විවාහයත් එක්ක රංගනයට මට වාරණ දැම්මා | Page 2 | සිළුමිණ

විවාහයත් එක්ක රංගනයට මට වාරණ දැම්මා

වසුදා නාට්‍යයේ වසුදාගේ චරිතයට පණ පොවමින් බොහෝ දෙනාගේ හිතේ පැලපදියම් වූ ඈ වසන්ති ගුණරත්න. එංගලන්තයේ දරු දෙදෙනා එක්ක ජීවත් වෙන ඈට තවමත් බොහෝ දෙනෙක් ආදරේ කරනවා. විවාහයත් එක්ක රංගනයට සමු දුන් ඈ වසර විස්සකට පසුව රංගනයට දායක වෙනවා. ඒ අනිච්චාවත සංඛාරා නාට්‍යට. ඒ නාට්‍යයේ නිෂ්පාදකවරියත් ඇයයි. වසර ගණනාවකට පසුව ශ්‍රී ලංකාවට කෙටි නිවාඩුවකට ආ වසන්ති එක්ක රසඳුන අපි මේ විදිහට කතාබහක යෙදුණා.

වසන්ති අවුරුදු ගණනකට පසුව නිර්මාණයකින් දකින්න ලැබෙනවා. ඒ අනිච්චාවත සංඛාරා තුළින්. අපි මුලින්ම කතාබහට ඒ ගැන කියලා ආරම්භය ගමු..?

මම අවුරුදු විස්සක නිහැඬියාවකට පස්සේ තමයි ආයෙමත් රඟපාන්නේ. මම රඟපාන්න නෙමෙයි හිටියේ. ඇත්තම කිව්වොත් මම අනිච්චාවත සංඛාරා නාට්‍යයේ නිෂ්පාදනය කරන්න තමයි මුලින්ම සම්බන්ධ වෙන්නේ. නමුත් එහි අධ්‍යක්ෂක සුරංග ලක්මාල් මට කතා කළා රඟපාන්නත්. ලංකාවට ආපු නිසා රංගනයෙන් දායක වෙන්න කිව්වා. තවම මගේ කොටස් රූගත කළේ නැහැ . මේ මස අවසානයට පෙර එහි රූගත කිරිම් අවසන් කරලා මම ආයෙමත් විදෙස් ගත වෙන්න තමයි බලාපොරොත්තු වෙන් ආවේ. මගේ රඟපෑම් කොහොම වෙයි ද දන්නේ නැහැ. බලමු ඉතිං

 

ආයෙමත් එකපාරටම රඟපාන්න හිතුණේ විශේෂ හේතුවක් නිසා ද..?

මුලින් කිව්වා වගේ ආයෙමත් රඟපාන්න මගේ කිසිම වුවමනාවක් තිබ්බේ නැහැ. නමුත් මට ඕන වුණා මම රංගනයෙන් දායක වූ ක්ෂේත්‍රයට මම යමක් කළ යුතුයි කියලා. ඒක සෑහෙන කාලයක ඉදලා හිතේ තිබ්බ දෙයක් , විදෙස් ගත වෙලා හිටියත් මොනා හරි කරන්න ඕන කියලා හිතුවා. ඒ විදිහට තමයි අනිච්චාවත සංඛාරා නාට්‍යයේ නිෂ්පාදන කටයුත්ත මම භාර ගන්නේ. මම ලංකාවට එන්නේ රඟපාන්න බලාගෙන නෙමෙයි. රඟපාන්න ඕන නිසා මේ නාට්‍ය නිෂ්පාදනය කරන්න ඕන කියලා හිතුවෙත් නැහැ . නමුත් විකාශ කටයුත්ත ප්‍රමාද වුණා. මම හිතුවේ මම එද්දී නාට්‍යයේ වැඩ අවසන් වෙලා තියෙයි කියලා. නමුත් තවත් කොටස් කිහිපයක් රූගත කරන්න තියෙනවා. ඉතිං සුරංගගේ ඉල්ලුම මත කොටස් කිහිපයකට සම්බන්ධ වෙනවා. ඒ ගැන හරි සතුටු යි.

 

හැමෝටම අමතක වෙන්න ඉඩ දීලා ආයෙමත් පුංචි තිරයට ආවම ලැබුණු ප්‍රතිචාර කොහොමද ..?

මම ලංකාවට ඇවිත් මගේ ගමේ ගියා. ඒ පැත්තෙන් මට ලොකු ප්‍රතිචාරයක් ලැබුණා. පරේ තොටේ ගියත් අඳුරගෙන තවමත් කතා කරන අය ඉන්නවා. මගේ රූපයෙන් වගේම කට හඬින්. මම පිටුපාලා හිටියත් හඬ ඇහුණ ගමන් අඳුරගෙන කතා කරනවා කියන්නේ මාව මතකයි කියන එක. හැමෝම අහන්නේ ඇයි රඟපාන්නේ නැත්තේ කියලා . අවුරුදු විස්සක් කියන්නේ ලොකු කාලයක්. මාව අමතක වෙන්න ඒ කාලේ ප්‍රමාණවත්. නමුත් මට ලැබෙන ප්‍රතිචාර එක්ක නම් මාව අමතක කරලා නැහැ වගේ කියලයි මම හිතන්නේ.

විවාහයත් එක්ක වාරණ වැටුණා නේද ..?

විවාහයත් එක්ක රංගනයට මට වාරණ දැම්මා. ඒ නිසා තමයි මට රඟපාන්න බැරි වුණේ. ඒ වගේම ක්ෂේත්‍රයේ තිබ්බ කලකිරිම් නොතිබ්බා නෙමෙයිනේ. ඒ නිසාත් මම හිතුවා වෙන ජීවිතයක් ලැබිලා තියෙද්දි ඒ ගැන හිතලා රඟපෑමෙන් ඉවත් වෙනවා කියලා මම කැමැත්ත අකමැත්ත මැද හිටියේ කිව්වොත් හරි. මම තීරණය කළා විවාහ ජීවිතයට මූලිකත්වය දෙන්න. ඒ කාලේ මම ජනප්‍රියත්වය හිනි පෙත්තෙම හිටපු කාලයක්. ඒ වසුදා නාට්‍ය නිසා. නාට්‍ය වලට ගොඩක් ආරාධනා ලැබුණු කාලයක්. ප්‍රතිචාර ඉහළින්ම තියෙද්දි රඟපෑමෙන් ඉවත් වුණේ. වසුදා තමයි අවසන් රංගනය වුණේ මගේ. ඒ වගේම කියන්න ඕන මම දැන් නිදහස් කාන්තාවක් කියන එක. ඒ නිසා දැන් මට ස්වාධීන තීරණ ගන්න අවස්ථා තියෙනවා. ඒ නිසයි නැවත මාව දකින්න ලැබෙන්නේ.

 

ජනප්‍රිය බොහෝ කලාකාරිනියන්ට විවාහයෙන් පස්සේ සීමා දා ගන්න වෙනවා. කැමරාවක් ඉදිරියට ගිහිං තමන්ගේ හැකියාව පෙන්නන්න බැරි වීම ගැන මුල් කාලේ දුක් දැනුණේ නැහැ කිව්වොත් ඒක බොරුවක් නේද .?

ඔව්... සීමා දා ගන්න වෙනවා විවාහ ජීවිතේ නිසා. මට ලොකුවට නීති දැම්මේ නැහැ. නමුත් මට තිබ්බ කලකිරිම් එක්ක මගේ ඒ තීරණය ඉක්මන් වුණා කිව්වොත් හරි. මොකද මට අසාධාරණය පෙන්නන්න බැහැ . නොගැළපෙන දේවල් , වෙන කෙනෙකුට සිදුවන අසාධාරණකම් වුණත් මට පෙන්නන්න බැහැ. ඒ නිසා ගොඩක් ප්‍රශ්න දාගත්ත කෙනෙක් මම. අසාධාරණ අවස්ථාව වල මට කට වහගෙන ඉන්න බැරි වුණා. මම කට ඇරලා ඒ වෙනුවෙන් කතා කරපු නිසා මට කැපිලි කෙටිලි ආවා. ඒවත් රංගනයෙන් ඉවත් වෙන්න බලපෑවා විවාහය වගේම

 

දරුවෝ දෙන්නෙක් ඉන්න මවක්, ඒ දරුවෝ දැනුම් තේරුම් ඇති කාලේ කිව්වේ නැද්ද අම්මා රංගනයෙන් ඉවත් නොවි ඉන්න තිබ්බා කියලා ..?

මගේ පුතාගේ වයස දැන් අවුරුදු 16ක්. මෙහේ විදිහට එයා ඕලෙවල් කරලා ඉවරයි. විභාගය ඉවර වෙලා එයාට ලැබුණු නිවාඩුව නිසා තමයි ලංකාවට ආවේ. දුවට දැන් වයස අවුරුදු 13ක් වෙනවා. මගේ දරුවෝ දෙන්නට මම නිළියක් රඟපානවා කියලා ලොකු තේරුමක් තිබ්බේ නැහැ. ඒ කාලේ හේතුව එයාලා ඉපදෙන්නත් කලින් තමයි මම ෆීල්ඩ් එකෙන් අයින් වෙන්නේ. පුතා ගැබ් අරන් මාස හතරක් විතර තියෙද්දි තමයි අන්තිම ටීවී කමර්ෂල් එක කළේ. 2007 මුල් භාගයේ. එයාලා ඒ නිසා මගේ නිර්මාණ දැකලා නැහැ ඇත්තටම.

 

දැන් දරුවන්ගේ ප්‍රතිචාර කොහොමද , ආයෙමත් රඟපාන්නේ එයාලගේ අකමැත්තෙන් ද..?

එහෙම අකමැත්තක් මම දැක්කේ නැහැ. විරුද්ධ වුණෙත් නැහැ . මම හිතනවා එයාලා කැමැති ඇති මම රඟපාන එකට මගේ සතුට වෙනුවෙන්.

 

විදෙස් ගත වෙලා හිටියත් ඔබ මවු රටේ නිර්මාණ නරඹන්න ඇති, ඔබේ හිතට දැණුනු චරිත දකිද්දි ආයෙමත් රඟපාන්න කැමැත්තක් ඇති වෙලා නැද්ද ..?

මම රඟපෑමෙන් ඉවත් වුණාට පස්සේ අවුරුදු දහයක් විතර නිර්මාණ බැලුවේ නැහැ. ව්‍යාපාර කටයුතු එක්ක කාර්යබහුල වුණා. ඊට පස්සේ පුතා ලැබුණා. දරුවන්ව රූපවාහිනී නරඹන්න පෙලඹවන්න එතරම් කැමැත්තක් නොතිබ්බ නිසා ටීවී බැලුවේ නැහැ. මම ලංකාවේන් ගියාට පස්සේ හැමෝම ප්‍රතිචාර දක්වන්න ගත්තා තණමල්විල කොල්ලෙක් නාට්‍ය ලස්සනයි කියලා. ඉතින් මමත් එංගලන්තයේ ඒකාකාරි ජීවිතෙන් ටිකක් මිදෙන්න ඕන කියලා හිතාගෙන ඒ නාට්‍ය හරි ආසාවෙන් නැරඹුවා. කාලෙකට පස්සේ මුලින්ම බැලුවේ ඒක. ඒකේ යශෝධා කරපු චරිතය ට හිත ගියා. ඒ වගේම සුද්දි බැලුවා. ඒකේ සුද්දි චරිතය හිතට දැනුණා. ඒ චරිත දකිද්දි මටත් ඒ වගේ චරිත කරන්න තිබ්බා කියලා හිතුණා නමුත් ලොකුවට රඟපාන්න ඕන කියලා හිතුවේ නැහැ

ලොකු දරුවෝ හිටියත් තවමත් රූපය එදා වගේම සුන්දරයි කියන රසිකයින් නැද්ද ..?

මගේ යාළුවෝ වගේම රසිකයින් කියනවා මම තවම ලස්සනයි කියලා. ලංකාවට ආවට පස්සේ බොහෝ දෙනෙක් කිව්වා එදා වගේමයි කියලා කියපු අයත් ඉන්නවා. ලස්සන කියන දේ සාපේක්ෂයි. ලස්සන රැඳෙන්නේ හිතේ සතුට කුහකකම ඊර්ෂ්‍යාව නැත්නම් කියලා මම හිතනවා. ඒ වගේම තමයි පිටතින් වගේම ඇතුළාන්තයෙන් ලස්සන වෙන්න ඕන. මම කවදාවත් කාටවත් හිරිහැරයක් වෙන විදිහට ජීවත් වෙලා කේලම් කියාගෙන කාලේ ගෙවලා නැහැ . තව කෙනෙක් අගයන්න මම දෙපාරක් හිතන්නෙත් නැහැ. මම සැහැල්ලු වෙන් ජීවත් වෙන කෙනෙක්. ඒ සැහැල්ලුව තමයි මුහුණෙන් පේන්නේ.

 

දැන් දිගටම ලංකාවේ ඉන්න අදහසක් නැතුව ඇති..?

මම ඉගෙන ගන්නවා. මගේ උපාධියේ අවසන් වසරේ අධ්‍යයන වැඩ ආරම්භ වෙනවා. පුතාගේ, දුවගේ අධ්‍යාපන කටයුතු අවසන් නැහැ . ඒ නිසා දැනට ලංකාවට ආයෙත් ඇවිත් යන්න හිතන්න අමාරුයි. තව ටික කාලයක් යයි. කොහෙත්ම නැවත ලංකාවේ පදිංචි වෙන්න අදහසක් නැහැ රටේ තියෙන තත්ත්වය එක්ක ඒ ගැන හිතන්න අමාරුයි . නමුත් මම මගේ රටට ආදරෙයි. අපේ රටේ නිදහස ස්වභාව සුන්දරත්වය කොයි රටකට ගියත් ගන්න බැහැ. අපේ රටේ ජනතාව හරි ව්‍යාජයි. ඒ ආදරේ වටිනවා ඒ නිසා ඇවිත් යන්න එයි. ඉදහිට නිර්මාණ කරයි. ඒත් පදිංචිය ගැන හිතන්නේ නැහැ

 

කොහොමද විදෙස්ගත ජීවිතේ. අසීරූ කාල තිබ්බද..?

කොහෙත්ම ඒ ජීවිතේ සුන්දර වුණේ නැහැ . මම දුක් වින්දා නම් ජීවීතේ දවසක ඒ දුක් වින්දේ එංගලන්තයට ආවට පස්සේ කියන්න ඕන. මගේ දරුවෝ දෙන්නා පොඩියි. ඒ දෙන්නා එක්ක අසීරූ වුණා එංගලන්තයේ ජීවත් වෙන්න . ඇත්තටම කිව්වොත් අලුත් ජීවිතයකට ආරම්භයක් ගත්තා වගේ. පුළුවන්කමකට හිටියේ නැහැ. ඒ වගේම මට ආයේ ලංකාවට යන්න අදහසකුත් නැහැ කොහොම හරි එංගලන්තයේ දී ජීවිතේ ගොඩ නගාගන්නවා කියලා හිතුවා. හිතපු විදිහට හිමින් හිමින් ජීවිතේ ගොඩ නගා ගත්තා. අපේ පවුලේ ඉන්නේ මමයි දරුවෝ දෙන්නයි. ඉතිං අපි තුන්දෙනා හරි වාසනාවන්තයි කියලා දැන් හිතෙනවා. දැන් එංගලන්ත ජීවිතේට පුරුදු වෙලා අවුරුදු හතරාමාරක් වෙනවා. අසීරූ කාල පසු කරමින් දැන් ටිකක් නිදහසේ ගත කරනවා.

 

මේ දවස්වල හරිම කාර්යබහුලයි වගේ..?

මේ මාසේ අන්තිමට යන නිසා නෑදෑ යාළුවන්ගේ ගෙවල්වල යනවා, ඇවිදිනවා. ඒ වගෙම මම ලංකාවට ආවට පස්සේ මාධ්‍ය ආයතවලින් වැඩසටහන් වලට කතා කළා. ඒ ආදරණීය ඇරයුම් සඳහාත් සම්බන්ධ වෙනවා. අනිච්චාවත සංඛාරා නාට්‍ය රූගත කිරිම් අවසන් කරලා සතුටින් නිදහසේ ජීවත් වෙලා යන්න තමයි ඉන්නේ.

Comments