
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය ආලෝකවත් කිරීම සදහා යුද හමුදාව සිදු කරන කොප්පරා පූජාව දළදා මාළිගාවේ දී අද(11) පැවැත්වුණි.
පෙරහැර ගමන් ගන්නා වීථි ආලෝකවත් කිරීම සදහා කොප්පරා පන්දම් යොදා ගැනේ. ඒ සදහා අවශ්‍ය සම්පූර්ණ කොප්පරා ප්‍රමාණය වන කිලෝ විසිදහසකට ආසන්න ප්‍රමාණය යුද හමුදාව ශ්‍රී දළදා මාළිගාවට පරිත්‍යාග කළේය.
යුද හමුදාව 2014 වසරේ සිට වසර 10 ක කාලයක් මෙම පිංකම සිදු කරනු ලබයි. බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තුව මගින් කොප්පරා සකස් කර තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.
කොප්පරා තොගය ශ්‍රී දළදා මාලිගාවෙත භාරදීමෙන් අනතුරුව, දියවඩන නිලමේවරයාගේ සහ යුද හමුදාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කෙටි උත්සව අවස්ථාවේදී මෙවර ඇසළ පෙරහර පැවැත්වීමට අදාල ආරක්‍ෂක වැඩපිළිවෙල සහ අනෙකුත් වැදගත් කරුණු සම්බන්ධව අදහස් හුවමාරු කර ගන්නා ලදී.
එහිදී දියවඩන නිලමේවරයා විසින් ඇසළ පෙරහර මංගල්‍ලය සඳහා යුද හමුදාවේ අඛණ්ඩ කැපවීම අගය කළ අතර, කොප්පරා පූජාව සඳහා දායක වූ සියළුම වීරෝදාර රණවිරුවන් වෙතද සිය කෘතඥතාව පළ කළේය.
අනතුරුව දියවඩන නිලමේතුමා විසින් යුද්ධ හමුදාවේ වීරෝදාර රණවිරුවන් නොකඩවා ඉටු කරනු ලබන කොප්පරා පූජාව අගයමින් යුද හමුදාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළේය.