
අල්ලේ ඇඟිලි පහ ආශ්‍රිතව ගුරු, ශනි, රවි, බුධ, සිකුරු ආදි ග්‍රහ මණ්ඩල පිහිටා ඇත. ඒ අයුරින් පසුගිය ලිපිවලින් දඹරැඟිල්ල, මැදඇඟිල්ල ආශ්‍රිතව පිහිටි ගුරු මණ්ඩලය හා ශනි මණ්ඩලය පිළිබඳව විස්තර ඉදිරිපත් කෙරිණි. මෙවර ලිපියෙන් ඔබව දැනුවත් කරන්නේ අල්ලේ පිහිටි තවත් ග්‍රහ මණ්ඩලයක් පිළිබඳවයි. එය නම් රවි ඇඟිල්ලේ හෙවත් වෙද ඇඟිල්ලේ මුල පිහිටි උස්ව හෝ පහත්ව ඇති ප්‍රදේශයයි. එය රවි මණ්ඩලයයි. මේ සමඟ පළ වන රූප සටහනින් එය හඳුනාගත හැකිය.
රවි මණ්ඩලය පුද්ගලයාට ප්‍රතාපවත් පෙනුමක් ලබා දෙයි. කාන්තාවක් නම් ඇයට ශෝභාසම්පන්න සිත්ගන්නා සිරුරක් හිමිකර දේ. හිරු සේම තේජවන්ත වන මොවුහු නවතම දෑ නිර්මාණය කිරීමට ද ශූර බවක් දක්වති. උත්පත්තියෙන්ම නිර්භීත පුද්ගලයන් වශයෙන් කැපී පෙනෙන මොවුන් ආදරය කිරීමටද බොහෝ සේ දක්ෂය. කරුණාව හා අනුකම්පාවද මොවුන් තුළින් කැපී පෙනෙයි. දේශපාලන නායකයන්, රජයේ උසස් නිලධාරීන්, නළුනිළියන්, කලාකරුවන්, ලේඛකයන් වැනි ප්‍රසිද්ධ ජීවිත ගත කරන අයගේ රවි මණ්ඩලය මනාව උස්ව පිහිටා ඇති අයුරු දැකගත හැකිය.
රවි මණ්ඩලය ස්ථීරව ශක්තිමත්ව වැඩී තිබේ නම් ඒ අයගේ ජීවිතයට හිරුගේ බලපෑම වැඩිය. එමෙන්ම රවි මණ්ඩලය පහත්ව විසිරී ගිය ආකාරයෙන් යුක්ත නම් හිරුගේ බලපෑම දුර්වලය. එවිට පුද්ගලයාට අසුබ තත්ත්වයක් උදා කරයි. ඔවුන් ජීවිතය පිළිබඳව සැබෑ අවබෝධයක් නොමැති දුර්ගුණ පුද්ගලයන් ලෙස සැලකේ. දුසිරිත් වැඩ කරන අයගේ රවි මණ්ඩලය දුර්වල බැවින් ඔවුන් හට ලෙඩ රෝග වැලඳීමේ ප්‍රවණතාවද වැඩිය. බොහෝවිට මෙවැන්නන්ට පපුව ආශ්‍රිත රෝග, සිත් වේදනා, ලේ දුෂ්‍ය වීමෙන් ඇතිවන රෝග ආදිය පහසුවෙන් වැලඳිය හැකිය.
රවි මණ්ඩල බලවත් ලෙස පිහිටා ඇති තැනැත්තා අතිශයින්ම බුද්ධිමත් වෙයි. නීති ගරුක මෙන්ම යුක්ති ගරුක වේ. ඔවුන් සමාජයේ නිරායාසයෙන්ම කැපී පෙනෙන පුද්ගලයෝ වෙති. යන එන හැම තැනකදීම නිසැකවම ප්‍රධානත්වය හිමි වෙයි. කුමන කටයුත්තක් ඇරඹුවද එය ඉතා සාර්ථක අයුරින් නිම කිරීමට දක්ෂයෝ වෙති.
රවි මණ්ඩලය දුර්වල වූ විට පුද්ගලයා උඩඟු බවක්ද පෙන්නුම් කරයි. අන්‍යයන් පාලනය කරන්නට යෑමෙන් හා ඔවුන් තුළ ඇති අප්‍රියජනක කතා විලාසය නිසාද ඔවුනට සතුරන්ද බහුල වේ. තමා ලත් දක්ෂතා තුළින්ද ඔවුහු ප්‍රයෝජනයක් නොගනී. දාමරිකයන් හා නොමනා ක්‍රියාකාරකම් නිසා රාජ්‍ය දඬුවම් විඳීමට ද සිදු වේ. හොඳින් වැඩුණු රවි මණ්ඩලයක්, දුර්වලව පිහිටි රවි මණ්ඩලයත් ස්වාභාවිකව සිදුවන්නකි. කෙනෙකුගේ උත්සාහයන් මත රවි මණ්ඩලයට ලම්භාකාර රේඛාවන් (ඉහළට නැඟෙන) වැටිය හැක. එය රවි ග්‍රහයාගෙන් ලැබෙන සුබ පල වැඩි වීමට හේතු වනු ඇත.
රවි මණ්ඩලය මත තාරකා ලකුණක් වැටී තිබීමද සුබ ලකුණක් වෙයි. එයද ඉතා වාසනාවන්තය. තමාගේම උත්සාහයෙන් දියුණු වී ප්‍රසිද්ධියට පත්වන එවැන්නන්ගෙන් තම රටට මෙන්ම ලෝකයටම සිදු වන්නේ විශාල සේවයකි. යම් යම් නව නිර්මාණ තුළින් ප්‍රසිද්ධියට පත් අයගේ රවි මණ්ඩලය මත එවැනි සලකුණු දැකිය හැක. රවි මණ්ඩලය තුළ පිහිටි කෙටි රේඛාවද හදිසි වාසනාව ගෙන දෙයි. රවි මණ්ඩලයේ වැටුණ ත්‍රිකෝණ ලකුණින් උසස් බුද්ධියක් ඇති අයෙකු හඳුනාගත හැක. රවි මණ්ඩලයේ පිහිටි හතරැස් කොටුව වෙළඳුන් හටද සුබ පල දෙන පිහිටීමක් වෙයි. රවි මණ්ඩලය අසීමිත ලෙස උස්ව පිහිටා ඇති විට පුද්ගලයා උඩඟු බවක් ප්‍රකට කරයි. අන් අයව පහත් අය ලෙස සැලකීමට මෙම ලක්ෂණය ඉවහල් වේ. රවි මණ්ඩලය බලවත් අය බොහෝවිට කලාකරුවෝ වෙති. එමෙන්ම මෙවැනි අයට නව නිර්මාණ තුළින් ජනප්‍රියභාවයට පත්වීමට හැකියාව ලැබෙයි. ඔවුන් හට මිහිරි කටහඬක් හිමි වන අතර, පෙනුමද ප්‍රියජනකය.
යම් යම් අයගේ ධනය විනාශ වීම, රැකියාවන් අහිමි වීම, රජයෙන් හා නීතියෙන් වන කරදර ඇතිවන කාලයන්හි රවි මණ්ඩලයෙහි අස්වාභාවික පිහිටීම් ඇති කරයි. දෛව රේඛාව මඟින් වැටෙන රේඛාවක් රවි රේඛාවට සම්බන්ධ වීම අන් සතු වස්තුව ලැබීමටත් හදිසි ධනයක් ලැබීමටත් හේතු වෙයි.
රවි මණ්ඩලය මත පිහිටන කළු තිත් ලකුණු නින්දා අපහාස විඳීමට සිදුවන බවට පූර්ව නිමිත්තක් වෙයි. රවි මණ්ඩලය පහතට එබී වළ ගැසුණ ආකාරයෙන් ඇති විට රවි ග්‍රහයාගේ ආකර්ෂණය අඩු වේ. එවිට පුද්ගලයා බොහෝ දුෂ්චරිතවලට පෙලඹෙයි. රක්තවාතය, හෘදයාබාධ වැනි රෝගයන්ටද පහසුවෙන් ගොදුරු වේ.