නඩු - ඉඩමේ වළ දාන්න ගුරුන්නාන්සේගෙන් පුංචි සුරයක් | Page 2 | සිළුමිණ

නඩු - ඉඩමේ වළ දාන්න ගුරුන්නාන්සේගෙන් පුංචි සුරයක්

මේ දිනවල තරමක උෂ්ණාධික පරිසරයක් තිබේ. ගඟ කිට්ටුව ඇති නමුත් දහදිය දැමීම බොහෝය. ගම්බද නමුත් ගස් කොළන් කපාදමා, වැලි ගොඩදැමීම සඳහා පොළොවද කපා දමා තිබෙන්නේ රුදුරු ලෙස යැයි මට සිතේ. මා කවදත් පාසලේ රාජකාරි වැඩ ඉතා හොඳින් කරමි. සවස් යාමයේ පත පොත ඇසුරු කරමින් සිටින විට නිවසේ ඇති ගුප්ත ශාස්ත්‍රීය පොත්පත් කීපයක් පිළිබඳව සිහියට නැඟුණි. "එන පාර ගෙදර ගියාම අරගෙන එන්න ඕනි" මා මටම කියා ගත්තෙමි.

දවස ගෙවී යන අතර බොහෝ විට සිහිපත් වන්නේ මාටින් ගුරුන්නාන්සේමය. දැන් ගෙදර වත්තේ නඩුවේ ප්‍රශ්නයට වඩා ගුරුන්නාන්සේගෙන් මට ඉගෙන ගැනීමට හැකි වේදෝ යන සිතුවිල්ල විසින් මා නිතර පෙළෙන බව දැනේ. මේ සති අන්තයේ මා ගෙදර යාමට තීරණය කළේ එන සතියේ "නඩුවේ කටයුතු සිදුවන නිසාය. සිකුරාදා තරම මාටින් ගුරුන්නාන්සේව බැලීමට යා යුතුය. අද අඟහරුවාදා බැවින් ඊට තවත් දින කීපයක් තිබේ. අඟහරුවාදාවන්වල බෝධි පූජාව කිරීමට මා පුරුදු වූයේ විශ්ව විද්‍යාල සමයේ මැද භාගයේය. මගේ යහළුවා"රසික" ජ්‍යොතිෂය පිළිබඳ මනා අවබෝධයකින් සිටි කෙනෙකි. මගේ හඳහන බලා මා ඉපිද ඇති ග්‍රහ තත්ත්වය අනුව අඟහරුවාදා බෝධි පූජා කරන්න යැයි යෝජනා කළේ ඔහුය. "මාසෙකට වරක් "Lite time" "කරපන්" උඹට වරදින්නේ නෑ" ඒ ඔහුගේ වදන් තවමත් මා දෙසවන තුළ දෝංකාර දෙයි. "ඈ බං බෝධි පූජා කරන්නේ බදාදා - සෙනසුරාදා නොවේදැයි" මා ඔහුගෙන් ඇසුවෙමි. කෙසේ වෙතත් මා බදාදා - සෙනසුරාදා ගැන හරියට ඉගෙන ගත්තේ මගේ මිත්‍රයාගෙනි. බෝධි පූජාවේ ප්‍රතිඵලද මා අත්විඳිමින් සිටින්නෙමි. සත්‍ය වශයෙන්ම "රසික" කීවාක් මෙන්ම එය මගේ ජීවිත ගමනේ අභිවෘද්ධියක් සැලසූ බව බොරුවක් නොවේ. 

බදාදා - සෙනසුරාදා කියන්නෙ කෙම්මුර දවස්, කෙම්මුර දවස කියන එක අහල තිබ්බට කෙම්මුර ගැන හොඳම හොඳ පැහැදිලි කිරීමක් කළේ රසිකයි. ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීමේ ආශාව වඩ වඩා වැඩි වූයේත් රසිකගේ මිත්‍රත්වය නිසාමයි. " උඹ දන්නවද මුර කියන්නේ මොකක්ද කියා" එවෙලාවේ මට සිහි වූයේ "වෙඩි මුරය" නොයෙකුත් රාජ්‍ය උත්සවවලදී මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික අවමංගල්‍ය උත්සවවලදී "වෙඩිමුර" සිදු කෙරේ. "කෙහෙල් මල" යැයි පැවසූ ඔහු "මුර" ගැන කියාදුන් ආකාරය සිහිපත් වේ.

"මුර" පදය කාලය හැඳින්වීමටත් යොදනු ලැබේ. එක පදයක අර්ථ රාශියක් ඇතත් කෙම්මුර, වැඩමුර යන පදවලදී "මුර" යන පදය කාලය හැඳින්වීමට යොදනු ලැබේ. වැඩ මුරය යනු වැඩ කළ යුතු කාල සීමාවයි. කෙම්මුර යනු කෙම් කටයුතු කළ යුතු කාල සීමාව පමණක් නොව එයින් ශාන්තිය, නිදහස ලැබෙන කාල සීමාව යන අර්ථයද ගෙන දෙයි. ක්ෂේම භූමිය, කෙම්බිම යන පදවලින් එය ඔප්පු වේ. එනම් පුද්ගලයාට සහනය සලසන කාලයයි. ඉදින් කෙම්මුර යනු මිනිසාගේ නොයෙකුත් ප්‍රශ්න ගැටලු දෙවියන්ට සැල කිරීම සඳහා ඇති දවස් බව මා දැනගත්තේ ඔහුගෙනි. මා හට එහිදී ඇතිවුණු අතුරු ප්‍රශ්නයකි. මා ඔහුගෙන් එය විමසූ නමුත් ඔහු මට පිළිතුරු නොදුන්නේ ඔහු ඊට පිළිතුරු නොදන්නා නිසාවෙන්ම වන්නට බැරි යැයි සිතේ. ඒ ප්‍රශ්නය මාටින් ගුරුන්නාන්සේගෙන් ඇසිය යුතු යැයි සිතේ. මා සිතිවිලි ධාරාවක ගිලී ඇති බව මට සිහිපත් වූයේ පසුවය.

මම වහ වහා උන් තැනින් නැඟිට අවශ්‍ය කළමනා කීපයක් ගැනීම සඳහා කඩමණ්ඩිය වෙත පිවිසියෙමි. ඒ අතර කඩ මණ්ඩිය උණුසුම් වී ඇත. සිරිල් උන්නැහගේ මඤ්ඤොක්කා වගාව කවුදෝ කෙනෙකු විසින් විනාශ කර දමා ඇති බව කඩමණ්ඩියේ කතා මඟින් තේරුම් ගතිමි. ඒ අතර තවත් කවුදෝ කෙනෙක් මාටින් ගුරුන්නාන්සේගේ නමද කියනු ඇසිණි. රෑ බෝවීගෙන එන බැවින් මා එහි විපරම් නොකර ආපසු පැමිණියේ අඟහරුවාදා බෝධි පූජාවට යා යුතු බැවිනි. අඟහරුවාදා බෝධි වන්දනාව නිමා කර නවාතැන් පළට පැමිණෙන විට රාත්‍රී නවය පසු වී තිබුණි. බෝධි පූජාවට පසුව කාලි මැණියන් නමින් දැල්වු පහන්ද වඩා ආලෝකමත් වී තිබූ බව හැඟේ. සියලු ග්‍රහ දෝෂ උවදුරු දුරු කෙරේවා යන ප්‍රාර්ථනයට අතිරේකව මම කාලි මෑණියන්ට පහනක් දල්වා මාටින් ගුරුන්නාන්සේගෙන් ඉගෙන ගැනීමට ලැබේවායි යන ප්‍රාර්ථනය ද කළේ මා මිත්‍ර රසික මා වෙත ලබා දී තිබු කාලි මෑණියන්ගේ ස්තෝත්‍රයක්ද කියමිනි.

සන්තිරා භාෂම් තිරිශූලංච 
ශංඛ ශක්කිරක තාතරිම් 
මාතර්යය නංච මුසලංච 
පත්තිර කාලී නමොස්තුතෙ

ඒ ස්තෝත්‍රය මාහට බොහෝ තැන්වල පිහිට වී ඇති බව මට සිහිපත් වේ. එකල මගේ යාළුවෙකු විසින් කාලි පුරාණය නමැති ග්‍රන්ථයක් මා වෙත තිළිණ කළ බව මට සිහිපත් වන්නේ දැන්ය. ගෙදර ගිය විට එය ගෙන ආ යුතු යයි සිතමින් නින්දට ගියේ පසුදා උදේම කලාප කාර්යාලයෙන් පාසලට පිරිසක් පැමිණෙන බව විදුහල්පතිතුමා පවසන ලද කාරණාව සිහියේ තබාගෙනමය.

වෙනදා මෙන්ම උදේ පාන්දර අවදිව නා පිරිසිදු වී බුදුන් දෙවියන් වැඳ සූර්ය නමස්කාරය ද සිදු කළෙමි. එසේ ආරම්භ කරන දවස සාමාන්‍යයෙන් අසාර්ථක නොවන බව මම ප්‍රත්‍යක්ෂ කොට සිටිමි. එහෙත් පූර්ව කර්මයේ සමහර කර්ම විපාක බුදුන්ටත් විපාක දුන් බව සිහියේ තබාගෙන කෝකටත් මධ්‍යස්ථ ප්‍රතිපදාවකින් වැඩ කරන්නට පුරුදු වීම මා හට සැනසීමකි.

පාසලේ වැඩත් සමඟ තරමක අවිවේකී බවක් තිබුණත් මාටින් ගුරුන්නාන්සේ දකින්නට බ්‍රහස්පතින්දා යා යුතු යැයි සිතුවේ සෙනසුරාදා පාන්දර බසයේම ගමේ යාමට තීරණය කර ඇති නිසාමය. ඉදින් පාසලේ සිටම එහි යාමට තීරණය කළේ කල් වේලා ඇතිව එහි යන එක හොඳ බැවිනි. නඩු කටයුත්ත මේ මාසේ අවසානයේ ය. මම මාටින් ගුරුන්නාන්සේ හමු වීමි. සාදරයෙන් ගෞරවයෙන් ඔහු මා පිළිගත් බව මට හැඟේ. "මහත්තයා ඔබතුමාගේ නඩුව මේ මාසේ අන්තිමට නොවැ" ගුරුන්නාන්සේ මගෙන් එසේ විමසුවේය. ඔව් ගුරුන්නාන්සේ යැයි මා පිළිතුරු දීමි. මම පොඩි යන්ත්‍රයක් හැදුවා අර නඩු ඉඩමේ ඒක වළලන්න පුළුවන් නොවැ" ඒ ඔහු ය. "පුළුවන් ගුරුන්නාන්සේ" මම උත්තර දුන්නෙමි. අඟල් භාගයක් පමණ පළල පොඩි යන්ත්‍රයක් බුලත් කොළයක තබා මට දුන් ඔහු "ඕක ඉරිදාවක උදේ 6 - 7 අතර කාලයේ වළලන්න ඕන. බැරි වුණොත් හවස එකහමාරට විතර වැළලුවත් කමක් නැහැ. තව එකක් මතක තියාගන්න ඕන, බස්නාහිර දිසාව බලලයි වළලන්නත් ඕනි. ඕකෙන්ම ප්‍රශ්නය විස දේවි. මහත්තයා බය වෙන්න කාරි නැහැ යැයි ඔහු දිගටම කියාගෙන ගියේ මට හූ මිටි තබන්නටත් ඉඩක් නොතබාමය. "ගුරු පඬුරු එහෙම කොහොමද ගුරුන්නාන්සේ" මා ඇසුවේ තරමක බයාදු ස්වරූපයකිනි. මම ටිකක් ලොකු ගාණක් ගන්නව ඒත් මහත්තයගෙන් මොකුත් ඕනි නැහැ. අපේ උනුත් අකුරු කරගන්නවනේ ඒ ඇති. ඔහුගේ ඒ හඬ, ගාම්භීරය, අව්‍යාජය. කෙසේ වෙතත් මා කවරයක රැගෙන ගිය පඬුරු බුලත් අතක තබා ගුරුන්නාන්සේට දුන්නත් බුලත් අත රැගෙන කවරය නැවත මා වෙතටම ලබා දුන්නේ ආඥාදායක ස්වරූපයෙනි. අවසානයේ මා ඔහුට මුව නොසෑහෙන සේ ස්තුති කොට නැවත ඉක්මනින්ම පැමිණෙන බව පවසා ආපසු හැරුණෙමි. සිතේ දහසකුත් එකක් ප්‍රශ්න ගොන්නක් තිබුණත් ඔහු ඉදිරියේ මාගේ මුව ගොළු වීදෝ යැයි මට සිතේ.

ඉදිරි සතියට --

Comments