තාවකාලීකව නතර වී ඇති ව්‍යාපෘති 24ක් යළි කඩිනමින් ආරම්භ කරන්න | Page 3 | සිළුමිණ

තාවකාලීකව නතර වී ඇති ව්‍යාපෘති 24ක් යළි කඩිනමින් ආරම්භ කරන්න

කොවිඩ් හා ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලීකව නතර වී ඇති ව්‍යාපෘති 24 ක් නැවත කඩිනමින් ආරම්භ කරන්න යැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා බළධාරීන්ට උපදෙස් දෙයි. ඒ අනුව එම ව්‍යාපෘති යළි ආරම්භ කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
 
මෙම ව්‍යාපෘති 24 න් ව්‍යාපෘති 09 ක් නතර වී ඇත්තේ ඊට අදාළ විවිධ ආයතනික ගැටළු මතයි. මෙම ව්‍යාපෘති වල ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන 56,529 ක් පමණ වේ. එම ව්‍යාපෘති 09 සඳහා මේ වන විට රුපියල් මිලියන 1,180 ක පමණ බිල්පත් කොන්ත්‍රාත්කරුවන් වෙත ගෙවා ඇතැයි ද අධිකාරිය කියයි. තවත් රුපියල් මිලියන 14 ක බිල්පත් ගෙවීමට තිබේ.
 
මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සම්පූර්ණ මූල්‍යමය අවශ්‍යතාව රුපියල් මිලියන 55,335 ක් ලෙස ගණන් බලා ඇතැයි පවසන නාගරික සංවර්ධන අධිකාරිය ඉන් රුපියල් මිලියන 55,000 ක් ම වෙන් කර ඇත්තේ බොරැල්ලේ පිහිටි වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහායි. මෙම ව්‍යාපෘතිය සංකල්පමය අවධියේ පවතින බවත්, බන්ධනාගාර සංකීර්ණයට අවශ්‍ය ඉඩකඩ හා අවශ්‍යතා සම්බන්ධව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමඟ අවසන් එකඟතාවයකට පැමිණිමට නොහැකි වී ඇති බැවින් සහ අපර ව්‍යුහ පහසුකම් සපයන ආයතන සඳහා මූල්‍ය ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් ව්‍යාපෘතිය තාවකාලික ව අත් හිටුවා තිබේ. කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් තිබෙන බව ද අධිකාරිය කියයි.
 
ආයතනික ගැටළු මත නැවතී ඇති ව්‍යාපෘති 09 න් ඉතිරි ව්‍යාපෘති 08 සඳහා අවශ්‍ය වන්නේ රුපියල් මිලියන 335 ක මුදලක් පමණි. විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව සහ මාර්ග සංවර්ධන අධිකාරිය වැනි ආයතන සමඟ මෙම ව්‍යාපෘති සඳහා පහසුකම් සැපයීමට අදාළ අරමුදල් සපයා ගැනීම හා ඒ සම්බන්ධයෙන් පවතින ගැටළු නිසා මෙම ව්‍යාපෘති තාවකාලික ව නතර වී තිබේ. නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ මෙම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා අදාළ ආයතන සමඟ සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇති බවයි. අදාළ ආයතන සමඟ පැවති සාකච්ඡා වලදී ගැටළු විසඳාගැනීමේ එකඟතාවයන්ට එළඹ ඇති බවත්, ඒ අනුව එම ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කෙරෙමින් තිබෙන බවත්, අධිකාරිය කියයි.
 
සෙසු ව්‍යාපෘති 15 තාවකාලින ව නතර වී ඇත්තේ රටේ පැවති මූල්‍යම අර්බුදය හේතුවෙන් කොන්ත්‍රාත්කරුවන් මුහුණ පාන ලද අමුද්‍රව්‍ය මිල ඉහළ යාම, ආනයන සීමාවන්, ඉන්ධන හා විදුලි අර්බුධ ආදි කරුණු හේතුවෙන් රජය නිකුත් කළ භාණ්ඩාගාර චක්‍ර ලේඛණ මතයි. මෙම ව්‍යාපෘතිවල වටිනාකම රුපියල් මිලියන 10,451 ක්. මින් වැඩිම වටිනාකමක් ඇති ව්‍යාපෘතිය වන්නේ යාපනය නගර ශාලාව ඉදිකිරීමේ ව්‍යාපෘතියයි. ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් මිලියන 3,769 කි. මේ සඳහා දැනටමත් රුපියල් මිලියන 1,033 ක් වැය කර තිබේ. ඉතිරි ඉදිකිරිම් සඳහා අවශ්‍ය මුදල රුපියල් මිලියන 2,536 කි. නතර වී ඇති අනෙක් ව්‍යාපෘති 14 අතුරින් ව්‍යාපෘති ‍02 ක්, කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදන මත ඉදිකිරීම් ආරම්භ කරන ලද ව්‍යාපෘති වේ. රුපියල් මිලියන 2,438 ක මුදලක් මෙම ව්‍යාපෘති 02 සඳහා අවශ්‍ය වන බව නාගරික සංවර්ධන අධිකාරිය කියයි. මෙම ව්‍යාපෘති 02 ක ඉදිරියේ දි පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධව සංවර්ධනය සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බව ද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි. 
 
තාවකාලික ව නතර වී ඇති ඉතිරි ව්‍යාපෘති 12 ක්‍රියාත්මක වුයේ මහා භාණ්ඩාගාර අරමුදල් මතයි. මේ සඳහා නැවත අරමුදල් වෙන් කරවා ගැනීම සඳහා විෂයභාර ඇමති ප්‍රසන්න රණතුංග මහතා මුදල් අමාත්‍යාංහය සමඟ සාකච්ඡා කර ඇත. මීට අමතර ව මෙම මූල්‍යමය අවශ්‍යතාව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ 2024 වාර්ෂික අයවැයට ද ඉදිරිපත් කර ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය කියයි. අවශ්‍ය ප්‍රතිපාදන ලැබුණු වහාම මෙම ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
 

Comments