අඩියක් ගහමුද? යතුරක් කපමුද? | Page 3 | සිළුමිණ

අඩියක් ගහමුද? යතුරක් කපමුද?

- සමහරු කුඩ වගේම බෑග් රෙපෙයාර් කරනවා
- දැන් සපත්තු රෙපෙයාර් කරන්නන්ට දැඩි ඉල්ලුමක්
- දැන් සමහරු ගෙවිච්ච අඩියට මුළුමනින්ම අඩියක් ගහනවා

 

පත්තු රේ පෙයාර් කෙරේ හින්දි චිත්‍රපටවල නම් මෙරට පොදු ජනතාව අතර පැලපදියම් වී ඇත්තේ ඉපැරණි මතකයත් සමඟය. 
ඒක් පූල් දෝමාලි 
අභිමාන් 
දෝස්ති

එවැනි ජනහද තුළ සදාතනික මතකයක් රඳවා ගත් චිත්‍රපටය. ඒ අතර මහජනතාව අතර ඇති හින්දි චිත්‍රපට නාමයක් ඇති මුත් එවැනි චිත්‍රපටයක් නැති නාමයක් ද ඇත.

සපත්තු රේ පෙයාර් කෙරේ

එම චිත්‍රපටයයි. එහෙත් එවැනි චිත්‍රපටයක් නැත. මෙම චිත්‍රපට නාමය සාදාගෙන ඇත්තේ

'සපත්තු රෙ‍ෙපයාර් කෙරේ' යන වාක්‍ය අනිසි තැන්වලින් බිඳීමෙන් පසුවය.

අඩියක් ගහමුද? 
යතුරක් කපමුද? 

මෙවැනි නාම පුවරු කොළඹ මෙන්ම රටපුරා දැකගත හැකිය. මෙරට ප්ලාස්ටික් බාල්දි කරළියට එන්නට පෙර තිබුණේ තහඩු බාල්දිය. ඒ සන්දියේ අඩියක් ගහමු කියූ විට එහි ප්‍රභේද දෙකක් විය. ඉන් පළමුවැන්න තහඩු බාල්දියට අඩියක් ගහ ගැනීමය. දෙවැනි ප්‍රභේදය සපත්තුවකට අඩියක් ගහ ගැනීමය.

ඒ කාලේ නම් සපත්තු රෙ‍ෙපයාර් කිරීම, බෑග් රෙ‍ෙපයාර් කිරීම, කුඩ රෙ‍ෙපයාර් කිරීම වෘත්තියක් ලෙස හන්දිගානේ දැකගත හැක වූයේ ඉතා අපිරිසිදු පුද්ගලයන් අවිධිමත් ලෙස නයිලෝන් නූල් බෝලයක්, සපත්තු විදින කටුවක්, හං කපන්න පැතලි මුවහත් ආයුධයක් සහ පැට්‍රෝල් සුවඳ හමන ගම් ඩප්පියක් සමඟ සිටින පුද්ගලයෙකි. එහෙත් දැන් කාලය වෙනස් වී ඇත. දැන් ඇතැම් සපත්තු රෙ‍ෙපයාර් කරන 'පොෂ්' තැන්වල වැඩ කරන්නේ ඉස්තරම් ලෙස ඇඳුම් ඇඳගත් රූබර ළමිස්සියෝය. අප මීට පෙර සිළුමිණෙන් හෙළිදරව් කළ අච්චාරු වෙළෙඳාම, කඩල වෙ‍ෙළඳාම මෙන්ම දැන් සපත්තු රෙපෙයාර් කිරීම ද, කොම්පැනි කරණයට ලක්වෙමින් තිබේ.

මෙරට අපේ අවධානයට ලක්වූයේ කොලොම්පුරේ තාමත් පේමන්ට් එකට වී පේමන්ට් බිමේ වාඩිවී මේ සපත්තු රෙපෙයාර් කර්මාන්තයේ නියැළෙන ශිල්පීන්ය.

අපි මුලින්ම ලේක්හවුසියෙන් එළියට බැස මහජන බැංකු ප්‍රධාන කාර්යාලය දෙසට ගියෙමු. බේරේ වැව මුහුද දෙසට වැටෙන පාලම උඩ සපත්තු රෙපෙයාර් කරන්නේ කොම්පඤ්ඤවීදිය තම උපන් ගම කරගත් අරුෂ්ය. රෙපෙයාර් කරන ලද සපත්තු කීපයක්ම ඔහු ඉදිරියේ තබා තිබුණි.

"මොකද රෙපෙයාර් කරපු සපත්තු ගෙනියන්නේ නැද්ද?"

"රු.500/= අඩිවාන්ස් ගත්තේ දැන් මාස තුනක් විතර වෙනවා. ගෙනියන්නේ නෑ. උදේට ගේනවා. හවසට ට්‍රන්ක් පෙට්ටියේ දාගෙන යනවා. දැන් බැරිම තැන පිටකොටුවේ සෙකන්ඩ් හෑන්ඩ් සපත්තු කඩේකට විකුණලා දාන්න බැලුවේ."

අරුෂ් පවසන්නේ දැන් සපත්තු අඩියක් ගහන්නට දුන්නොත් ඇඩ්වාන්ස් නොගන්නා බවය.

"ෆුල් පේමන්ට එක දුන්නොත් විතරයි දැන් අඩියක් ගහන්නේ"

අරුෂ් පවසන්නේ දැන් සපත්තු අඩියක් ගහන්න රුපියල් 1800/=ක් ගන්නා බවය. දැන් අලුත් සපත්තුවක මිල ගණන අපට මේ අනුව සිතාගත හැකිවිය.

"සාමාන්‍යයෙන් හොඳ ලෙදර් සපත්තු දෙකක් රුපියල් 8000 සිට රුපියල් 25,000 අතර ගන්න පුළුවන්. ඔය ඉස්සරහ තියෙන තරුපහේ (Fivestar) හෝටල්වල සුද්දො රටින් යනකොට දාල යන සපත්තු සමහර වෙලාවට රෙපෙයාර්වලට ගේනවා. සමහර සපත්තු කිඹුල්ෙහමෙන් හදපුවා. ඒ සපත්තු ජෝඩුවක් රුපියල් ලක්ෂෙට එහා වෙනවා.

කොළඹට එන කාටත් කලකට ඉහත සපත්තු දෙකක් රෙපෙයාර් කරගන්න නම් මල්වත්ත පාරට යන්නට අවශ්‍ය විය. දැන් එසේ නොවේ, කොළඹ ප්‍රධාන ලංගම බස්නැවතුම, පෞද්ගලික බස් නැවතුම, කොටුව ඉස්ටේෂම, පීපල්ස් පාක්, ගෑස්පහ හන්දිය, ඕල්කට් මාවත විතරක් නොව කාගිල්ස් ප්‍රධාන සාප්පු සංකීර්ණය ආදි කොයි තැනකත් සපත්තු රෙපයාර් කරන්නන් නොහොත් සපතේරුවන් දැකගත හැකි විය.

මේ සපත්තු රෙපෙයාර් කරන්නන් අතරින් වැඩිම සෙනඟක් ගැවසුණේ කොටුව ස්ටේෂම, ලංගම බස් නැවතුම සහ පෞද්ගලික බස් නැවතුම ආදී ස්ථානයන්ගේයි. ඊළඟ කෝච්චිය එන්නට පෙර තම සපත්තු දෙක රෙපයාර් කර ගන්නට යුවතියන් පිටකොටුව ස්ටේෂම ඉදිරිපිට සිටියේ නොඉවසිලිමත්වය. සමහර තරුණියන් සිටියේ තනි කකුලෙනි. ඒ අනෙක් සෙරෙප්පුව රෙපයාර් කර දෙනතුරුය.

මේ සපත්තු රෙපෙයාර් කරන අය අතරින් ෂෙල්ටන් සිටියේ පරණ මැනිං මාකට් එකට ඇතුළුවන හොරණ කොළඹ බස්නැවතුම අසලය. 

මැනිං මාකට් තිබ්බ කාලේ අපි උදේ තුනට වැඩට එනවා. මැනිං මාකට් එකට උදේ තුනටත් කලින් වෙළෙන්දෝ එනවා. දුර ගම්වලින් එන වෙළෙන්දෝ සපත්තු දෙක තුන ගේනවා. බඩු අරන් ආයිමත් ගමට යනකොට අරගෙන යනවා. උදේ හය හත වෙනකොට මැනිං මාකට් එකට ආපු වෙළෙන්දෝ බඩු ලොරිවලට දාගෙන ගම්වලට ගිහින් ඉවරයි."

ෂෙල්ටන් පවසන්නේ ඔය කියන කාලේ දවසට 5000 - 6000ක බිස්නස් තිබූ බවය.

"උදේ හය වෙනකෙට ඉස්මුරුත්තාවට එන්න කනවා. ඩෙවල් බීෆ්, බුල්සයි, බාබත්, පිට්ටු වරද්දන් නැහැ. ඒකට දැන් ලෙව කනවා. මැනිං මාකට් එක ගියායින් කොළඹ සෙනඟ අඩු වුණා. දැන් ඉන්නේ රේල්ලුවේ, බස්එකේ ගමට යන්න එන අය විතරයි."

පරණ ටයිම්ස්, ලංකාදීප කාර්යාලය ඉදිරිපිට සපත්තු රෙපෙයාර් කළේ මයිකල්ය. දැන් මේ ගොඩනැඟිල්ලේ කොතලාවල පීඨයෙන් පාලනය වන මෙට්‍රොපොලිටන් කැම්පස් එකකි. අපි මයිකල් සමඟ කතා කරන විටත් සුරූපිනියක් පැමිණ තම හෑන්ඩ් බෑග් සම්බන්ධ රෙපෙයාර් ප්‍රශ්න නිරාකරණය කරගනු පෙනුණි.

"අපේ පවුලේ අය කුවේට් ඩුබායි. මං විතරයි ලංකාවේ ඉන්නේ. රුපියල් 550/=ට තිබ්බගම් ටින් එක රුපියල් 1800/=යි. රුපියල් 300/=ට තිබ්බ නයිලෝන් නූල් බෝලේ රුපියල් 800/=යි. තාම සපත්තුවක් රෙපෙයාර් කළාම සමහරු රුපියල් 100/=ක් දික්කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒ හින්ද දැන් ඉස්සෙල්ලම ගාණ කියනවා. ගාණ වැඩියි කිවුවොත් නිකන් ඉන්නවා. ඒක ඊට ලාබයි."

මේ සපත්තු රෙපෙයාර් කරන උදවිය කියන්නේ සිකුරාදාට - සෙනසුරාදාට - ඉරිදාට සහ පෝය දිනට සපත්තු රෙපෙයාර් බිස්නස් එක 'ෆුල් හින්දුස්ථාන්' වන බවය.

"ඔය දවස්වල සමහරදාට රුපියල් 300/=ක් හොයගන්න බෑ. ගෝල්ෆේස් අරගලේ කාලේ රෑ දොළහටත් බිස්නස් තිබ්බා. සමහරදාට රුපියල් හත්අටදාහක් ගෙදර ගෙනිහිල්ලා තියෙනවා."

මේ සපත්තු මහන්නේ ලී මිටකට ගැසූ අඟල් හතරක් පමණ දිග ඉදිකටුවක් වැනි කටුවකිනි. එහි අග කෙක්කක් මෙන් හාරා ඇත්තේ නයිලෝන් නූල ඇදගැනීමටය.

"ඉස්සර මේ කටුවක් රුපියල් 50/=යි. දැන් ඒක රුපියල් 250/=යි.

මේ සපත්තු රෙපෙයාර් කරුවන් ගොඩේ ගොඩ යන අවස්ථා ද ඇත. ඒ හමුදා උත්සවයක් පවත්වන විටය. හමුදා බූට් 10 - 15ක් පොලිෂ් කර ගතහොත් හොඳ ගතමන්ට් එකක් සොයාගත හැකි බව කිවුවේ බ්‍රිස්ටල් වීදියේ සපත්තු රෙපයාර් කරන රංජිත්ය.

සපත්තු දෙක නොගලවා බලා සිටිත්දීම පොලිස් උලා සපත්තු ජෝඩුව පොලිෂ් කර දීමත් කලාවකි. එසේ බැංකු නිලධාරියකු තම සපත්තු දෙක පොලිෂ් කරගෙන ගියේ දැඩි කලබලයකිනි.

"දැන් එහෙම සපත්තු දෙක නොගලවා පොලිෂ් කරන්න කීයක් ගන්නවද?"

"මාර රෙස්පෙක්ට් එකක්. සපත්තු දෙකවත් ගලවන්නේ නෑ. එහෙම අයගෙන් රු. 250/=ක් ගන්නවා. සත පහක් ටිප් එක දෙන්නෑ. ඔරෝගෙන යන්නේ."

මේ සපත්තු රෙපෙයාර්කරන රංජිත් අපට කිව්වේ අමුතුම කතාවකි.

"මම කළේ පළවෙනි හරස් වීදියේ, ගල්වලේ බඩු කරගහන එක. කොන්දේ අමාරුවක් ඇවිල්ල බර කරගහන්න බැරි වුණා. දැන් අවුරුදු දහයක් තිස්සේ මේ රස්සාව තමයි කරන්නේ. දැන් ඔය ඔෆිස්වල කොච්චර අය මගෙන් සපත්තු රෙපයාර් කර ගන්නවාද?"

මේ කොළඹ පුරා විසිරී සිටින සපත්තු රෙපෙයාර් කරන්නන් කියන්නේ එකම කතාවකි. මෑතක සිට මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිසක් සපත්තු රෙපයාර් කර්මාන්තයට පිවිසීම පරණ පුරුදු සපත්තු රෙපයාර් කරන්නන්ගේ දැඩි විරෝධයට ලක්විය.

"කුඩු සික් එක හැදුණම අපි පැය 2ක් තිස්සේ කරන වැඩේ ඔය කුඩ්ඩෝ පැය 1/2න් කරනවා. පියවි සිහියෙන් ඉන්න කෙනෙක්ට එහෙම මහන්න අමාරුයි."

මේ සපත්තු රෙපයාර් කරන අය අතර ඇතමුන් සිටියේ මඳ පමණට කාලක් ගනිමිනි. එක් අයෙක් එසේ අරක්කු කාලක් බිව්වේ උගුරු දෙකටය.

"ලොක්කා අපි මේ ගිනි කාස්ටක අව්වේ දූවිලි ගොඩේ වේලිලා කර වෙනවා. පොඩි ෂොට් එකක් දාන්නැතුව කොහොම ඉන්නද?"

ඒත් බහුතරය එහෙම නොවේ. වැඩිහරියක් සිටියේ තම පවුල් නඩත්තු කරන්නට මේ රස්සාව කරන පිරිසකි.

"අපි ළමයින්ට ඉගැන්නුවේ, පවුල නඩත්තු කළේ මේ රස්සාවෙන් කියලා කියන්න ලැජ්ජා වෙන්නේ නැහැ. මිනී මරණවට, මංකොල්ල කනවට වඩා මේ රස්සාව නම්බුයි."

උසාවිය කියූ සැණින් අපේ මතකයට එන්නේ ලෝයර්තුමාගේ කෝට් බෑයයි. කෝට් බෑයක් හැඳ රබර් සෙරෙප්පු දාගෙන නඩු කතා කරන 'ලෝයර්ලා' අප දැක නැත. ඒ නිසාම අලුත්කඩේ පැත්තේ කරක් ගැහුවේ උසාවියට යන එන ලෝයර්ලාගේ සපත්තු රෙපයාර් කරන්නකු සොයාය. උසාවිය අසල පාරක ගහක් අස්සේ සිටි පුද්ගලයකු සපත්තු රෙපෙයාර් කරමින් සිටියේය.

ඔහු නමින් බාලාය. පදිංචිය කෙසෙල්වත්තේය. දැන් ඔහු සපත්තු රෙපෙයාර් කරන ජීවිතයට වසර 25ක් ගෙවී ගොස් හමාරවී ඇත. 

"මම අවුරුදු 10ක් වැඩ කළේ නිවාස අධිකාරියේ. වැඩ කරන කාලේ වැඩට යන්න කලින් උදේම එනවා. උසාවි යන ලෝයර්ස්ලා උදේම සපත්තු රෙපෙයාර් කර ගන්නවා. ගොඩක් එන්නේ සපත්තු පොලිෂ් කරගන්න. ඔය ලෝයර්ලා නඩුවලට දාස්ගණන් ගත්තට අපෙන් ගාණ හෙට්ටු කරනවා. සමහරු නඩුව පටන් ගන්න යන්නේ කියලා කැඩුණ සපත්තු දෙක තියලා රෙපෙයාර් කරපු සපත්තු දෙකක් දාගෙන දුවනවා. අන්තිමට දවස් දෙක තුනකට පස්සේ උසාවියට ගිහින් මෑන්ස්ලා අල්ල ගන්නෙ."

බාලා කුඩ රෙපෙයාර් කරන්නේ නැත. ඔහු කියන්නේ පායන කාලෙට සපත්තු කැඩෙනවා අඩු නිසා බිස්නස් අඩු බවකි.

"දැන් සපත්තු රෙපෙයාර් කරන්නත් කොම්පැනි ඇවිල්ලා. ගාන බිල් මැෂිමෙන් ප්‍රින්ට් කරල කඩල අන්තිම සතයක් අඩු නැතුව ගෙවනවා. අපි ගාවට ඇවිල්ලා රුපියල් 200ක් කිව්වමත් හෙට්ටු කරන්න කියනවා."

බාලා කියන්නේ තමන් කුඩා සපත්තු රෙපයාර් එකකට රුපියල් 50/= විතර අය කරන බවය.

මේ සපත්තු මහන අය අතරින් කුඩා ස්ථිර කුටියක සපත්තු රෙපයාර් කරන මංජුල අපට හමුවුණේ බොරැල්ල තැපැල්හල ඉදිරිපිටදීය. ඔහු නමින් මංජුල මහතන්ත්‍රිය. ඔහු මේ ව්‍යාපාරය වසර 20කටත් එහා සිට පවත්වාගෙන එනු ලබන්නකි. සපත්තු රෙපෙයාර් බිස්නස් එක පටන් ගන්න කලින් වැඩ කළේ මැජෙස්ටික් සිටි එකේ සපත්තු රෙපයාර් කරන මිස්ටර් මින්ටි එකේ.

"එතකොට කොල්ලුපිටියේ 'සුනිල් ෂු' කියල සපත්තු රෙපෙයාර් කරන තැනකුත් තිබ්බා නේද?"

"ඔව්. ඔව්. කොහොමද දන්නේ. ඒගොල්ලන් Tailor made shoe makers ලා. කස්ටර්මර්ට ඕන ඩිසයින් එකෙන් සපත්තු කුට්ටම මහල දෙනවා."

"ඒ කාලේ පඩිය කීයක් විතර හම්බුණාද?"

"රුපියල් 1500යි මාසෙටම පඩිය. මෙතැන පටන් ගත්තේ එතැනින් අයින් වෙලා. මාව හොයාගෙන එතැන්ට ආපු කස්ටර්මර්ලා දැන් මෙහාට එනවා."

මංජුල කියන්නේ තමාගේ දරුවන් කිසිවකු මේ කර්මාන්තයට අකමැති බවය.

"මං හිතන්නේ අපෙන් පස්සේ මේ වගේ පාරවල් අයිනේ සපත්තු රෙපෙයාර් කරන පම්පරාව ඉවර වෙයි."

අප ඊළඟට ළඟා වූයේ නාරාහේන්පිට පාරේ පුෂ්පානන්දගේ සපත්තු රෙපෙයාර් තට්ටුවටය. ඔහුට හෙවණ දුන්නේ දැවැන්ත නුග ගසකි. පුෂ්පානන්ද කියන්නේ තමන් සපත්තු රෙපයාර් කරන්නේ වසර හතළිස් පහක සිට බවය.

"එතකොට 1983 ජූලි කෝලාහලය මතකද?"

"අප්පෝහ් එතකොට මම පොඩි කොල්ලා. කඩ ගිනි තියන්න ගත්තේ බොරැල්ලෙන් තමයි. සමහරු අපේ කට්ටියගේ (දෙමළ කඩ) ෂූ කඩ මංකොල්ල කෑවා. ඩිස්ප්ලේ කරපුවත් උස්සන් ගිහින් තිබ්බා. අන්තිමට බැලුවම සපත්තුවක ඩිස්ප්ලේ කරන්නේ එක කකුලයි කියල දැනගෙන ඉඳල නෑ."

පුෂ්පානන්ද කියන්නේ තමන්ට රෙපෙයාර් එකට වැඩිපුරම සපත්තු ලැබෙන්නේ විසේකාර පාසල් සිසුන්ගේ බවය. පාසල් සිසුවියන්ගේ කැඩුණු සපත්තු රෙපෙයාර් එකට ලැබෙන්නේ කලාතුරකින් බව පුෂ්පානන්ද කියයි.

"ඉස්සර නම් අලුත් සපත්තු දෙකක් ගත්තම පරණ සපත්තු දෙක අපිට දීලා යන අයත් හිටියා. දැන් නම් එහෙම අය හොයාගන්නවත් නෑ. අපි එතකොට අලුත්ම අඩියක් ගහල හොඳ ගාණකට ඒ සපත්තු දෙක විකුණා ගත්තා. අපි පවුල නඩත්තු කළේ මේ රස්සාවෙන් කියන්න ලජ්ජා වෙන්නේ නැත්තේ ඒකයි.

රැකියාවක් ඉල්ලා ආණ්ඩුවට දීනත්වයෙන් බැගෑපත් වන්නන් සිටින රටක ගිනිකාස්ටක අව්වෙන් බේරෙන්න ආණ්ඩුවෙන් කුඩයක්වත් නොඉල්ලා වෘත්තීය ගෞරවය ඇති රටට බරක් නොවන ග්‍රාම බළකායක් ලෙස මොවුන් වර්ගීකරණයට ලක්වනවා නියතය.

ඡායාරූප - සුදත් මලවීර

Comments