අපි දෙන්නා හිතුවා එදා කරන්න බැරි වුණ දේ අද කරනවා කියලා | සිළුමිණ

අපි දෙන්නා හිතුවා එදා කරන්න බැරි වුණ දේ අද කරනවා කියලා

වසර 30 කට අධික කාලයක් අතිශය රසික ජනප්‍රියත්වයකට උරුමකම් කියන ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායම එදා මෙදා තුර කාලයේ රසික විශ්වාසය එකලෙස දිනා ගැනීමට සමර්ථ වී තිබෙනවා. විශේෂයෙන්ම විදේශීය රාජ්‍යන්වල ඔවුන් වෙනුවෙන් පවතින්නේ දැඩි රසික ආකර්ෂණයක්. අද මේ කතා බහ වෙන්වන්නේ පසුගිය දිනක සිය 20 වන විවාහ සංවත්සරය සැමරූ ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු සමඟයි.

රොෂාන්ගේ සංගීත දිවියේ ආරම්භය කොහොමද සිද්ධ වෙන්නේ?

මගේ සංගීත දිවියේ ආරම්භය සිද්ධ වෙන්නේ 1991දී FLASHBACK සංගීත කණ්ඩායම ආරම්භ කිරීමත් සමඟයි. මගේ පියාගේ සංකල්පයකට අනුව තමයි ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ ආරම්භය සිද්ධ වුණේ. ඒත් එක්ක තමයි මම මේ ක්ෂේත්‍රයට එන්නේ.

ඔබ පාසල් අවධියේ ඉදන්ම සංගීත ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තුවෙන් සිටි කෙනෙක්ද?

පාසල් අවධියේ ඉදන්ම වාදකයෙක් වෙන්න තමයි බලාපොරොත්තුවක් තිබුණේ. නමුත් ගායකයෙක් වීම කියන්නේ මගේ ජීවිතේ අහඹූවක්. මුල්කාලේ අපි සංගීත කණ්ඩායමක් හදාගෙන පොඩි පොඩි උත්සව වල ගීත ගායනා කළා. ඒ කාලේ කීංස්ලී විතරයි ගායකයෙක්ට හිටියේ. එතැනදී කණ්ඩායම වෙනුවෙන් තවත් ගායකයන් අවශ්‍ය නිසා තමයි මම ගායනයට යොමු වෙන්නේ.

මේ පැමිණි ගමන් මඟේ අමතක නොවෙන අත්දැකීම ගැන කතා කළොත්?

මම ඩ්‍රම්ස්වාදනය කරන්න ගොඩක් කැමැතියි. ඒත් මුල්කාලේ මට ඩ්‍රම්ස් සෙට් එකක් තිබුණේ නෑ. දවසක් මගේ තාත්තා ඩ්‍රම්ස්ට්‍රික් දෙකක් ගෙනත් මගේ අතේ තියනවා. මම ඉක්මනට ගෙදර සාලෙට ගිහින් බලනකොට අලුත් ඩ්‍රම් සෙට් එකක් සාලේ තියනවා. එදා දවසේ ආසාවට එළිවෙනකල් මම ඩ්‍රම්ස් ප්ලේ කළා. ඒ වෙලාවේ මගේ අම්මාගෙන් තමයි මම දැනගන්නේ තාත්තා මට ඩ්‍රම්ස්සෙට් එකක් ගෙනත් දුන්නේ සල්ලි පොලියට අරගෙන කියලා. ඉතිං එදා මම හිතාගත්තා දවසක මම සාර්ථක වෙනවමයි කියලා. මම සාර්ථක වුණාට පස්සේ ගත්ත මිල අධිකම වාහනයේ යතුර තාත්තාගේ අතේ තිබ්බා.

ඔබේ ගමනට බිරියගෙන් ලැබෙන සහයෝගය කොයිවගේද?

“සුපෙම් සුවඳක් අරං ඇවිත් සුළඟක් ලෙසින් ”මගේ ගීතය ලෙසින්ම ඇය මගේ ජීවිතයට ආවා. ඇය දැන් මගේ දරුවන්ගෙ මව. ඇයගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ ගෙදර බිරිය තමයි උදෑසන අවධි වුණ තැන සිට රාත්‍රී නින්දට යනතෙක්ම සියලුම වැඩ කටයුතු ටික කරන්නේ. ඇයව සතුටින් තිබිය යුතුමයි. ඇයට නිසි ගෞරවයක් දිය යුතුයි. එතකොට තමයි පවුලක සතුට පවතින්නේ.

“අපි අපේ වෙලා” ඔබේ අලුත්ම නිර්මාණය ගැන කතා කරමු?

මේ වෙනකොට මමත් මගේ බිරිය තිළිණිත් විවාහ වෙලා වසර විස්සක් වෙනවා. ඒ වෙනුවෙන් තමයි අපි අපේ වෙලා ගීතය සහ ෆොටෝ ෂුට් එක කළේ. අපි විවාහ වුණ මුල් කාලේ අපිට ලස්සනට ඇඳුම් අරගන්න, ලස්සන ෆොටෝ ෂූට් එකක් කරගන්න මුදල් තිබුණේ නෑ. ඒ නිසා අපි දෙන්නා හිතුවා දැන් හරි එදා අපිට කරන්න බැරි වුණ දේ කළ යුතුයි කියලා. විශේෂයෙන්ම ලසන්ත අයියවත් ඒ වගේම ධනංජය බණ්ඩාර, ලස්සන ෆ්ලෝරා සහ ඒ වගේම නාමල් බාලචන්ද්‍ර වෙතින් තමයි මගේ ඇඳුම නිර්මාණය වුණේ. මේ සියලු දේ වෙනුවෙන් ඒ අය තමයි අනුග්‍රාහකත්වය දැක්වූවේ. මම ඒ අයවත් ඉතාම ආදරයෙන් මතක් කරනවා. ඇත්තටම මේ ගීතය මගෙත් තිළිණිගෙත් කතාව විතරක්ම නෙමෙයි. අලුතින් විවාහ වෙන සියලුම පෙම්වතුන් වෙනුවෙන් කරපු නිර්මාණයක්. ඒ අය වෙනුවෙන් මගෙන් පුංචි තෑග්ගක්.

ඔබේ දරුවනුත් ඉදිරියේදී සංගීත ක්ෂේත්‍රයේදීම රසිකයන්ට මුණගැහෙයිද?

මට ඉන්නේ දුවයි පුතාලා දෙන්නයි. උපතින්ම ඒ අයට සංගීත වටපිටාවක් තියනවා. නමුත් මමත් තිළිණිත් දෙන්නම හිතන දෙයක් තමයි අපේ සමාජයේ දැන් අඩුම ගුණයහපත් මිනිස්සු කියන එක. ඒ නිසා මුලින්ම කළ යුතු වෙන්නේ දරුවන්ව ගුණ යහපත් මිනිස්සු කරන එක. ඊට පස්සේ එයාලගේ හැකියාවන්, අධ්‍යාපනයත් එක්ක එයාලා ඉදිරියට යයි. කොහොමත් අපි අපේ දරුවන්ට කිසිම බලකිරීමක් කරන්නේ නෑ.

Comments