විවාහයට තීරණාත්මක වන කුජ - ශුක්‍ර බලය | Page 2 | සිළුමිණ

විවාහයට තීරණාත්මක වන කුජ - ශුක්‍ර බලය

විවාහ වීමට පෙර අපේ සමාජය තුළ විශේෂයෙන්ම බෞද්ධයන් අතර පොරොන්දම් බැලීම සිදු කරනු ලබයි. පොරොන්දම්වලට පමණක් මුල් තැනක් දීම නිසා සමහර විට විවාහය අසාර්ථක වන අවස්ථා ද බෙහෙවින් ඇත. යුග දිවියට එළැඹෙන අයගේ, විශේෂයෙන්ම ශාරීරික පැවැත්ම ගැන ගැඹුරින් පරීක්ෂා කර බැලීම වැදගත්ය.

බටහිර ක්‍රමයට නම් දෙදෙනාගේම රුධිරය පරීක්ෂා කිරීමේදී ගැළපීම් කවර ආකාරයකට දැයි නිගමනය කිරීමට හැකි වේ. එක් අයෙකු ශාරීරික බෙලහීනතාවකින් පෙළුණහොත් එය විවාහයට බලපෑම් කෙරේ. කෙතරම් පොරොන්දම් පෑහුණත් විවාහය සාර්ථකත්වයට පත් නොවේ.

සඳු නීච වී අඟහරුගේ දෘෂ්ටියක් ලැබීම කෙනෙකුගේ කාමාග්නියට හේතු කාරක වන්නේය.

සකට යෝගය ද සුදුසු නැත. සිකුරු නීච වීමෙන් පහත් ඇසුරට වැටේ. ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම කේන්දරවල 5 - 7 අධිපති ග්‍රහයන් නවාංශක ගණයට අයත් නම් 100% පොරොන්දම් ගැළපුණත් විවාහය අසාර්ථක වේ. 7 වැන්නේ නවාංශකයක සිටීම ද අසුබයි.

නවාංශකයේ කුජ ශුක්‍ර පරිවර්තනය වී ඇත්නම් ඔහු හෝ ඇය බහු සේවනයකට යයි. සඳු ශුක්‍ර නීච වීම ද එයට තදින්ම බලපෑම් ඇති වේ.

රූප සටහන 1න් පෙන්වා ඇති ජන්ම පත්‍ර හිමියාගේ 7 අධිපති ශුක්‍ර කුජ සමඟ පරිවර්තනය වී ඇති අතර, නවාංශකයේ ගුරු ශුක්‍ර පරිවර්තනය වී ඇත.

අයථා සබඳතා වහා ගොඩනඟා ගනී. සිකුරු චර රැසක සිට ලග්නය දැකීමත් සඳුගේ එක්වීමත් හරහා බහු විවාහයන්ට ලක් වේ. 7 අධිපතියා හෝ විවාහ කාරක ශුක්‍ර උභය රැසක නම් බහු විවාහයකට මඟ පෑදේ. පොරොන්දම් ගැළපුණ ද 'අතිධාවන කාම යෝගය' නිසා ඔහු හෝ ඇය විරුද්ධ සමීප සබඳතාවලට යනු ඇත. කුජ ශුක්‍ර චන්ද්‍ර - කුජ චන්ද්‍ර - ශුක්‍ර මේ යෝගයන්ය. එහෙත් සඳු ශුක්‍ර කුජ ශුභයින්ගේ නැකතක සිටියේ නම් එය අතිධාවන තත්ත්වයේ නැත.

වර්තමානය වන විට විවාහය කඩා බිඳ වැටීමට හේතුවක් වී ඇත්තේ වෙනත් සබඳතා ගොඩනැඟීම නිසාය. 6 වැන්නාධිපති 7 වැන්නේ සිටියදී පාපී පෙනීමත් ශුක්‍ර පාපී රැසක වීමත් 6 අධිපති සමඟ යෝග වූ 7 අධිපතියා දුෂ්ට රාශියක වීමත් 6 අධිපති 6 සිටියදී 22 වැනි දෙර්කාණාධිපති සමඟ යෝග වීමත් ඉහත තත්ත්වයට මඟ පෑදේ.

රූප සටහන දෙකෙන් නිරූපිත කේන්දරය හිමි විවාහක කාන්තාවගේ යුග දිවිය විනාශ වූයේ අනිසි ඇසුරක් නිසාය. මෙහි 8 අධිපති ශුක්‍ර 7 වැන්නේ නීච වී ඇත. බුධට පෙනේ. වෘශ්චිකය තුළ සඳු සිටීම නිසා එවැනි මඟට ගියාය. ශනිගෙන් 7 කුජ පිහිටීම ද විවාහයට අසුබය. සිකුරු රාශියත් නැකතත් ඇගේ යුග දිවියට අහිතකර විය. පුරුෂ කේන්දරයේ ශුක්‍ර ස්ත්‍රී කේන්දරයේ කුජ එකම රැසක පිහිටියේ නම් දෙදෙනාම ආකර්ෂණය වේ. 1 කේන්ද්‍රස්ථානයක හෝ ත්‍රිකෝණ ස්ථානයක නම් වඩාත් දැඩි බැඳීමක් සිදු වේ.

විවාහය කුජ ශුක්‍රයේ බලය හරහා තීරණය වේ. විවාහ කාරක සිකුරු දුෂ්ට රාශියක හෝ දුෂ්ට රාශි අධිපතියකු සමඟ යෝග වීම 7 අධිපති දුෂ්ට අධිපතියෙකුගේ නැකතක වීම නිසා විවාහයට අශුභ පල ගෙන දේවි.

කේන්දර දෙකෙහි මෙකී ග්‍රහ දෝෂ තිබේ නම් පොරොන්දම් කොපමණ ගැළපුණත් දෙදෙනා අතර අසමගිය අමනාපය අසමානතාව ඇති වේ. සියයට සීයක්ම ගැළපෙන කේන්දර දෙකක් සෙවීම දුෂ්කරය. එනිසා අවම බලපෑම් සහිත කේන්දර හිමියන් තෝරාගත යුතු වේ. ගැළපීම නොව බුද්ධිමත්ව ගළපා ගැනීම අනිවාර්ය වේ. එය තෙවැනි ඇසින් බලා කළ යුත්තකි.

 

Comments