ලද දෙයින් සතුටු වන අංක 2 හිමියෝ | Page 2 | සිළුමිණ

ලද දෙයින් සතුටු වන අංක 2 හිමියෝ

- සිනහවෙන් සතුටින් කාලය ගත කරන අය 
- තරමක් කපටියි; උපායශීලියි

මෙහිදී හෘද අංක 2 හිමියන්ගේ පලාපල සඳහන් කිරීමට පෙර මුලින්ම හෘද අංකය සොයා ගන්නේ කෙසේ ද යන්න සැකෙවින් මෙලෙස සඳහන් කරමි. මේ සඳහා ඉංග්‍රීසි භාෂාවේ ස්වර අකුරු සහ ඒවාට අංක විද්‍යාත්මකව යොදන ඉලක්කම් ගැන දැනගත යුතුය. ඉංග්‍රීසි භාෂාවේ ස්වර අකුරු වන A, E, I, O, U යන අකුරු පහ සඳහා පිළිවෙළින් 1, 5, 9, 6, 3 යන අංක යෙදෙන බව මතක තබා ගන්න. මුලින්ම කොළයක ඔබගේ සම්පූර්ණ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න. ඉන්පසු ඔබගේ නම තුළ යෙදී ඇති ස්වර අකුරුවලට ඉහත සඳහන් ඉලක්කම් යොදන්න. අනතුරුව අදාළ ඉලක්කම් යොදා ඒවා තනි අංකයක් එනතුරු එකට එකතු කරගත යුතුය.

ඒ අනුව අංක විද්‍යා ජ්‍යොතිෂයට අනුව හෘද අංකය දෙක හිමි අය ඉතාමත් හැඟීම්බර සංවේදී පිරිසක් ලෙස හඳුන්වන්නට පුළුවනි. සමාජයේ කිසිවකුටත් කරදරයක් නොමැතිව තමාගේ පාඩුවේ ජීවත්වීම ඔවුනගේ එකම අපේක්ෂාව වෙයි. මොවුන්ට ඉහළ රස වින්දන හැකියාවක් ඇත. එමෙන්ම නිර්මාණශීලී බව ද හෘද අංක 2 හිමිකරුවන් තුළින් දැකිය හැකිය. එසේම සංගීතයට කලාවට ඉතා ප්‍රිය කරයි. ගීත ගායනයට මෙන්ම වාදනයට ද සහජ හැකියා පිහිටයි. සාම්ප්‍රදායික රාමුවට පිටින් අලුත් විදිහකට සිතීමේ හැකියාව ද තිබේ. හුදෙකලාව වාසයට වඩා මිතුරන් සමඟ සුහදව විනෝදයෙන් කටයුතු කිරීමට කැමතිය. බොහෝ මිතුරන් ද මොවුන්ට සිටී. 

නමුත් තෝරාගත් මිතුරන් සමඟ පමණක් සමීපව ඇසුරු කරයි. සමාජශීලී ගති ලක්ෂණ පෙන්නුම් කරන හෘද අංක 2 හිමියන් සමාජ සේවා වැනි කටයුතුවල නිරත වීමට ද කැමැතිය. සෑම විටම සිනහවෙන් හා සතුටින් සිටීමට ද උත්සාහ දරයි. තමාගේ සුව පහසුව ගැන නිතර උනන්දු වෙයි. මොවුන්ට හරි යන්නේ වඩාත් පහසුවෙන් කළ හැකි රැකියාවන් වෙයි. ගොරෝසු වැඩවලට ඔරොත්තු නොදෙයි. සෑම අවස්ථාවකම ප්‍රවේසම් සහගතව ක්‍රියා කරයි. තමාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙයි. මොවුන් කිසි විට ප්‍රශ්න ඇති කරගැනීමට කැමැති නැත. කා සමඟත් අමනාප වී තරහෙන් ජීවත්වීමට ප්‍රිය නොකරයි.

හෘද අංකය 2 හිමියන් හොඳ සමාදානකාරයෝ ලෙස හැඳින්විය හැකිය. සෑම අයෙක් සමඟම සුහදව සමගියෙන් සාමයෙන් ජීවත්වීමට මොවුන් කැමැති වෙයි. මොවුන් උපතින්ම බුද්ධිමත් බවක් උරුම කර ගනී. තරමක් කපටි බවත් උපායශීලී බවත් හොඳින් තිබේ. නමුත් අයුතු විදිහට ඒවා පාවිච්චි කිරීමට කැමැති නැත. තමාට ලැබුණු දෙයින් සතුටු වීමට දනී. ජීවිතයේ තමා බලාපොරොත්තු නොවන ආකාරයේ අභියෝග හමුවිය හැකිය.

නොපසුබට උත්සාහය තුළින් අරමුණු අපේක්ෂා ජයග්‍රහණය කිරීමට සිදු වන හෘද අංකය 2 හිමියන්ගේ දැඩි සංවේදී බව දුර්වලතාවක් ලෙස පෙන්වා දිය හැකිය. ඉක්මනින් දුකට පත්වන ස්වභාවයෙන් යුක්තය. කාරුණික හිතක් පවතී. දුක හිතෙන සිදුවීම්වලින් ඉක්මනින් කම්පනයට පත් වෙයි. මොවුන් ආදරය සහ ප්‍රේමය තදින් අපේක්ෂා කරයි. පහසුවෙන් ප්‍රේම සබඳතා ගොඩනඟා ගනී. නොදන්නා අය පිළිබඳ ඕනවට වඩා විශ්වාසය තැබීමෙන් වැළකීම හොඳය. ඉතා හොඳ පිරිසිදු හදවතක් ඇති මොවුන්ට යහපත් ජීවිත උරුම වනු නොඅනුමානය.

හෘද අංක 3 පිළිබඳ ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සහ පාඨශාලාචාර්ය 
ඉසිවර සහන ජ්‍යොතිෂ සේවය ඒ. ජේ. දීපාලෝක

Comments