මම මාසේ වියදම හොයාගන්න රඟපාන නළුවෙක් නෙමෙයි | Page 2 | සිළුමිණ

මම මාසේ වියදම හොයාගන්න රඟපාන නළුවෙක් නෙමෙයි

රූපය, කටහඬ, නම කොයි කවුරුත් හඳුනන කෙනෙක් කරන්නේ ඔවුන් තුළ තිබෙන විවිධ දක්ෂතා හේතුවෙන්. කංචන කොඩිතුවක්කු කියන්නේ දැක්කත් නොදැක්කත් තවමත් ජනතාවගේ හදවතේ ඉන්න දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඒ වගේම රූපවාහිනී නාලිකාවක ප්‍රධාන තනතුරක් හොබවන චරිතයක්. ඉඳහිට රූපවාහිනීයෙන් දකින්න ලැබෙන ඔහු ගැන කතා කරන්න හිතුවා. ඔහුගේ දක්ෂතාවලට ආදරේ කරන ආදරනීය හිත් වෙනුවෙන් ඔහු ගැන කලකට පසුව ලියැවෙන තොරතුරුයි මේ.

කංචන කොඩිතුවක්කු කියන නළුවාට මොකද වුණේ ..?

අවුරුදු එකහමාරකට විතර කලින් තමයි මම නිර්මාණයකට සම්බන්ධ වුණේ. ඒ ස්වර්ණවාහිනියේ විකාශය වූ පාලි ටෙලි නාට්‍යයට. ඊට පස්සේ නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ. වැඩවලට නම් ආරාධනා ලැබෙනවා. නමුත් පිටපතක් හරියට ලැබෙන්නේ නැහැ. නිර්මාණ කටයුතු කොහොමද කෙරෙන්නේ කියලා හරි තීරණයක් නැහැ. ඒ වගේම ඇතැම් අධ්‍යක්ෂවරුන්ට සීන් එකේ පොයින්ට් එක මම කටින් කියන්න ඕන. ෂොට් එකක් ඉවර කළාට පස්සේ අධ්‍යක්ෂක කට් කියන්නේ නැහැ, අපි ඒක මතක් කරන්න ඕන. ඒ වගේ විනයක් නැති ක්‍රියා නිසාත් නාට්‍ය ගැන කලකිරීමක් තියෙනවා. මම කොහොමත් මාසේ වියදම හොයාගන්න රඟපාන නළුවෙක් නෙමෙයි. ඒ නිසා හොඳ නිර්මාණයක් ලැබුණොත් විතරයි මම රඟපාන්නේ. හොඳ වැඩක් කළොත් වටිනාකම වැඩියි. එහි අගයක් තියෙනවා. හොඳ නිර්මාණ භාර ගන්න හේතුවත් රංගන ශිල්පියෙක් හැටියට ප්‍රොෆයිල් එකට යමක් එකතු කර ගන්න ඕන නිසයි.

රූපවාහිනි නාලිකාවක ප්‍රධානියෙක් වීමත් රංගනයට එක්තරා විදිහට බලපානවා ඇති..?

සුප්‍රිම් ටීවි එකේ ප්‍රධාන විධායක නිලධාරි හා නාලිකා ප්‍රධානි විදිහට රාජකාරි කටයුතු කරනවා. සමහර නිර්මාණකරුවන් මට ආරාධනා කරනවා නාට්‍යවල රඟපාන්න ඒ නාට්‍ය සුප්‍රිම් ටිවි එකේ විකාශය කරවන්න පුළුවන් කියන බලාපොරොත්තුවෙන්. මම නාට්‍යයකට සම්බන්ධ වුණත් මම සම්බන්ධ වෙන නාට්‍ය මේ නාලිකාවේ විකාශය කරන්න මම ඉඩ දෙන්නේ නැහැ. ඒක හොඳ දෙයක් නොවන නිසා. අනිත් කාරණාව මම ඉන්නවා නම් අනෙකුත් නාළිකා ඒ නිර්මාණ ඒ ඒ නාළිකාවල විකාශය කිරිම ප්‍රතික්ෂේප කිරීමකුත් තියෙනවා. ඔය වගේ අසාධාරණ හේතුත් නැතුවම නෙමෙයි. නමුත් මම ප්‍රතිපත්තියක් විදිහට සම්බන්ධ වෙන්නේ රඟපෑමක් කරන්න පුළුවන් හොඳ නිර්මාණ විතරයි කියන එකත් කියන්න ඕන.

 

කලාත්මක ටෙලි නාට්‍ය හෝ සිනමාපට ඔබ විසින් අධ්‍යක්ෂණය කර කර්මාන්තයට මුදා හැරියොත් ඔය ගැටලුවට විසඳුමක් ලැබෙන්න පුළුවන් වෙයි කියලා හිතන්නේ නැද්ද ..?

මම රංගන ශිල්පියෙක්. එනිසා අධ්‍යක්ෂණ කටයුත්තක් ගැන හිතන්නේ නෑ. නිර්මාණයක් අධ්‍යක්ෂණය කළත් එය සිල්ලර විදිහට කරන්න බැහැ. ලංකාවේ ආර්ථිකයත් එක්ක ප්‍රශ්න එනවා. මම සමහර නිර්මාණවල රූගත කිරිම්වලදි කන කට්ට අපහසුතාවය මගේ ආදරණීය කලාකරුවන්ට දෙන්න බැහැ. ලංකාවේ කලාකරුවන් ගේ කොඳු නාරටිය කඩලා තියෙන්නේ. කලාකරුවන් මේසන් බාස්ගේ අත් උදව්කරුවන් මට්ටමට දාලා තියෙන්නේ, වැඩ කරන පැය ගණන තීරණය කරන්න කලාකරුවන්ට අයිතියක් නැති මට්ටමක් තියෙන කාලයක අපි මොනවද ඩිලිවර් කරන්නේ කියලා ප්‍රශ්නයක් එනවා. අපි කරන නිර්මාණ එළිදක්වන්න ක්‍රමයකුත් තියෙන්න ඕන. ඒ වගේ පසුබිමක අධ්‍යක්ෂණය ගැන හිතන්න බැහැ. අපි කරන නිර්මාණ කාගේ හෝ කළු සල්ලි සුදු කර ගැනීමක් වෙයි. එහෙම නැත්තම් ඉන්කම් ටැක්ස් එකෙන් බේරෙන්න ඒ අයට අපි හවුල් කරුවෝ වෙයි. එහෙම වෙන්න අවශ්‍ය නැහැ.

 

කාලයක් කලාව වෙනුවෙන් හඬ නැඟූ කලාකරුවන් කිහිප දෙනෙකුගෙන් කෙනෙක් ඔබ..?

අපි ලංකාවේ දැවැන්තයින් එක්ක එකතුවෙලා වැඩ කරපු යුගයක් තියෙනවා. ඈත ගමකට ගියොත් ඒ ගම්වල ආදරණීය මිනිස්සු මට තවමත් කතා කරන්නේ ඒ කාලේ ගිය නාට්‍යවල රඟපෑ චරිතවල නමින්. ඒ නාට්‍ය විකාශය වෙලා අවුරුදු විසිපහක් විසි අටක් ඇති. ඒත් ජනතාවගේ හදවතේ ඉන්නවා. ඒ තරම් හොඳ නිර්මාණ බිහි වූ යුගය නැති වෙද්දී ඒ ගැන කතා කරපු අවස්ථා තියෙනවා. ඒ නිසා මට වගේම ඒ වෙනුවෙන් කතා කළ තව රංගන ශිල්පීන්ට අවස්ථා නොලැබෙන්න හේතු වුණා.

 

කංචන කොඩිතුවක්කු කියන්නේ දැක්කත් නොදැක්කත් තවම ජනප්‍රිය තරුවක් ..?

ඒකට හේතුව ඒ කාලේ කරපු චරිතවල බලය කියලා හිතන්නේ. ඉස්සර ලියුම් පෝස්කාඩ්වලින් ප්‍රතිචාර ලැබෙද්දි දැන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර ලැබෙනවා. ඒ කාලේ ඉස්කෝලේ ඉස්සරහා රුපියල් පහට පොකට් කාඩ් අලෙවි කළා. ඒවයේ මගේ රූප ගියා. උපන් දිනේට කාඩ් එවනවා. අදටත් කතා කරලා විෂ් කරන රසිකයින් ඉන්නවා. ඒ මතක හරි සුන්දරයි.

කංචනව ඉස්සර රූපවාහිනීයෙන් නිතරම දැක්ක කෙනෙක්. ප්‍රවීණයෙකුගේ ඔවදනක් හිතට වැදුණු ඔබ ඔබටම වාරණයක් දා ගන්නවා. ඒ රසබර කතාව ගැනත් කියමු..?

මම අවුරුදු 19 දි තමයි කලාවට එන්නේ. 2005 වර්ෂයේ ඉඳලා 2007 දක්වා නොකඩවා දවස් හතේම රෑ 7.30 ඉඳලා රෑ 9.30 වෙනකල් මම රඟපෑ නාට්‍ය විකාශවුණාය. ඒ කියන්නේ මාව නිතරම පේනවා. වැඩත් වැඩියි. ලැබෙන හැම නිර්මාණයකම රඟපෑවා. දවසක් ගාමිණී ෆොන්සේකා මහත්මයාව මුණ ගැහුණා. එතුමගේ ඇසිස්ටන් එතුමාට මාව හඳුන්වලා දුන්නේ දැන් නිතරම පේන්න ඉන්න නළුවෙක් කියලා. එතකොට එතුමා "අහ් ඇත්තද?" කියලා මාත් එක්ක කතා කරලා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. "දැන් කියන්න බලන්න ජාතික රූපවාහිනීයේ ලාංඡනය ටීවී එක දැම්මම මොන පැත්තෙද තියෙන්නේ කියලා.මට දකුණද වමද කියලා ෂුවර් නැහැ. මට දාඩිය දාලා ටිකක් වෙලා කල්පනා කළත් උත්තර දෙන්න බැරි වුණා. එතුමා කිව්වා "කොච්චර නාට්‍යවල රඟපාලා නිතරම පේන්න හිටියත් ඔය වගේ තමයි කාලයක් යද්දී අගයක් නැතුව යනවා" කියලා. ඒ කතාව අහලා ඊට පස්සේ මම තීරණය කළා මම සීමිතව රඟපානවා කියලා. එතුමා ජීවත් වෙලා ඉන්නකල් මම එතුමාව ළඟින් ආශ්‍රය කළා. ඒ වගේ දැවැන්තයින්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වුණ එකත් වාසනාවක්.

 

කාර්‍යබහුල ජීවිතේ එක්ක පුද්ගලික ජීවිතේ විඳින්න ඉඩක් තියෙනවා ද ..?

වෙලාව හදා ගන්නවා. පුද්ගලික ජීවිතේ විඳිනවා. මට ඉන්නේ දුවක්. එයාගේ වයස අවුරුදු 10යි. නම කිෂෝරී. එයාව පාසලට ගෙනියන්නේ මම. පාසලේදි මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මගේ දුව කියලා බොහෝ අය දන්නවා. දුව අහනවා ඇයි තාත්තා ගැන මෙච්චර කතා කරන්නේ කියලා. මම කියන්නේ හොඳ වැඩ කළොත් හැමෝම කතා කරයි කියලා. සියල්ල කළමනාකරණය කරගෙන අපි ජීවිතේ විඳිනවා.

 

කලාවට දියණිය ගේ කැමැත්ත කොහොමද ..?

එයාගේ රස වෙනස්. බුද්ධිමත් දරුවෙක්. මේ දවස්වල ආනන්ද අබේනායක මහතාගේ රම්‍ය සුරම්‍ය නරඹනවා. හොඳ ෆිල්ම්ස් බලලා ඒවා ගැන අර්ථකථන දෙනවා. දවසක් මම ජැක්සන් ඇන්තනී හා කමල් අද්දරආරච්චිට ඇමතුමක් අරන් දුන්නා බලපු ෆිල්ම් ගැන එයාලා එක්කම කතා කරන්න කියලා. සිංදු වුණත් රස විඳින්නේ අර්ථාන්විත ගීත. ඒවා අහද්දි මටත් එයා ගැන පුදුමයි.

 

බිරිඳ ගැනත් කතා කරමු, ඈ ගුවන් සමාගමක වැඩ කරද්දී ඔබට හඳුනා ගන්න ලැබෙන්නේ. ඒ අතීතය සුන්දර ඇති..?

මම ජනප්‍රියම කාලේ තමයි ඇයව මුණගැහෙන්නේ. විදෙස් සංචාර අතරතුර මුණ ගැහිලා කතාබහ කරලා ආදරේ කරනවා. ඊට පස්සේ තමයි විවාහ වෙන්නේ. හොඳ අවබෝධයක් ඇතුව ජීවත් වෙනවා ඇයත් එක්ක. එදා වගේම.

 

ඔබේ ජනප්‍රියත්වය ඇයට බලපෑම් කළ අවස්ථාත් ඇති. ඒ අවස්ථාවල ඇගේ හැසිරීම් කොහොමද ..? කතාව අවසන් කරන්න කලින් ඒ ගැනත් කියමු..?

ආදරේ කරන්න පටන් ගනිද්දි එයා දන්නවා මම රඟපාන බව. මම කවුද කියන එක ඒ කාලේ පත්තරවල ගිය ආර්ටිකල්වලින් කියවලා දැනගෙන තිබුණා. නමුත් අපි කොච්චර හොඳට හිටියත් බැඳීම් ස්පොයිල් කරන්න පුළුවන් එක එක විදිහට. ඒ නිසා මම එයාට මුලින්ම කිව්වා මම ගැන කවුරු කොහොම කිව්වත් ඒවා අහලා කලබල නොවී ඒ ගැන මාත් එක්ක කෙළින් කතා කරන්න කියලා. එයාට කිහිප වතාවක්ම කෝල් කරලා කංචන මේ වෙලාවේ අර නිළිය එක්ක අහවල් තැන ඉන්නවා කියලා තිබ්බා. මුල්ම කෝල් එක එයාට ආවට පස්සේ එයා අපේ ගෙදරට කෝල් කරලා තිබ්බා. මම ෂූටිං ඉවර වෙලා මහන්සියට නිදාගෙන හිටියේ. මම ගෙදර කියලා එයා දැනගත්තට පස්සේ එයාම තේරුම් ගත්තා ඒ කතා බොරු කියලා. ඔය වගේ සිදුවීම් ජනප්‍රිය බොහෝ දෙනෙකුට සිදු වෙලා තියෙනව. ඒවා තේරුම් අරන් ජීවත් වෙන්න කියලා මම මුලින්ම එයාට කිව්වා. ඒ නිසා පසුකාලීනව ප්‍රශ්න ආවේ නැහැ. ඒ තේරුම් ගැනීම නිසා අපි දෙන්නා දැන් අවුරුදු 11ක් සතුටින් පවුල් ජීවිතේ ගෙවනවා කියලා කියන්න පුලුවන්.

Comments