බුදු දහමේ පණිවුඩය මෙරටට ගෙන ආ මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජු ප්‍රමුඛ පිරිසට ධර්මය දේශනා කරන අවස්ථාවකදී ‘මේ පුණ්‍ය භූමියේ රියන් 120ක උසින් යුත් දාගැබක් අනාගතයේ ඉදිවන‘ බව දේශනා කරන ලදී
එම ධර්ම දේශනය අසා සතුටට පත් දේවානම්පියතිස්ස රජු එම දාගැබ් වහන්සේ තමන් විසින්ම ඉදි කරන බව මිහිඳු මහ රහතන් වහන්සේට පවසන ලදී. එහෙත් එම දාගැබ් වහන්සේ ඉදි කිරීමේ උරුමක්කරුවා ගාමිණී නම් රජ කෙනෙකු බවත් ඔහු අනාගතයේදී දේවානම්පියතිස්ස රජුගේ මුනුපුෙරකු ලෙස උප්පත්තිය ලබන බවත් උන් වහන්සේ විසින් දේශනා කරන ලදී.
ඒ අසා සතුටට පත් දේවානම්පියතිස්ස රජු අනාගතයේ සෑය ඉදි කෙරෙන ස්ථානය දැනගෙන එහි ස්ථම්භයක් ඉදි කර ඒ බව රන්පතක ලියා රන් කරඬුවක බහා තම මාලිගයේ ආරක්ෂිතව තබන ලදී.
පසු කලෙක රජ පැමිණි දුටුගැමුණු රජු එළාර රජු සමඟ කළ යුද්ධය අවසන් වීමෙන් පසුව රට එක්සේසත් කොට දිනක් ජය ශ්‍රී මහ බෝධිය වන්දනා කර ජය ශ්‍රී මහ බෝධියට දකුණු දෙසින් පිටව යද්දී දේවානම්පියතිස්ස රජු විසින් ඉදි කර තිබු ස්ථම්භය දැක එම ස්ථානයට ගොස් එහි තිබූ සෙල් ලිපියක් කියවා පසුව තම මාලිගයේ තිබූ රන් කරඬුවේ තිබූ රන් පත ද කියවා මහා සෑයක් ඉදි කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට අදිටන් කර ගත්තේය.
එළාර රජු සමඟ යුද වදින සමයේ ජනතාවට දැඩි බරක් පැටවුණු හෙයින් මහ සෑය ජනතාවට බර පැටවීමකින් තොරව ඉදි කරන්නේ කෙසේද යන්න ගැන දුටුගැමුණු මහ රජතුමා කල්පනා කළේය.
ජනප්‍රවාදවලට අනුව රජුගේ ඒ සිතුවිල්ල ඉටු කිරීමට ශක්‍ර දේවේන්ද්‍රයන්ගේ අණ පරිදි විශ්වකර්ම දිව්‍යපුත්‍රයා විසින් මෙරට ගම්මාන කිහිපයක සෑය වෙනුවෙන් අවශ්‍ය සම්පත් මවා පා තිබේ.
ඒ අනුව ගම්භීර නම් නදිය (වත්මන් දැදුරු ඔය) අසල සෑයට අවශ්‍ය ගඩොල් මැවීම සිදු කර තිබේ. එමෙන්ම ආචාරවීටි (අරුවිට) නම් ගමේ කුඩා ප්‍රමාණයේ සිට අගල් 6ක් පමණ දක්වා වන විවිධ ප්‍රමාණයේ රත්තරන් පහළ කර තිබේ.
මහාසෑයට අවශ්‍ය තඹ, තඹවිට ගම්මානයේ පහළ වූ බවත් සමන්වැව නම් ගමක වැව් ඉවුරක මැණික් පහළව ඇතිබවත් ජනතාවගේ මතය වී තිබේ. එමෙන්ම අම්බට්ඨකෝල ජනපදයේ ගල්ලෙනක රිදී පහළ වී ඇති බවත් උරුවේල පටුන නම් ගමක් ආශ්‍රිතව විශාල මුතු සහ පබළු සොයාගැනීමට හැකි වූ බවත් වාර්තා වේ. මීට අමතරව තවත් ගම්මාන කිහිපයක සෑයට අවශ්‍ය විවිධ දේ හමුව තිබේ.
එම සම්පත් දෙවියන් විසින් මවන ලද බවට විශ්වාස කළ මහරජතුමා ඒ සියල්ලම සෑය වෙනුවෙන්ම වෙන් කර තිබේ.
සක් දෙවිඳුන්ගේ මැවීම කෙසේ වුවත් අවශ්‍ය දේ සොයා ගෙන ඇත්තේ ඒ ඒ පෙදෙස්වලින් බව දැන ගන්නට තිබේ.
ඒ අනුව සෑයට යෝජිත භූමියේ ශිලා ස්ථම්භය පිහිටා තිබූ ස්ථානයේ සෑය ඉදිකිරීමට අවශ්‍ය පිරිසිදු කිරීම් සිදුකරන අවස්ථාවේ ඒ බිමෙහි පිහිටි රන්තෙලඹු ගසක වැඩසිටි ‘ස්වර්ණමාලී‘ නම් වූ දෙව්දුවක් තමාගේ දිව්‍ය විමානය පිහිටි ගස ඉවත් නොකරන ලෙස මහරහතන් වහන්සේලාගෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ බව රහතන් වහන්සේලා විසින් දුටුගැමුණු රජුට දැන්වීමෙන් පසුව මහා සෑය ‘ස්වර්ණමාලි මහ සෑය‘ නමින් හඳුන්වාලීම ඇරඹී තිබේ.
ඉන් පසු මහාසෑයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණි. ඒ වෙසක් පුර පසළොස්වක පොහොය දිනකය.
මේ උත්සවයට රහතුන් වහන්සේලා කෝටි 90ක් වැඩම කළ බවක් ද සඳහන් වේ. එමෙන්ම පැමිණි මහජනයාට බුද්ධාලම්බන ප්‍රීතිය වැඩෙන ලෙස විහාර භූමියට ඇතුළුවෙන මඟ දෙපස අලංකාර කර තිබුණි. පූජා නගරයට ඇතුළු වන දොරටු හතරේ කරණවෑමියන්, සුදු ඇඳුම් සහ ප්‍රණීත ආහාරපාන ආදී සියලු අත්‍යවශ්‍ය දේ තබා ඇත්තේ උත්සවයට පැමිණෙන ජනයාට කොණ්ඩය රැවුල් කපා පිරිසිඳු වී, ඇඳ පැලඳගෙන කුස පුරවාගෙන ඇතුළු වීම පිණිසය.
මහා සෑය ඉදි කිරීමට සම්බන්ධ වන කිසිවකුගෙන් නොමිලේ සේවය ලබා ගන්නට රජු අකමැති විය. ඒ අණට අනුව සොළොස් ලක්ෂය බැගින් රන්කහවනු, වස්ත්‍රාභරණයන්, ප්‍රණීත වූ ආහාර පාන ඇතුළු දේ සතර දොරටු අභියස තබා චෛත්‍ය නිර්මාණය කිරීමේ කටයුතුවල නියැළෙන සියලු දෙනාටම වැටුප් හෝ දීමනා ලබා ගන්නට ඉඩ සලස්වා තිබේ.
රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භය නිර්මාණය කෙරෙන ආකාරය එහි ප්‍රධාන නිර්මාණ ශිල්පියාගෙන් රජු විමසූ විට ඔහු දිය බඳුනක් ගෙන්වා එය අතින් කැලතීමෙන් පසුව නැගි දිය බුබුළ රජුට පෙන්වා එම හැඩයට දාගැබ නිර්මාණය කළ යුතුයැයි පවසා ඇත. ඒ අනුව බුබ්බුලාකාර හැඩයට නිමැවුණු ලංකාවේ මුල්ම ස්තූපය ලෙසින් රුවන්වැලි මහා සෑය සැලකේ.
ධාතු ගර්භය තුළ රනින් නිම කළ බෝධි වෘක්ෂයක් තැන්පත් කර ඇතැයි මහා වංශය පෙන්වා දෙයි. එමෙන්ම බෝධීන් වහන්සේගේ නැඟෙනහිර දිශාවෙන් රනින් කරවූ බුද්ධ ප්‍රතිමාවක් ද තැන්පත් කර ඇතැයි කියති. ගර්භයට ආලෝකය ලබාදීම පිණිස දහස් ගණනින් මැණික් ගර්භය ඇතුළේ ගොඩගසා ඇති බව අතීතයේ සිටම ජනප්රවාදවලින් කියැවේ.
කෙසේ වෙතත් දුටුගැමුණු රජු මහාසෑයේ වැඩකටයුතු අවසන් කිරීමට ප්‍රථම රෝගාතුර විය.
එහෙත් ඒ වන විටත් රුවන්වැලි මහාසෑයේ හතරැස් කොටුවේ වැඩ අවසන් කර නොතිබුණි. එසේ වුවත් දුටුගැමුණු රජුට සෑයේ වැඩ නිමා කළ බව ඔහුගේ සොහොයුරු සද්ධාතිස්ස රජු දැනුම් දී සෑයේ ඉතිරි වැඩ නිම කිරීමට කාලයක් ගත වන නිසා සෑය නිම කළ බව ඇඟවීමට කොත්කැරැල්ල දක්වා වූ සියලු වැඩ කටයුතු තාවකාලික ලෙස නිමවා දුටුගැමුණු රජු රුවන්වැලි සෑ භූමියට රැගෙන ගොස් පෙන්වන ලදී. දොහොත් මුදුන් දී සෑයට වන්දනා මාන කළ දුටුගැමුණු රජු මිය ගිය අතර පසුව සෑයේ ඉතිරි වැඩ කටයුතු සිදු කෙළේ සද්ධාතිස්ස රජු විසිනි.
ආරම්භයේදී ස්තූපය මුදුනත ඒක ඡත්රයක් පමණක් තිබූ අතර, ආමණ්ඩ ගාමිණී රජු (ක්‍රි.ව.19-29) විසින් එම ඡත්‍රය මත තවත් ඡත්රයක් කරවා ඇත. සිරිනාග රජු (ක්‍රි.ව.189-209) ඡත්රයක් නැවත සාදවා වර්තමානයේ කොත් කැරැල්ලේ රත්තරන් ආලේප කරන්නාක් මෙන් එම ඡත්‍රයේ රන් ආලේප කර ඇත. සංඝතිස්ස රජතුමා (ක්‍රි.ව.243-247) සහ ධාතුසේන රජු ද (ක්‍රි.ව.455-473) ඡත්‍රය ප්‍රතිසංස්කරණය කර රන් ආලේප කර තිබේ.
සංඝතිස්ස රජු ඡත්‍රය මත පළිඟු මුද්දක් සවිකර චූඩා මාණික්‍යයේ සතර දිශාවේ විශාල මාණික්‍ය සතරක් ද සවි කල බව සඳහන්ය. එමෙන්ම අග්බෝ රජුගේ කාලයේදී රුවන්වැලිසෑයට ශිලා ඡත්රයක් සවිකර ඇත. භාතිකාභය රජු, ධාතුසේන රජු හා දෙවන මොග්ගල්ලාන රජු (ක්‍රි.ව.614-619) විසින් අලුතින් බදාම යොදා චෛත්‍යය අලුත්වැඩියා කර තිබේ. එසේම මොග්ගල්ලාන රජු ඒ වෙනුවෙන් විශාල පින්කමක් ද පවත්වා ඇත. මහානාග රජු (ක්‍රි.ව.569-571) මහා ස්තූපය ප්‍රතිසංස්කරණය කර අකුණුවලින් ආරක්ෂා කිරීමට වළල්ලක් සවි කළේය. 10 වන සියවස අගදී චෝල ආක්‍රමණයෙන් විනාශ වූ මහා ස්තූපය පළමුවන මහා පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව.1153-1186) විසින් රියන් 120ක් උසට නංවා ප්‍රතිසංස්කරණය කර තිබේ.
නිශ්ශංකමල්ල රජු (ක්‍රි.ව.1187-1196) මහා ස්තූපය ප්‍රතිසංස්කරණය කරවා චෛත්‍යයේ ආකෘතියක් ද මළුවේ තනවා ඇත. අගනුවර අනුරාධපුරයෙන් පොලොන්නරුවට මාරුවීමත් සමඟ රුවන්වැලි සෑය ප්‍රමුඛ සියලුම අනුරාධපුර උරුමයන් නටබුන්ව ගියේය.
පසුව ගරාවැටෙමින්, වල්වැදී තිබූ ස්තූපය 1873 වසරේදී නාරංවිට සුමනසාර නම් තරුණ ස්වාමින්වහන්සේ නමකගේ ඇස ගැටීමෙන් පසුව සෑය නැවත පිළිසකර කිරීම් අරඹන ලද්දේ යටත් විජිත යුගයේදීය.
1886දී හෙන්රි පාකර් ද මහා ස්තූපය පිළිබඳව වාර්තා කර ඇත. සුමනසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ රුවන්වැලි සෑ චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු කරන ලද්දේ ඒ වෙනුවෙන්ම ආරම්භ කළ සමිතියක් මඟිනි. එම සමිතිය 1902 වර්ෂයේ අගෝස්තු 19 දින අනුරාධපුර රුවන්වැලි සෑ චෛත්‍ය වර්ධන සමිතිය නමින් ආරම්භ කළේය.
එම ප්‍රතිසංස්කරණ අවසන් කර 1940 වසරේ පොසොන් පොහෝ දින කොත් පලඳවා මහා සෑය යළි විවෘත කර ඇත.
එහිදී සවිකරන ලද රන් ආලේපිත කොත් වහන්සේ අඩි 24ක් උසවන අතර, එම කොත් වහන්සේ මුදුනත සවි කරන ලද අඩියක් උසැති පළිඟු මැණික බුරුමයෙන් පරිත්‍යාග කර තිබේ. ඒ අනුව රුවන්වැලි මහා ස්තූපයේ වර්තමාන උස අඩි 338ක් හා විෂ්කම්භය අඩි 370කි.
රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා හෙවත් සමස්ත සර්වඥ ධාතූන්ගෙන් අටෙන් එකක් පමණ තැන්පත් කර ඇති අතර බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ වැඩිම ප්‍රමාණයක් නිධන් කර ඇති ස්තූපය ද වේ.
ශ්‍රී මහා බෝධියට නුදුරින් පිහිටි මේ දාගැබ අටමස්ථානයන්ගෙන් හා සොළොස්මස්ථාන අතර ද මුල් තැනක් ගනී. රුවන්වැලි සෑය “රුවන්මැලි සෑය” නමින් ද, මහාථූපය නමින් ද, ස්වර්ණමාලි මහ චෛත්‍යය නමින් ද හැඳින්වේ.
අප දැන් විමසා බැලිය යුත්තේ මේ මහා සෑය හා සම්බන්ධ පරිවාර ස්ථාන ගැනයි.
ඒ අතින් ඇත් පවුර මුල් තැනක් ගනී. වැලි මළුවේ ඇතුළු සීමාව කෙළවර වන්නේ අලංකාර ඇත් පවුරකිනි. එය සද්ධාතිස්ස රජුගේ නිර්මාණයක් බව සැලකේ. අඩි 9ක් උසැති ඇත් රූ 338ක් එහි දක්නට ඇති අතර ඇත් පවුරේ පුරාණ ස්වරූපය දැකගත හැකි පරිදි කොටසක් ප්‍රතිසංස්කරණය නොකර තවමත් ඉතිරි කර තිබේ.
එමෙන්ම අපට මේ මහා සෑය හා සම්බන්ධ තවත් වටිනා ස්ථානයක් ලෙස හඳුන්වා දිය හැක්කේ සලපතළ මළුවයි.
පවුරෙන් ඇතුළත පිහිටා ඇති සලපතළ මළුව අක්කර පහක විශාලත්වයකින් යුක්තය. එය ලජ්ජිතිස්ස රජු ( ක්‍රි. පූ. 59-50) විසින් කරවූ බව සඳහන් ය.
දාගැබ් මළුවට පිවිසීම සඳහා පුරාණයේ දොරටු හතරක් සිව් පසින් ඉදිකර තිබුණ ද අද නැඟෙනහිර, උතුරු, සහ බටහිර දොරටු දක්නට ඇති අතර දකුණු දොරටුව නටබුන් බවට පත්ව තිබේ.
උතුරු දොරටුව අසල වම් පසින් දේවානම්පියතිස්ස රජු මෙහි දාගැබ පිහිටුවන බව සඳහන් කරමින් සිටවූ සෙල්ලිපිය දක්නට තිබේ.
දාගැබ් මළුවේ පිහිටි පස් පිළිම ගේ තුළ බුද්ධ ප්‍රතිමා හතරක් සහ මෛත්‍රීය බෝසත් ප්‍රතිමාවක් දක්නට ඇත. එම ප්‍රතිමා අනුරාධපුර යුගයට අයත් කිරිගරුඩ පාෂාණයෙන් නෙළා ඇති අතර ඒවා ඉන්දීය ආන්ද්‍ර ශෛලියට අයත්ය.
එමෙන්ම නැඟෙනහිර දොරටුව අසලම දාගැබට වැඳගෙන සිටින ආකාරයෙන් නිර්මාණය වූ සෙල් ප්‍රතිමාව දුටුගැමුණු රජුගේ බවට විශ්වාස කෙරේ.
මහා සෑයේ හුණු ආලේප කිරීම වසරකට වරක් සිදු වන්නකි. එසේ ආලේපයට හුණු ටොන් 10ක් පමණ අවශ්‍ය වේ. සමස්ත බොදු ජනතාවගේ වන්දනීයත්වයට පත් මේ මහා පුද බිම තවත් සියවස් ගණනාවක් නිරුපද්‍රිතව තබා ගැනීමට ඒ වෙනුවෙන් ලබා දී ඇති නිර්ණායක බොදුනුවන් විසින් ආරක්ෂා කළ යුතුය.
වන්දනාකරුවන් වෙනුවෙන් කටයුතු අරඹන්නේ අලුයම 2.30 සිටයි
- රජරට විශ්වවිද්‍යාලයේ කුලපති, උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි ඊතල්වැටුණුවැවේ ඥාණතිලක නාහිමි
වසර 2150ක් පැරැණි මහා සෑය අපේ රටේ ජනතාව වන්දනා මාන කරන්නේ පුදුමාකාර බුද්ධ භක්තියකින් යුක්තවයි. ඒ වගේම බෞද්ධයන්ගේ සැබෑ විශ්වාසයක් තියෙනවා විශ්වයේ බලවත් ස්ථානය ලෙසින්. විශේෂයෙන්ම සම්‍යක් දෘෂ්ටික දෙවියන් මෙන්ම අදෘෂ්‍යමාන බලවේග හරහා ලැබුණු යහපත් ප්‍රතිඵල බැතිමතුන්ට ජීවමානව ලැබී තියෙනවා.
ඒ නිසා තමයි සිල්වත් ගුණවත් ජනතාව තම සිතුම් පැතුම් අවංක යහපත් ප්‍රාර්ථනාවන් කරන්නත් මහා සෑයට පැමිණෙන්නේ. සීලයෙන් ගුණයෙන් යුක්ත අයට ඒ පිහිට ලැබී තියෙනවා. ඒ අය අපට ඇවිත් කියනවා වසර ගණනාවක් තිබුණු නඩු හබ, එහෙමත් නැත්නම් වසර ගණනාවක් තිස්සේ මානසික ලෙස පිඩා විඳි ගැටලු මහ සෑ වන්දනාවෙන් දුරුව තිබෙනවා.
බෞද්ධයන් පමණක් නෙමෙයි, අනෙක් ජනතාවත් විදෙස් ජාතිකයනුත් මේ ස්ථානයට පැමිණෙන්නේ ලොකු ගෞරවයකින් යුක්තව සැදැහැ සිතින්.
ඒ ජනතාව වෙනුවෙන් අප අවශ්‍ය කරන සියලු පහසුකම් සැලැසීමට පියවර ගෙන තියෙන්නේ. බොහෝ දෙනා නොදන්නා කරුණක් වුණාට අපි අලුයම 2.30ට තමයි සෑය හා සලපතළ මළුවේ පිරිසිදු කිරීම් ආරම්භ කරන්නේ. ඒ සඳහා විශාල පිරිසක් සහභාගි වෙනවා. සියලු මල් ආසන පිරිසිදු කර, සියලු කාපට් එක වැලි ඇටයක්වත් නොරැෙඳන සේ පිරිසිදු කරනවා. එමෙන්ම බැතිමතුන් අසුන් ගන්නා ආසන 100ක් පමණ තියෙනවා ඒ සියල්ල පිරිසිදු කරනවා. පහන් 4700ක් පමණ තියෙනවා. ඒ සියල්ල සෝදා පිරිසිදු කරනවා.
ඒ සියල්ල කරන විට වැස්ස වැනි කාලගුණික තත්ත්වයන් ගැන අප සලකන්නේ නැහැ. ඒ වගේම දිනකට මල් ට්‍රැක්ටර් 10ක් විතර අපට ඉවත් කරන්න වෙනවා. ඒ සියල්ල නිමවා උදෑසන 5.30ට තමයි බැතිමතුන්ට පැමිණීමට අවස්ථාව සලසා දෙන්නේ. එතැන් සිට රාත්‍රී 10.00 දක්වා මහ සෑය විවෘතයි. රාත්‍රී 10.00ට මල් ආදිය ඉවත් කර සුවඳ පැන් නහවා සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට වන්දනා කරන්න අවස්ථාව සලසා දෙනවා.
ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ භූමිය පිරිසිදුව තබා ගන්න කියලයි. දොළොස් මහේ දන්සලක් රුවන්වැලි සෑය අසල ලබා දෙනවා. ඒ වගේම උදෑසන කිරි දාන දෙනවා. ඒ අප ද්‍රව්‍යත් තමන් ගේන ඉවත ලන දේ තැන් තැන්වල විසි කිරීම නිසා දිනකට එම අපද්‍රව්‍ය ට්‍රැක්ටර් 10ක් විතර ඉවත් කරන්න වෙනවා. ඒ වගේම සුනඛයන් 400ක් පමණ විවිධ අය ගෙනවිත් දමා තිබෙනවා. මේ සියල්ල වන්දනාකරුවන්ට ලොකු හිරිහැර බවට පත් වෙනවා. සපපතළ මළුවේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට අවස්ථාව ලබා නොදීමට පාලක සභාව තීරණය කර තිබෙන්නේ බණ භාවනා කරන අය සිටිනා නිසයි. එහෙත් වැලි මළුවේ අවශ්‍ය පරිදි එම කටයුතු සිදු කළ හැකියි.
රුවන්වැලි සෑය මූලිකත්වයෙන් සිදු කරන සමාජ සේවා රැසක් තියෙනවා. කප් රුක් විහාරස්ථානවලට පූජා කිරීම, ළමා නිවාස පවත්වාගෙන යාම, මන්ද මානසික ස්ථානයකට අර්ධ වශයෙන් දායකත්වය ලබා දීම, ගැබිනි මවුවරුන් 1000කට පමණ පසුගිය මාස 3ක පමණ කාලයේ අවශ්‍ය දේ ලබා දුන්නා. එමෙන්ම ශිෂ්‍යත්ව 20000ක් මේ වන විට ලබා දී තියෙනවා. බොහෝ දෙනා ඒ බව දන්නේ නැහැ.
කොළඹ සිට අනුරාධපුරය දක්වා දුම්රිය කාල සටහන
අනුරාධපුරය දක්වා ගොස් එතැන් සිට ශ්‍රී මහ බෝධිය දක්වා යාමට දැන් ශ්‍රී ලංගම බස් රථයක් යොදවා තිබේ. එමගින් ශ්‍රී මහ බෝධීය දක්වා ගොස් පා ගමනින් මහ සෑයට යා හැකිය. නැත්නම් අනුරාධපුරයේ සිට පෞද්ගලික වාහයනයකින් ඍජුව මහ සෑයට පැමිණිය හැකිය.