කීර්ති එස්. කුමාරගෙන් පොත් ත්‍රිත්වයක් | Page 3 | සිළුමිණ

කීර්ති එස්. කුමාරගෙන් පොත් ත්‍රිත්වයක්

කීර්ති එස්. කුමාර කවියා මුලින්ම අපට හමුවන්නේ පුවත්පත්වල කවි පිටු හරහාය. ඒ 1980 ගණන් වල මුල් කාලයේදීය.

එකල ලේක්හවුසියෙන් එළි දුටු නවයුගය, යොවුන් ජනතා, තරුණි පුවත්පත්වල කවි පිටු අතරින් සිය කවියට අගනා වටපිටාවක් හදාගත් කීර්ති පත්තරකාර­‍ෙයකු ලෙස රාජකාරිය අරඹන්නේ ‘යුවති‘ පුවත්පතෙනි. පසුකාලීනව බැංකු ක්ෂේත්‍රයේ රැකියාවකට යොමු වුව ද පුවත්පතට තිබු ඇල්ම ඊට වඩා ඉදිරියෙන් තිබු නිසා ඔහු රැකියාවෙන් ඉවත් විය. යළිත් පත්තරකාරයෙකු ලෙස ජීවිතය ඇරඹු ඔහු සිය හැකියාවට හැමවිටම මුල්තැන දුන්නේය. 

පුවත්පත්වල විවිධ ලිපි ලියූ ඔහු ඒ ගෙවුණු කාලය තුළ කවිය ද අමතක නොකළේය. ඔහුගේ ජීවිතයේ කවිය මනා ඔසුවක් විය. මේ වන විට ඔහු විසින් ලියූ කවි ගණන බොහෝය. ඒ අතරින් තෝරා ගන්නා ලද කවි එක්කොට සකස් කරන ලද මිනී කපන්නාගේ දියණිය, ඇඩ්‍රරස් නෑ අම්මේ අපට, උඹට වඩා මං රතුයි කවි පොත් ත්‍රිත්වය එළිදැක්වීම මේ මස 29 අඟහරුවාදා සවස 2.30ට කොළඹ නිදහස් මාවතේ ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුකෙරේ.

දීර්ඝ කාලයක් තිස්සේ කවි ලියන කවි විඳින කීර්තිගේ කවි අතර එන මේ කවිය පාඨකයාට බොහෝ දේ සිතන්නට ඉඩහරින කවියකි. කෙටි පද වුවත් ඒ පදවල බොහෝ අරුත් ගෙන එයි. “ඇය ඇතැම් විට නගරයේ අතරමං වූ එකියක විය හැකිය. එසේත් නැත්නම් රැකියාවක් සොයා විත් මංමුලා වූ එකියක වන්නට ඇත”. මේ කෙටි පද ඊට නිදසුන්ය. මාතෘකාව “එයා අලුත් එකියක් වෙන්ටැති“.

“විදි ලාම්පු 
එළියෙන් 
මා දුටුවා 
ඈ විලියෙන්“

(ඇඩ්‍රරස් නෑ අම්මේ අපට, 

පිටුව - 17)

පාඨක අපට බොහෝ දේ සිතන්නට ඔහුගේ කෙටි වචන මඟපෙන්වයි.

දැන් ජීවත් වීම අසීරු.ය. බඩු මිල වැඩිය. කුටුම්බය තුළ දරුවන් හාමතේය. ඔහු වැඩ කරන්නේ නගරයේය. ඔහුට සිහි වන්නේ එ දවස සතුටෙන් ගත කළ ජීවිතය ගැනය. සිනමා ශාලාවේ චිත්‍රපට නැරඹූ දවස්ය.

ගමේ සිටින බිරියට ජීවිතයේ අසීරුතාවය, දුක් තැවුල් පිරි පවුල් ජීවිතයක දරිද්‍රතාව ගැන කවියා ලියන්නේ මෙසේය.

මාතෘකාව “ආදරෙයි බිත්තරයක්“ තරම්.

“ගමේ නිදැල්ලේ හිටපු මැස්සෙක් 
සිමෙන්ති කොට්ටෙකට යටවෙලා 
කොහේ එන්න ද මැණිකේ 
මං කොළඹ බිල්ඩිමක හිරවෙලා... 
පොඩි වුන්ට මන්ද පෝෂණ පෙති අරන් 
ළඟදි එනවා 
උඹ කරදර මිටි ලිපේ දාලා  
සුනු සහල් බතක් තම්බලා 
උන්ගේ බඩ 
පුරෝපන්“

(මිනී කපන්නාගේ දියණිය පිටුව 29)

කීර්ති එස් කුමාර කවියා ලියන්නේ මේ සමාජය ඇසුරෙන්ම ලැබූ අත්දැකීම් එක්කරය.

Comments