
- මනාලිය සැරසීමේ කටයුත්තේ සිට මංගල උත්සවය අවසානය දක්වා යෙදී ඇති නැකත් හරියටම ගන්නේ කීයෙන් කී දෙනා ද?
- මංගල දිනයේ නැකත් හිතුමනාපෙට වෙනස් කරන අය මෙන්න!
රන් කිරි කටගෑම සඳහා, බත් කැවීම සඳහා, පළමු කෙස් රොද කැපීම සඳහා, අකුරු කියවීම හා ලිවීම සඳහා, ගෙවල් සෑදීම සඳහා ශ්‍රී ලංකිකයන් අනාදිමත් කාලයක සිට සුබ නැකත් සාදවා ගනී. නැකත් සාදවා ගන්නවා පමණක් නොව නැකත් නිසි පරිදි අනුගමනය කිරීමද සිදු කරයි. ඒ නිසාම ශ්‍රී ලාංකිකයන්ගේ බොහෝ කටයුතු සාර්ථක වී ඇති බවද අප දැන සිටිය යුතුය.
ඉහත සඳහන් කළ සුබ නැකත් අවස්ථා හැරුණු විට තවත් එක් කාර්යක් සඳහා ශ්‍රී ලාංකිකයෝ නැකත් බලති. එනම්, විවාහ මංගල උත්සව සඳහාය. විවාහ මංගල උත්සව සඳහා නැකත් සෑදීම අතිශය සංකීර්ණ කාර්යයකි. මංගල උත්සවයේ වැදගත් සියලු අවස්ථා ආවරණය වන පරිදි සුබ නැකත් වේලාවන් දහසයක් (16) පමණ සාදා දීමට ජ්‍යොතිෂවේදියෙකුට සිදු වේ. දින ගණනාවක් වෙහෙස වී සකසා ගත් නැකත් වේලාවන් මහත් ගෞරවයකින් යුක්තව මනාලයාගේ පාර්ශ්වයට ලබා දීම ජ්‍යොතිෂවේදියෙකු අතින් සිදු වේ.
මෙසේ සකස් කර දුන් සුබ නැකත් වේලාවන් නිසි පරිදි අනුගමනය කරනවාදැයි යන්න විමසා බලන විට අප හට සිතෙන දෙයක් නම් "මෙහෙම නැකත් මක්කටෙයි" යනුවෙනි. අපට එහෙම සිතෙන්නේ නිකම් නොව ලබා දී ඇති සුබ නැකත් වේලාවන් අමු අමුවේ හිතුමනාපයට වෙනස් කරන ආකාරය දකින විටය.
සුබ නැකත් රැගෙන ගොස් බාර දීම සුබ නැකතින් බුලත් දී මඟුල් කීම වැනි අවස්ථා බොහෝ විට සංශෝධනයට ලක්වන නැකත්ය. නිවාඩු ලබා ගැනීමට ඇති අපහසුතාව හේතු කොටගෙන ඉහත දැක්වූ සුබ නැකත් අවස්ථා තම හිතුමනාපයට අනුව සෙනසුරාදාට හෝ ඉරිදාට යොදා ගන්නා මනාලයන්ද සිටී. දිනය පමණක් වෙනස් කොට නැකත්කරු ලබා දී ඇති වේලාවට ඉහත කී කටයුතු කරන අය ද සිටී. එහෙත් දිනය වෙනස් වනවාත් සමඟම සුබ හෝරාවද වෙනස් වන බව ඔවුහු නොදන්නවා විය හැකිය. එවැනි අවස්ථා පිළිබඳව ආරංචි වූ විටද නැකත් සාදනු ලැබූ ජ්‍යොතිෂවේදියාට සිතෙනුයේ ‘නැකත් සෑදුවේ මක්කටෙයි‘ කියාය.
මංගල උත්සව දිනයේ නැකත් වේලාවන් සාහසික ලෙස වෙනස් කරන පිරිසක් ද සිටිති. ඔවුන් අතරින් ප්‍රමුඛ ස්ථානයක් ගන්නේ මනාලියට ඇඳුම් ඇන්දවීම සිදු කරන ශිල්පිනියයි. තමාට කරගත නොහැකි තරමට ඇණවුම් භාර ගන්නා ඇතැම් ශිල්පිනියන් මනාලියට ඇඳුම් ඇන්ද වීමට දී ඇති වේලාව හෝ වේල් එක තැබීමට දී ඇති වේලාව තම හිතුමනාපයට අනුව සංශෝධනය කරයි. අලුයම එකට පමණ මනාලියට ඇඳුම් අන්දවන ශිල්පිනියන්ද ඇත. මනාලිය පත්වන අපහසුතාව කිසිසේත් සැලකිල්ලට නොගන්නා මේ අය මුදල් පසුපස ම හඹා යයි. මනාලයාට ඇඳුම් ඇඳීමට දී ඇති සුබ වේලාව වෙනස් කරනුයේ උඩරට ක්‍රමයට මුල් ඇඳුම අන්දවන අයයි.
යාන්තමට බිම් කළුවර මැකී යන විට ම ඡායාරූප ශිල්පීන් හෝ වීඩියෝ ශිල්පීන් තම සටන අරඹන ආකාරයද අපට දැකිය හැකිය. නව යුවළ ඒ වන විටත් විවාහ වී සිටියද නොසිටියද ඒ ගැන නොතකා විවිධ ආලිංගණයන් වෙත යොමු කරවමින් දර්ශන රූ ගත කරයි. බදා ගැනීම්, සිප වැලඳ ගැනීම් ආදියෙන් සමන්විත මෙකී රූගත කිරීම් බොහෝ විට වැඩිහිටියන්ට පමණක් සුදුසු මංගල ඡායාරූප ඇල්බමයකට හෝ සී.ඩී. තැටියකට විය යුතු යයි බලා සිටින්නෙකුට සිතේ.
පැය තුන හතරක් නව යුවළ නටවා හෙම්බත් කොට හෝටලයට දක්කන් යන්නේ මෙහෙයුමේ ඉතිරි කොටස නිමා කිරීමටය. විවාහය ලියාපදිංචි කිරීම, පෝරුවට නැංවීම, තැලි මුදු පැලඳවීම, පෝරුවෙන් බැසීම ඡායාරූප ශිල්පීන්ගේ හෝ වීඩියෝ ශිල්පීන්ගේ වේලාවන් අනුව සිදු කෙරෙන බව නොරහසකි. ලබා දී ඇති නැකත් වේලාවන් පිළිබඳව අවබෝධයක් ඇත්තේ පවුලේ අයට වන අතර ඔවුන් නිහඬව ම බලා සිටින්නේ නම් උත්සවයට පැමිණ සිටින සෙසු අයට සිතෙනුයේ මෙහෙම කරනවා නම් ‘නැකත් සාදවා ගන්නේ මක්කටෙයි‘ යනුවෙනි.
මධුසමය සඳහා පිටත්ව යාමට ලබා දී ඇති සුබ නැකත් වේලාවන්ද සාහසික ලෙස සංශෝධනය කෙරේ. මංගල සභාව අමතනු ලබන ‘කටට බ්‍රේක් නැති‘ කථිකයන් නිසා මේ තත්ත්වය උද්ගත වේ. මත් වතුරෙන් සප්පායම් වී ඇති කථිකයන් තම විසුළු වාග් විලාසය මේ යයි පෙන්වද්දී මනාලයා තම අත් ඔරලෝසුව දෙස කී වරක් බැලුවේදැයි දකින්නේ නැත. අවසානයේදී සුබ නැකත පසෙක තබා ක්ෂණික නැකතක් මවාගෙන නැදෑ හිතමිතුරන් රවටා නව යුවළ මධුසමය සඳහා පිටත්ව යති. සුබ නැකත් යෙදී තිබුණු ආකාරය ගැන හොඳින් දැන සිටියා වූද, යහපත් සිහි කල්පනාවෙන් සිටියා වූද වැඩිහිටියන් මේ සියල්ල බලා සිටිමින් සිතනුයේ ‘මෙහෙම නැකත් මක්කටෙයි‘ යනුවෙනි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී විශ්‍රාමලත් පාඨශාලාචාර්ය අසෝක විජයසේකර