දෝනි ක්‍රීඩාවෙන් සමුගෙන රඟපෑමට එක්වෙයි ද... | Page 2 | සිළුමිණ

දෝනි ක්‍රීඩාවෙන් සමුගෙන රඟපෑමට එක්වෙයි ද...

ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේන්‍ද්‍ර සිං දෝනිගේ වයස මේ වනවිට අවුරුදු 42කි. තවමත් ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියි. මේ වසරේ පැවැති අයි.පී.එල්. තරගාවලියට ද ඔහු ක්‍රීඩා කළේය. එහෙත් ළඟදීම ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනු ඇතැයි බලාපොරොත්තු විය හැකි වේ.

ක්‍රිකට්වලින් සමුගැනීමෙන් පසු දෝනි සිනමා ක්‍ෂේත්‍රය ගැන වැඩි උනන්දුවක් දැක්වීමට ඉඩ ඇති බවක් මේ වනවිට පෙනෙන්නට තිබේ. මේ වෙද්දී ඔහු සහ ඔහුගේ ආදරණීය බිරිඳ වන සාක්ෂි චිත්‍රපට නිෂ්පාදන සමාගමක් ද පිහිටුවා අවසන් ය. එය නම් කර ඇත්තේ Dhoni Entertainment (Pvt) Limited යනුවෙනි. ඔවුන් නිෂ්පාදනය කළ පළමු සිනමාපටය ද පසුගිය ජුලි 28 වැනි දින ප්‍රදර්ශනය ආරම්භ කළේය. ඒ Let's Get Married නැමැති සිනමාපටය යි.

දෝනි සමහර විට චිත්‍රපට නිෂ්පාදනයෙන් නතර නොවී චිත්‍රපට රංගනයට ද එක් වීමට ඉඩ ඇති බව පෙනී යයි. මේ ගැන බොහෝ දෙනෙකු තුළ කුතුහලයක් ඇති කළ සිද්ධියක් මෙයට ටික දිනකට පෙර සිදු විය. ඉහත කී Let's Get Married චිත්‍රපටය සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී සාක්ෂි පවසා තිබුණේ හොඳ කතා පුවතක් රැගත් චිත්‍රපටයක් ලැබුණහොත් දෝනි එහි රඟපෑමට අකැමැති නොවනු ඇති බවයි. ඇය මේ බව පැවසුවේ දෝනි ඉදිරියේ දී චිත්‍රපටවල රඟපෑමට ඉඩක් ඇත් ද යනුවෙන් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

‘ඔහු කැමරාවට බය කෙනෙක් නොවෙයි’යනුවෙන් ද සාක්‍ෂි එහි දී පවසා තිබුණාය. ‘2006 වසරේ සිටම ඔහු වෙළෙඳ දැන්වීම්වල රඟපානවා. කැමරාවට මුහුණ දීමට ඔහු බය නැහැ. ඒ නිසා හොඳ චිත්‍රපටයක් ලැබුණොත් ඔහු එහි රඟපාවි’ඇය වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

සාක්‍ෂි පවසන්නේ දෝනිට වඩාත්ම ගැළපෙන්නේ ක්‍රියාදාම (Action) චිත්‍රපට බවයි. ‘ඔහු නිතරම හරි ක්‍රියාශීලී පුද්ගලයෙක්. ඒ නිසා ඔහුට වඩාත්ම ගැළපෙන්නේ ක්‍රියාදාම චිත්‍රපට කියලයි මං හිතන්නෙ‘. නමුත් එම චිත්‍රපටය හොඳ කතා පුවතක් මෙන්ම හොඳ පණිවුඩයක් ද රැගත් චිත්‍රපටයක් විය යුතු බව සාක්‍ෂි පවසයි.

තම සැමියා චිත්‍රපටයක රඟපානු දකින්නට සාක්‍ෂි මහත් කැමැත්තෙන් සිටින බවකුත් ඇයගේ කතාවෙන් පෙනී යයි. ‘ඒ දවස එනකං මා නොඉවසිල්ලෙන් බලා ඉන්නවා. එය මගේ ජීවිතයේ සතුටුදායකම දවසක් වේවි’ යයි ඇය පවසා තිබුණාය.

දෝනි සහ සාක්ෂි දෙදෙනාගේ චිත්‍රපට සමාගම නිශ්පාදනය කළ චිත්‍රපටය දෙමළ සිනමාපටයකි. එය එතරම් ලොකු වියදමක් දරා නිපදවන ලද සිනමාපටයක් නොවන බව ද සඳහන් වේ. තම පළමු සිනමාපටය ලෙස දෙමළ සිනමාපටයක් නිශ්පාදනය කිරීමට හේතුව ගැන ද සාක්‍ෂි පවසා තිබුණාය. ඊට ලොකුම හේතුව දෝනි සහ තමිල්නාඩුව අතර ඇති සමීප බැඳීම බව ඇය සඳහන් කරයි. දකුණු ඉන්දියාවේ පිහිටි තමිල්නාඩුව දෙමළ ජනතාව විශාල වශයෙන් ජීවත්වන ප්‍රාන්තයක් බව රහසක් නොවේ. දෝනි අයි. පී. එල්. තරගාවලියේ දී ක්‍රීඩා කරන්නේ ද චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙනි. (චෙන්නායි යනු තමිල්නාඩු ප්‍රාන්තයේ අගනුවරයි). එම කණ්ඩායමේ නායකත්වය දරන්නේ ද දෝනි යි. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මේ වනවිට පස් වතාවක් අයි. පී. එල්. ශූරතාව දිනාගෙන ඇති අතර එම පස් වතාවේම නායකත්වය දැරුවේ දෝනි ය. එක් අවස්ථාවක දෝනි පවසා තිබුණේ තමිල්නාඩුව තමාව දරුවකු මෙන් රැකබලා ගන්නා බවයි.

Let's Get Married චිත්‍රපටය ආදර කතාවක් රැගත් ප්‍රහසන (Comedy) සිනමාපටයකි. මීරා සහ ගෞතම් නැමැති ආදරවන්තයන් දෙදෙනකු පිළිබඳ කතාවක් ඊට පසුබිම් වේ. ඔවුන් විවාහ වීමේ අපේක්‍ෂාවෙන් සිටියත් මීරා ගෞතම්ට පවසන්නේ ඊට පෙර ඔහුගේ මව සම්බන්ධයෙන් පරීක්‍ෂාවක් කළ යුතු බවයි. තමාට ඇය සමඟ ගැටුම්වලින් තොරව ජීවත් විය හැකිදැයි විවාහයට පෙර තමා දැනගත යුතු බව මීරා පවසයි. ඒ ගැන දැන ගැනීම සඳහා දෙදෙනාගේ මවුපියන් සමඟ විනෝද චාරිකාවක් යාමට ඇය යෝජනා කරයි. චිත්‍රපටය දිග හැරෙන්නේ මෙවැනි සිදුවීම් පෙළක් ඔස්සේ යි.

කෙසේ නමුත් දෝනිලාගේ මෙම පළමු නිෂ්පාදනය එතරම් සාර්ථක වී ඇති බවක් නොපෙනේ. එයට ප්‍රේක්‍ෂකයන්ගෙන් එතරම් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. විචාරකයන් ද එය දැඩි ලෙස විවේචනය කර තිබෙනු දැකිය හැකි විය.

Comments