මිනිස් අස්ථි බද්ධයට හරක් කටුවලින් පිළිතුරක් සෙවූ මහාචාර්ය ප්‍රසන්න | Page 3 | සිළුමිණ

මිනිස් අස්ථි බද්ධයට හරක් කටුවලින් පිළිතුරක් සෙවූ මහාචාර්ය ප්‍රසන්න

විකලාංග වෛද්‍ය විද්‍යාවේ නව පෙරළියක් සනිටුහන් කරමින් මිනිස් අස්ථි බද්ධ කිරීමේදී අත්‍යවශ්‍ය වන මිල අධික අමුද්‍රව්‍යයක් වෙනුවට ගව ඇටකටුවලින් නිෂ්පාදිත Bone graft material විශේෂයක් නිපදවීමට ජනරාල් සර් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලාංකික පර්යේෂකයකු වන මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාස සමත් වී ඇත.

මේ පිළිබඳව පැහැදිලි කර දෙමින් මහාචාර්ය ප්‍රසන්න පවසන්නේ “අස්ථි බිඳීමකදී අස්ථි දෙකක් අතර පරතරයක් පවතින අවස්ථාවලදී ස්වභාවිකව අස්ථි සවි වීමක් සිදු නොවෙයි. එවැනි අවස්ථාවලදී එම පරතරය පියවා ගැනීම සඳහා යම් අමතර ද්‍රව්‍යයක් යෙදිය යුතු වෙයි. එවැනි ද්‍රව්‍යයක් මේවන විටත් වෙළෙඳපොළේ පවතින අතර ඒවා ඉතාමත් මිල අධික වෙයි. මේ නිසා නවසීලන්තයේ ඔටාගෝ, විශ්වවිද්‍යාලය සමඟ සහයෝගයෙන් පර්යේෂණයක් සිදු කර අස්ථි බද්ධ කිරීමේදී සහනදායි මිලකට අමුද්‍රව්‍ය ලබාදීමට හැකි වන ආකාරයෙන් මේ ගව ඇටකටු මඟින් අමුද්‍රව්‍යක් නිපදවීම සිදු කර ඇති බව ඔහු පවසයි. 

සාමාන්‍යයෙන් අස්ථි බද්ධ කිරීම සඳහා භාවිතයට ගැනෙන ආනයනික අමුද්‍රව්‍ය මිලදී ගැනීම අසීරු කාර්යයකි. ආර්ථික වශයෙන් ඉතා අර්බුදයක පවතින මේ අවස්ථාවේ රජයට මෙවැනි අස්ථි බද්ධයකදී දැරීමට වන පිරිවැය අතිවිශාල වෙයි. මේ ගව ඇටකටුවලින් ඔවුන් විසින් නිපදවන මෙම Bone graft material සාධාරණ මිලකට ලබාදිය හැකි බව මහ­ාචාර්යවරයාගේ අදහසයි. අතීතයේ ගවයන්ගෙන් ලබාගත් අස්ථි භාවිත කර අමුද්‍රව්‍ය නිපදවීමේදී හරක් කටුවල ඇති (Prion) නමැති අහිතකර ප්‍රෝටීනය මිනිස් ශරීරයට සම්ප්‍රේෂණය වී ස්නායු විකෘතිතා ඇති වීම ගැටලුවක්ව පැවති බව මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාස පැවසීය. නවසීලන්තයේ ඔටාගෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සමඟ ජනරාල් සර් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සමීප සහයෝගීතාවෙන් නිපදවූ මෙම නව නිෂ්පාදනයේදී Prion නමැති අහිතකර ප්‍රෝටීනය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සිදු කර ඇත. මෙම නව නිෂ්පාදනය විකලාංග වෛද්‍ය විද්‍යාවේ නව පෙරළියක් ලෙස ඔවුන් සලකන්නේ එහෙයිනි. ඉදිරියේදී මෙම අමුද්‍රව්‍ය අස්ථි බද්ධ කිරීම් සඳහා භාවිත කිරීමට අවශ්‍ය වන නිත්‍යනුකූල අවසරයන් ලබා ගැනීමට මහාචාර්ය ප්‍රසන්න බලාපොරොත්තු වෙයි. ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසරය ලද වහාම මෙරටේ රෝගීන් සඳහා ද මෙය යොදා ගැනීමට කටයුතු කළ හැකි වෙයි.

මෙරට ජනගහනයෙන් විශාල පිරිසක් මෙවැනි අස්ථි පීඩාවකදී මූල්‍යමය බාධා හේතුවෙන් උසස් තත්ත්වයේ අස්ථි බද්ධ කිරීමේ ද්‍රව්‍ය සඳහා යොමු විය නොහැකි තත්ත්වයකට පත්ව ඇත. මෙය අස්ථි බිඳුණු ලොව පුරා ජනතාවට ධනාත්මක බලාපොරොත්තුවක් ඇති කිරීමෙහිලා දැවැන්ත පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙය හැඳින්විය හැකියි. වසර ගණනාවක් කැප වී පර්යේෂණ, අත්හදා බැලීම් සහ සියුම් විශ්ලේෂණවලින් පසුව, මහාචාර්ය ප්‍රසන්න සහ එම පර්යේෂක කණ්ඩායම් විසින් අපේක්ෂිත අස්ථි බද්ධ කිරීමේ අමුද්‍රව්‍යය එළිදක්වන ලදී.

“මම සෙව්වා මට මෙවැනි දෙයක් කිරීමේ අවකාශය ඇති පර්යේෂණාගාර පවතින්නේ කිනම් රටවල ද කියලා. එහිදී තමයි මම දුටුවේ මෙවැනි පර්යේෂණ නවසීලන්තයේ ඔටාගෝ විශ්වවිද්‍යාලයේ සිදු කෙරෙන බව.

ඒ අනුව මම එම පර්යේෂණ විභවයන් ඇති පහසුකම් සහ නවීන තාක්ෂණය ඇති නවසීලන්තයේ ඔටාගෝ විශ්වවිද්‍යාලයත් සමඟ ඒකාබද්ධ පර්යේෂණයක් සිදු කිරීමට කටයුතු කළා යැයි මහාචාර්ය ප්‍රසන්න පවසයි. පුළුල් පරීක්ෂණ සිදු කිරීමකින් අනතුරුව ඔවුන් විසින් නිපදවන ද්‍රව්‍ය ගුණාත්මකව සහ සඵලතාවය වැඩි බව සැකයකින් තොරව සනාථ වී ඇත. වෙළඳපොළේ පවතින ද්‍රව්‍ය සමඟ සැසඳීමේදී මේ පර්යේෂණය මඟින් සකස් කරන ලද අස්ථි බද්ධ කිරීමේ අමුද්‍රව්‍ය ද වෙළෙඳපොළේ පවතින අමුද්‍රව්‍යවලට සමාන බව එහිදී තහවුරු වී තිබේ. මෙමඟින් ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා දහස් සංඛ්‍යාත රෝගීන්ට දැරිය හැකි මිලකට අස්ථි බද්ධ කිරීමේ අමුද්‍රව්‍ය ලබාගැනීමේ හැකියාව ලැබීම මෙරටට විශාල ජයග්‍රහණයකි.

“අස්ථි බිඳීමකදී එම අස්ථී දෙක බිඳුණු ස්ථානය අතර පරතරයක් ති‍බුණොත් ස්වභාවිකව එය නැවත සකස් වෙන්නේ නැහැ. එය යථා තත්ත්වයට පත් කරන්න අස්ථි දෙක අතර යම් කිසි ද්‍රව්‍යයක් යොදන්න වෙනවා. ඒ පරතරය පියවා ගැනීමට තියෙන ද්‍රව්‍ය දැනටත් වෙළෙඳපොළ තියෙනවා. ඒවා මිල අධිකයි. පවතින ආර්ථික වටපිටාවත් සමඟ නිදහස් සෞඛ්‍ය සේවාවක් තියෙන රටක මේ වගේ ප්‍රතිකාර ක්‍රමයක් කිරීමේදී රජය අපහසුවට පත්වෙනවා. මේ නිසා විවිධ කරදරවලට රෝගීන් ලක් වෙනවා. මෙයට පිළියමක් ලෙස මම කල්පනා කළා; මේ අමුද්‍රව්‍ය වෙළෙඳපොළේ තියෙන අමුද්‍රව්‍ය හා සමාන අමුද්‍රව්‍ය ගුණාත්මකව දේශීයව අඩු මිලකට හදා ගැනීමට. නවසිීලන්තයේ ඔටාගෝ විශ්වවිද්‍යාලයත් සමඟ එකතු වෙලා මම එවැනි අමුද්‍රව්‍යයක් හැදුවා. හරක් ඇටකටු යොදා ගනිමින් මම හදපු අමුද්‍රව්‍ය ස්වභාවික අමුද්‍රව්‍යයක්; මේ අමුද්‍රව්‍යවල නැවත ඇට මිදුළු බද්ධ කිරීමේදී එහි ඇති හැකියාව අනෙක් ද්‍රව්‍ය හා සැසඳීමේදී වැඩි ප්‍රවණතාවක් තියෙනවා. වෙළෙඳපොළේ පවතින අමුද්‍රව්‍යවලට වඩා මෙය සාර්ථකයි. එය පර්යේෂණ මඟින් තහවුරු කරගෙන තියෙනවා. මේ සඳහා අමෙරිකානු පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට ඔටාගෝ විශ්වවිද්‍යාලයත් සමඟ එකතු වී දැනටමත් අයැදුම් කරලා තියෙනවා. මේ වනවිටත් මූලික සුදුසුකම් ලැබිලා තියෙනවා. සම්පූර්ණ පේටන්ට් බලපත්‍රය තවම ලැබිලා නැහැ. මූලිකව සොයා බැලීමෙන් අනතුරුව එය ලබා දීමට ඔවුන් කටයුතු කරයි. දේශීය වශයෙන් තවමත් මෙය යොදාගෙන නැහැ. ඒ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අවසර ලබා ගැනීමෙන් අනතුරුව මෙය මෙරටේ ද භාවිත කළ හැකියි. මේ අමුද්‍රව්‍ය උපයෝගි කර ගනිමින් ඉන්දියාවේ දන්ත වෛද්‍ය ආශ්‍රිත සැත්කම්වලදී මේ ද්‍රව්‍ය උපයෝගී කරගෙන තියනවා. ඉන්දියාවේ ව්‍යවසායකයන් විසින් අවසර ගෙන මෙය ඒ රටේ ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙන බව ඔහු පවසයි. 

අතීතයේ ගවයන්ගෙන් ලබාගත් අස්ථි භාවිත කර අමුද්‍රව්‍ය නිපදවීමේදී බලපෑ ප්‍රධාන ගැටලු වූයේ එහි ප්‍රියෝන් සම්ප්‍රේෂණ ස්නායු විකෘතිතා රෝග ඇති කළ හැකි අසාමාන්‍ය ප්‍රෝටිනවලින් සමන්විත වීමයි. මේ ගැටලුවේදී බරපතළකම අවබෝධ කර ගනිමින් නවසීලන්තයේ ඔටාගෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම සහ ජනරාල් සර් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රසන්න සහයෝගීතාවෙන් ප්‍රියෝන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සහතික කර ඇත. ඒ සඳහා නව තාක්ෂණික ක්‍රම භාවිත කරන ලදී. අස්ථි බද්ධ කිරීමේදී දැඩි තත්ත්ව පාලනය යටතේ ප්‍රියෝන් නිදහස් කිරීම සිදුකර ඇත. ප්‍රියෝන් සම්ප්‍රේෂණය හා සම්බන්ධ සියලු අවදානම් තත්ත්යවක් ඉවත් කර අස්ථි බද්ධ කිරීමේ අමු ද්‍රව්‍යය ඉහළ ආරක්ෂිත තත්ත්වයකින් නිපදවා ඇත. ඒ පමණක් නොව එහි විශ්වසනීයත්වය පිළිබඳ රෝගීන් සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් ද සනාථ කරන ලදී.

මේ පර්යේෂණ කණ්ඩායම විසින් සොයාගත් මේ නව අමුද්‍රව්‍ය සෞඛ්‍ය සේවයේ යම් වෙනසක් ඇති කිරීමට මෙන්ම එය රටක් ලෙස ලබා ගත් ජයග්‍රහණයක් ලෙස ද සැලකිය යුතුය. මෙරට පමණක් නොව සෑම තරාතිරමකම ආර්ථික වශයෙන් අභියෝගාත්මක කලාපවල පවා අධික වියදම් දැරීමෙන් තොරව ගව අස්ථී මඟින් නිපදවන ලද මේ අමුද්‍රව්‍ය ලබාදිය හැකි වෙතැයි ඔවුන්ගේ අදහසයි. එය මෙරටට විදෙස් විනිමය ලබාදෙන අතර සෞඛ්‍ය සේවාව වෙනුවෙන් කරනු ලබන විශාල මෙහෙවරක් ද වන්නේ මෙය අති නවීන අස්ථි බද්ධ කිරීමේ ක්‍රමවේදයේ විශේෂ සන්ධිස්ථානයක් විය හැකි නිසාවෙනි. මෙය ශ්‍රීලංකාවේ පර්යේෂකයන්ට මෙන්ම වෙනත් රටවල පර්යේෂකයන්ට මෙවැනි සොයාගැනීම් පූර්වාදර්ශ සපයයි. මෙය ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම වඩා වැදගත් වන්නේ ඒ නිසාවෙනි.

ජනරාල් සර් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පර්යේෂක මහාචාර්ය ප්‍රසන්න සහ නවසීලන්තයේ ඔටාගෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමේ කැපවීමෙන් විකලාංග වෛද්‍ය විද්‍යාවේ සිතියම මෙසේ නැවත සකස් කිරීමක් සිදු කරන ලදී. ජනරාල් සර් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පර්යේෂක මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාසගේ (47) මව ඕවිටිගලගේ නන්දාවති විතානගේ වන අතර ඇය ගෘහණියකි. පියා කාරියවසම් ප්‍රේමදාස සමූපකාර ග්‍රාමිය බැංකු අභ්‍යන්තර විගණක ලෙස සේවය කෙරූවෙකි. ඔහුට එක් සහෝදරියක් පමණක් වෙයි. තිදරු පියෙක් වන මහාචාර්ය ප්‍රසන්නගේ බිරිය පූර්ණිමා රත්නායකයි.

ලොහස් සහ ලොහස්නා නිවුන් දරුවන්ය. කුඩා දියණිය දුලිති යන තිදරුවන් පාණදුර ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය හදාරයි. මහාචාර්ය ප්‍රසන්න කළුතර ඥානෝදය මධ්‍ය මහ විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඉන් අනතුරුව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට පිවිසෙයි. එහිදී ජීවවිද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා 1999 වසරේදී විශ්වවිද්‍යාල ප්‍රවේශය හිමිකර ගන්නා ලදී. පේරාදෙණීය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යාව පිළිබඳව විශේෂවේදි උපාධියක් ලබන ඔහු ඉන් අනතුරුව 2004 දී එංගලන්තයේ University of Hertfordshire වෙතින් පශ්චාත් උපාධිය හදාරුවේය.

ඔහු අනුක ජෛව විද්‍යාව පිළිබඳව වූ පශ්චාත් උපාධි අවසන් වසරේදී වැඩිම ලකුණු ලබා පළමුවැනි ස්ථානය හිමිකර ගත්තේය. ඒ හේතුවෙන් 2009 වසරේදී ආචාර්ය උපාධිය හැදෑරීමට එහිදී අවකාශය හිමි විය. නැවත 2013 ශ්‍රී ලංකාවට පැමිණෙන ඔහු ඉන් අනතුරුව කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ ෙෂ්ඨ කථීකාචාර්යවරයකු ලෙස සේවයට බැඳුණේය. හේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යා අංශ ප්‍රධානී ලෙස කටයුතු කරන ලද අතර ඉන් අනතුරුව තාක්ෂණ පීඨයේ පීඨාධිපති ලෙස 2020 වසරේ පත් විය.

ඔහු තාක්ෂණ පීඨයේ පීඨාධිපති ලෙස මේ වනවිට කටයුතු කරයි. ජෛව තාක්ෂණය මහාචාර්යවරයෙක් වන ඔහු ඉංජි‍නේරු, වෛද්‍ය, ජෛව විද්‍යාව යන බහුවිධ ක්ෂේත්‍රවල පර්යේෂණ සිදු කරයි. මේ ගව ඇට කටුවලින් නිෂ්පාදිත Bone graft material විශේෂය නිපදවීමට කළ පර්යේෂණය ද බහුවිධ ආකාරයේ පර්යේෂණයක් වෙයි. මහාචාර්ය ප්‍රසන්න මෙවැනි තවත් පර්යේෂණ රැසක නිමග්නව සිටී. මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව පෙරළියක් සටහන් කළ මහාචාර්ය ප්‍රේමදාස වැන්නන් තව තවත් අවැසි යුගයකි.

Comments