නිවැසියන් ලෙඩ කරවන වාස්තු දෝෂ | සිළුමිණ

නිවැසියන් ලෙඩ කරවන වාස්තු දෝෂ

- නිවසක් ඉදිකරද්දී බ්‍රහ්ම දේව මනුෂ්‍ය ප්‍රේත පාදවලට ඉඩම බෙදා වෙන්කරගත යුතුය
- විශ්ව ශක්තිය නිසි ලෙස තුලනය නොවූ නිවසක නිවැසියන්ට රෝගාබාධ 
- වහලයේ බාල්ක යට ලී පිරිද්දුම් පරාල හරියට නැත්නම් නිවැසියන්ට රෝග 98ක්

නිසි ලෙස විශ්ව ශක්තිය තුලනය වූ නිවසක වෙසෙන නිවැසියන්ට දිර්ඝායුෂ හිමි වන බව පුරාණ සෘෂිවරුන් විසින් වාස්තු විද්‍යා සංකල්පය තුළ පෙන්වා දී ඇත. එම සංකල්ප බැහැර කොට විශ්ව ශක්තිය තුලනය නොවූ දෝෂ සහිත නිවාසවල ජීවත්වීම බොහෝ රෝගාබාධවලට හේතුවක් බව පෙනී ගොස් ඇත.

වාස්තු විද්‍යානුකූලව නිවාස ඉදි කිරීමේදී මුලින්ම බ්‍රහ්ම, දේව, මනුෂ්‍ය, ප්‍රේත යන පාදවලට ඉඩම බෙදා වෙන්කර ගත යුතුය. එමඟින් ඉඩමේ සියලු ශක්ති ප්‍රභවයන්ට කේන්ද්‍ර වන පරිදි නිවස ස්ථානගත කර ගත හැක. එසේ නොවී ශක්තීන් ලැබිය යුතු දිශාවන් ආවරණය වන සේ බිත්ති ආදිය යෙදීමෙන් නිවැසියන්ට හිසේ ආබාධ, අක්ෂි ආබාධ, ශ්වසන හා චර්ම රෝග වැනි රෝගාබාධ වැලඳිය හැකිය.

නිවසක් ඉදිකිරීමේදී දිශාව පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වෙමින් විශ්ව ශක්තීන් නිසි පරිදි ලැබෙන සේ නිවස ඉදිකළ යුතුය. එසේ නොවුණහොත් නිවස තුළ නිසි ලෙස විශ්ව ශක්තිය තුලනය නොවීමෙන් වාස්තු දෝෂ ඇති වේ. ඒ අනුව එම නිවසේ පදිංචිකරුවන්ට සන්ධිගත ආබාධ, අවයව අප්‍රාණික වීම්, අංශභාග තත්ත්ව ආදිය හටගැනීමට පුළුවනි.

නිවසක වහලයට යොදන බාල්ක, යට ලී, පිරිද්දුම්, පරාල, කුරුපා ආදිය නිසි පරිදි ශාස්ත්‍රානුකූලව නොයෙදීම හිසේ සිට පාදාන්තය දක්වා රෝගාබාධ අට අනූවක් (98 ක්) වැලඳීමට හේතු වන බව පැරණි ග්‍රන්ථවලද දක්වා තිබේ. නිවසක වහලයේ පවත්නා දෝෂ එම නිවසේ පදිංචි අයට ස්නායු ආබාධ, හිස සම්බන්ධ රෝග, රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග මෙන්ම ජීවිත හානි පවා සිදු වීමට හේතු විය හැකිය.

නිවසේ ප්‍රධාන දොරෙන් ඇතුළුවීමේදී මුළුතැන්ගෙයි ලිප දර්ශනය වීම, ගිනිකොණ හැර වෙනත් දිශාවක ලිප පිහිටා තිබීම වැනි දෝෂ නිසා උෂ්ණාධික රෝග, ලේ ධාතුව කෝප වී හටගන්නා රෝග හා බඩවැල් ආශ්‍රිත රෝග ඇති විය හැකිය. මෙම දෝෂ දිගින් දිගටම පැවතීම නිසා උදරාශ්‍රිත පිළිකා ආදිය වුව හට ගැනීමට ඉඩ තිබේ.

දෝෂ සහිත ළිඳ නිසාද නිවසකට විපත් පැමිණෙන බව පැරණි කූප ශාස්ත්‍රයේ දැක්වේ. ළිඳ පිහිටුවිය යුතු නිවැරදි දිශාවන් ලෙස පුරාණ වාස්තු ග්‍රන්ථවල දක්වා ඇත්තේ ඊසාන, උතුර, නැගෙනහිර, බස්නාහිර දිශාවන්ය. දකුණු දිසාවේ ළිඳ ස්ත්‍රී විනාශයද, ගිනිකොණ දිසාවේ ළිඳ දූ දරුවන්ට විපත්ද, වයඹ දිසාවේ ළිඳ සතුරු කරදරද, නිරිත දිශාවේ ළිඳ මරණය හා සමාන විපත්ද ඇති කරයි. ළිඳ නිවසේ යට ලී හෝ බිත්ති මුළුවලට හසු නොවන පරිදි කැණිය යුතු අතර එබඳු දෝෂ පැවතීමෙන් ස්නායුගත ආබාධ, ලේ ධාතුව සම්බන්ධ රෝග, උදරාශ්‍රිත රෝග, වකුගඩු හා බහිශ්‍රාවිය පද්ධතිය සම්බන්ධ රෝග ඇති විය හැකිය.

නිවසේ මුළුතැන්ගෙයි චිමිනියට ඉහළින් ජල ටැංකිය පැවතීම, වැසිකිළිය, කුණු වළවල්, බලු කූඩු, ගව ගාල් සහ තාවකාලික මඩු ආදිය නුසුදුසු දිශාවන්හි පැවතීම බොහෝ වාස්තු දෝෂවලට හේතු වේ. එවැනි ගෘහයන්හි වාසය කරන්නන්ට නොයෙකුත් ශාරීරික ආබාධ සහ රෝගී තත්ත්වයන් හට ගනී. වාස්තු දෝෂ හේතුවෙන් හට ගන්නා මෙම රෝග වෛද්‍ය ප්‍රතිකාරවලින් නිට්ටාවට සුව නොවේ. එවැනි රෝගාබාධයන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන අතර රෝගියා පදිංචි නිවසේ පවත්නා වාස්තු දෝෂ නිවැරදි කර ගැනීමද සිදු කර ගත යුතුය.

Comments