- රුවිඳුගෙයි මගෙයි ආදර කතාව ඇරැඹෙන්නේ මුහුණුපොතින්
- නෙතාරව ඔවුන්ට දැනුණ නිසා තමයි ඔවුන් මට බණින්නෙ ඒ ගැන නම් මට සතුටුයි
ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වන 4චූන් RESIDENCY මේ දිනවල ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම ලබන ටෙලි නිර්මාණයකි. සුපුන් රත්නායකගේ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් නිම වුණු 4චූන් RESIDENCY හි නෙතාරා කාගේත් අවධානය දිනාගත් චරිතයකි. නෙතාරාට පණ පොවන ඇය ඕමන්දි වික්‍රමාරච්චිය. ඇය වඩාත් කතාබහට ලක්වුවේ මල් පිපෙන කාලේ ටෙලි නාට්‍යයේ චතුරිකාගේ චරිතයෙනි. සිරස නාළිකාවේ විකාශය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලි නිර්මාණයෙන් රංගනයට පිවිසි ඇය මේ වන විට විවිධ පැතිකඩ ඔස්සේ සිය දස්කම් පාමින් සිටින්නීය. 4චූන් RESIDENCY හරහා ලැබෙන උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාරත් සමඟින් ඇය අප හා කතාබහට එක් වූවාය.
“මල් පිපෙන කාලේ චතුරිකාට ලැබුණු ප්‍රතිචාර වගේම 4චූන් RESIDENCY හි නෙතාරටත් මේ දිනවල ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. නෙතාරා කියන්නෙ ඇඩ්වටයිසින් ෆර්ම් එකක වැඩ කරන දඟකාර යුවතියක්. නෙතාරා ඒකෙ බොස් එක්ක සම්බන්ධයක් ඇති කර ගන්නවා. ඔහු කසාද බැඳපු කෙනෙක්. එන ප්‍රශ්නත් එක්ක අන්තිමට එයා ආයතනයෙන් අයින් වෙනවා. වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නෙ බැණලා තමයි. ඒ කියන්නේ ඒ චරිතයට මගෙන් සාධාරණයක් වෙලා තියෙනව කියල මට හිතෙන්නෙ. චරිතයකට ප්‍රේක්ෂකයන් බණිනව නම් ඒක එයාලගෙ හිතට දැනිලා. බැඳපු කෙනෙක් එක්ක යාළු වුණා කියලා තමයි බණින්නෙ. නෙතාරව ඔවුන්ට දැනුණ නිසා තමයි ඔවුන් මට බණින්නෙ. ඒ ගැන නම් මට සතුටුයි.” “4චූන් RESIDENCY තිර රචනය සහ අධ්‍යක්ෂණය සුපුන් රත්නායකගෙ. මං ඔහු හඳුනගන්නෙ මීට කලින් කරපු ඔහුගේ ‘තප්පරයක් දෙන්න‘ කියන ටෙලි නාට්‍යයේදි. 4චූන් RESIDENCY එකට ආරාධනා ලැබෙන්නෙ එහි හිටපු ප්‍රොඩියුසර් චතුර අයියගෙන්. නෙතාරා කියන්නෙ කතාව අවසානය දක්වා දිවෙන චරිතයක්.
4චූන් RESIDENCY හි රංගනයට පෙර ‘මල් පිපෙන කාලේ’හි චතුරිකා ලෙසින් ඇය මෙලෙසින්ම ප්‍රතිචාර ලැබුවා ප්‍රෙක්ෂක ඔබට අමතක නැතුව ඇති. ඇය මෙතෙක් ආ ගමන් මඟ ගැන මතකයත් අවදි කළා.
රාවණ 3 ෂූටින් දැකල තමයි තුෂාර තෙන්නකෝන් සර් මට මල් පිපෙන කාලේ චරිතයට ආරාධනා කරන්නේ. නමුත් මුලින් විකාශය වුණේ මල් පිපෙන කාලේ. ඒ චරිතය ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගියා. ඒ දවස්වල පාරෙ ගියත්, ෂොප් එකකට ගියත් ප්‍රතිචාර ලැබුණා. තුෂාර තෙන්නකෝන් සර්ව විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනෙ. මහේන්ද්‍ර පෙරේරා සර්ගෙන් රංගනය හදාරන කාලෙ හඳුන ගත්ත ධනුෂ්ක රත්නායකගේ ‘කියා දෙන්න ආදරේ තරම්’හි ටාෂි කියන චරිතය තමයි මාව ක්ෂේත්රයට ගෙනාවේ. ඒ කාලෙ ඉතින් ටීවී එකේ ඉන්නව දකිනව කියන්නෙ හරි ආසයි. ඒ වගේම හිත ළඟ හිනැහුණා ටෙලි නාට්‍යයේ කිරුළිගෙ යාළුවගෙ චරිතයත් කතාව පුරාම දිවෙන චරිතයක්. නීල පබළු, ඒ හීනේ වගේම ලොක්කි - 2 ටෙලි නිර්මාණයටත් රංගනයෙන් දායක වුණා. මල් පිපෙන කාලේ චරිතය ටිකක් නපුරුයි. 4චූන් RESIDENCYහි ප්‍රේමණීය චරිතයක් වුණාට අසම්මත බැඳීමක් නිසා ප්රේක්ෂකයන්ගෙන් වැඩිපුර ලැබෙන්නෙ බැණුම්. ඉදිරියෙදි චිත්‍රපටයක ප්‍රධාන චරිතයට සමගාමීව යන චරිතයකට ආරාධනා ලැබිල තියෙනවා. ඒ ගැන ආසාවෙන් බලාගෙන ඉන්නවා.”
ස්වර්ණවාහිනී අවුරුදු කුමරිය තරගයෙන් පසුව රංගනය කෙරෙහි ආසාව වැඩි වීමත් කලාවට පිවිසීමට ප්‍රවේශයක් වූ බවයි ඕමන්දිගේ අදහස.
“මගේ ගම නුවර. ස්වර්ණවාහිනී අවුරුදු කුමරිය අවසන් 12 දෙනා අතරට එන්න ලැබුණා. එතැනදි රංගනයට තිබුණු ආසාව තවත් වැඩි වුණා. පාසල් යන කාලෙ ඉඳන්ම මං ඩ්‍රාමා කළා. හොඳම නිළියට හිමි සමස්ත ලංකා
ජයග්‍රහණ පවා හිමි කරගෙන තියෙනවා. මුලින්ම මං ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙ රැකියාවක් කළා. පස්සෙ ඒකෙන් අයින් වෙලා මානව සම්පත් කළමනාකරණ ඩිග්‍රිය සම්පූර්ණ කරලා වෙනත් රැකියාවකට යොමු වුණා. රැකියාව කරන අතරේ තමයි රංගන කටයුතුවල නියැළෙන්නේ.” සුප්‍රියා අබේසේකරගේ අලුත්ම ගීතයක මියුසික් වීඩියෝව සඳහා රංගනයෙන් දායක වෙන්න ආරාධනා ලැබුණා. රූපවාහිනී වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් දායක වුණා. රංගනයට අමතරව නිරූපිකාවක් විදිහටත් කටයුතු කරනවා.
හොඳට නරකට දෙකටම බලපාන සමාජ මාධ්‍ය තමයි ඕමන්දිට රුවිඳුව මුණගස්වල තියෙන්නේ. ඒ සුන්දර හමුවීම ගැනත් ඇය අප හා පැවසීමට අමතක කළේ නැහැ.
“රුවිඳුගෙයි මගෙයි ආදර කතාව ඇරැඹෙන්නේ මුහුණු පොතින්. එයා කලාවට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. ෆේස්බුක් එකෙන් දැකලා, කතාබහ කරලා තමයි ආදරේ කරන්න පටන් ගත්තේ. යාළුවොත් එක්ක නිකන් විනෝදෙට වගේ පටන් ගත්ත අපේ සම්බන්ධය විවාහය දක්වා යාවි කියල නම් හිතුවෙ නෑ. අන්තිමට ඒක එහෙම වුණා. ඒ කාලෙ මං ෆොටෝ ෂූට් විතරයි කළේ. මුලදි නම් එයා මං රංගනයට එනවට කැමැති වුණේ නෑ. ඔය අතරෙ මං මිසිස් ශ්‍රී ලංකා පැජන්ට් එකකට ගියා. එතැනදි ගොඩක් අය අඳුනගෙන එතන පෆෝමන්ස් දැකලා ඊට පස්සෙ කැමැති වුණා. දැන් නම් එයාගෙන් තමයි ලොකුම සහයෝගය ලැබෙන්නේ.“