිරිපත් නොකරන බවද සහකරු පිළිබඳව හෝ සහකරුගෙන් තමාට වන බලපෑම පිළිබඳව කිසිම අනාවැකියක් ජ්‍යොතිර්වේදියාගෙන් නොවිමසන බවද උපකල්පනය කරමු.
තවද එම කාන්තාව දැනට කිසිම ආදායම් මාර්ගයක් හෝ කිසිම දේපළක් නොමැති සාර්ථක ගෘහිණියක පමණක් බවද උපකල්පනය කරමු. එම කාන්තාවගේ කේන්දර සටහන පරීක්ෂා කරන ජ්‍යොතිර්වේදියා ඇයට ක්ෂණික ආදායම් මාර්ගයක් පෙන්නුම් කරන බවත් ළඟදී ප්‍රබල ධන යෝගයක් ඇති බවත්, දේපළ ලාභ පෙන්නුම් කරන බවත් වටහාගෙන ඒ බව ඇයට පැහැදිලි කළේ යැයි සිතමු. ඒ නිසා ඇය ඒ ගැන සිතමින් ඉතා සතුටින් සිටිනු ඇත.
නමුත් දැනට ආදායම් මාර්ගයක් නොමැතිව ගෘහිණියක ලෙස සිටින ඇයට හදිසියේ ආදායම් මාර්ග, දේපළ, ධන සම්පත් ලැබෙන්නේ ඇගේ සහකරු හදිසියේ මියයාම නිසා විය හැකිය. ඊට හේතුව ඇයට දැනට ආදායම් මාර්ගයක් නැතත් සහකරු මියගිය පසු සහකරු විසින් ජීවත්ව සිටියදී ඉතිරි කළ මුදල්ද, සහකරුගේ ව්‍යාපාරික කටයුතුවලින් ලැබෙන මුදල්ද සහකරුගේ දේපළ සහ ඔහුගේ විශ්‍රාම වැටුපක් ඇත්නම් එයද ඇයට හිමි වීමය. ඒ අනුව ඉහත කී දක්ෂ ජ්‍යොතිර්වේදියා විසින් ඇය සම්බන්ධව පවසන ලද අනාවැකිය සත්‍ය යැයි සැලකිය හැකිය. නමුත් සහකරුගේ මරණයෙන් පසු ඇතිවන අතිමහත් කම්පනය සහ ශෝකය නිසා තමන්ට උරුම වූ දේපළ, ධනය පිළිබඳව කිසිම සතුටක් හෝ කිසිම වැටහීමක් එම කාන්තාවට නොතිබෙන්නට ඉඩ ඇත. ඒ නිසා එම කාන්තාවට සිතෙන්නේ මෙය තමන්ට ගත වන ඉතා අවාසනාවන්ත කාලවකවානුවක් ලෙසය.
එමෙන්ම එම කාන්තාවට සිතෙන්නේ තමා සේවය ලබාගත් ජ්‍යොතිර්වේදියා ඉතා අදක්ෂ ජ්‍යොතිර්වේදියෙකු බවය. නමුත් එම ජ්‍යොතිර්වේදියා විසින් සේවාදායකයා හෙවත් එම කාන්තාවට ක්ෂණිකව ලැබෙන දේපළ, ධනය පිළිබඳව කල් ඇතිව අනාවැකි පළ කළ නිසා ඔහු දක්ෂ ජ්‍යොතිර්වේදියෙකු ලෙසද කෙනෙකුට තර්ක කළ හැකිය. එම කාන්තාව විසින් තම කේන්දර සටහනට අමතර ලෙස තම සහකරුවාගේ කේන්දර සටහනද ජ්‍යොතිර්වේදියා වෙත රැගෙන ගියේනම් හෝ ජ්‍යොතිර්වේදියා විසින් එම කාන්තාවගේ කේන්දර සටහන පරීක්ෂා කරද්දී ඇය කෙරෙහි තම සහකරුවාගේ බලපෑම ජ්‍යොතිර්වේදියාගෙන් විමසන ලද්දේනම් සමහර විට ඇයගේ ස්වාමිපුරුෂයාගේ මියයාම පිළිබඳව ජ්‍යොතිර්වේදියා විසින් වටහා ගෙන එය ඇයට පවසන්නට ඉඩ තිබිණි.
මෙම උදාහරණයෙන්ද ජ්‍යොතිර්වේදීන්ට ඉගෙන ගත හැකි පාඩම වන්නේ සේවාදායකයන්ට අනාවැකි පවසන අතරම එම අනාවැකි ඉටු වන ක්‍රමය පිළිබඳවද සැලකිලිමත් විය යුතු බව සහ සේවාදායකයාගේ කේන්දර සටහනට අමතර ලෙස සේවාදායකයාගේ පවුලේ සමීපතම සාමාජිකයන්ගේද කේන්දර සටහන් පරීක්ෂා කරමින් සේවාදායකයාට ඔවුන්ගෙන් ඇතිවන බලපෑම පිළිබඳවද පරීක්ෂා කළ යුතු බවය. මෙම උදාහරණයේදී අවසාන වශයෙන් සිදු වූයේ ජ්‍යොතිර්වේදියා විසින් පවසන ලද නිවැරදි සුබ අනාවැකියක් අසුබ බවට පත් වීමය.
මීළඟට අපි දක්ෂ ජ්‍යොතිර්වේදියෙකු විසින් පවසන අසුබ අනාවැකියක් සුබ වන ආකාරයක් උදාහරණයකින් පැහැදිලි කර ගනිමු. උදාහරණයක් ලෙස යම් අයෙකුගේ කේන්දර සටහනක් නිරීක්ෂණය කරන ජ්‍යොතිර්වේදියෙකු ඔහුට ළඟදී මවුපියන්ගෙන් වෙන් වීමක් ඇතැයි නිවැරදි වූද අසුබ වූද අනාවැකියක් පළ කරන්නේ යැයි සිතමු.
ඒ නිසා එම පුද්ගලයා තමන්ට අවාසනාවන්ත කාලයක් ගත වන ලෙස සිතා අසතුටෙන් පසු වනු ඇත. නමුත් හදිසියේ ඔහුට ලැබෙන විදෙස් ශිෂ්‍යත්වයක් නිසා ඔහු වසර 5කට ඉතා සතුටෙන් විදේශගත වන්නේ යැයි සිතමු. ඒ අනුව පෙර කී දක්ෂ ජ්‍යොතිර්වේදියා තමාට අවාසනාවන්ත කාලයක් ගත වන බවට ඉඟි පළ කළද එය සාවද්‍ය බවත් තමාට ඉතා වාසනාවන්ත කාලයක් ගත වන බවත් එම පුද්ගලයාට සිතෙනු ඇත. නමුත් සැබෑ තත්ත්වය ජ්‍යොතිර්වේදියා විසින් ප්‍රකාශ කළ අනාවැකිය සත්‍යය බවය.
එනම් ජ්‍යොතිර්වේදියා විසින් එම පුද්ගලයා විදෙස් ගත වන බව නොපැවසුවද එම පුද්ගලයා විදෙස්ගත වීම නිසා ජ්‍යොතිර්වේදියා සඳහන් කළ පරිද්දෙන්ම වසර 5කට මවුපියන්ගෙන් වෙන් වීමට ඔහුට සිදු වනු ඇත. මෙය අසුබ යැයි බැලූ බැල්මට පෙනෙන අනාවැකියක් සුබ බවට පත් වීමට උදාහරණයකි. එනම් සුබ යැයි බැලු බැල්මට පෙනෙන ඇතැම් අනාවැකිවලින් අසුබ ප්‍රතිඵලද, අසුබ යැයි බැලු බැල්මට පෙනෙන ඇතැම් අනාවැකිවලින් සුබ ප්‍රතිඵල ද ලැබෙන බව පෙනේ.