ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ණය අය කර ගැනීම ගැන නිවේදනයක් | Page 2 | සිළුමිණ

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ණය අය කර ගැනීම ගැන නිවේදනයක්

ඉදිරි මාස කිහිපය තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ණය අය කර ගැනීමේ ඉලක්කය රුපියල් මිලියන 400 ඉක්මවීමට හැකිවනු ඇතැයි එම අධිකාරියේ සාමාන්‍යාධිකාරී කේ.ඒ. ජානක මහතා විශ්වාසය පළ කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ සදහා ක්‍රමවත් වැඩපිළිවෙලක් අධිකාරිය විසින් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවයි.

මීට වසර 1 ½ කට පමණ පෙර ණය අය කිරීම් වලින් ඉතා පහළ තැනක සිටි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ වන විට ණය අය කර ගැනීමේ මාසික ඉලක්කය මිලියන 300 ද ඉක්මවා ගොස් ඇති බවද සාමාන්‍යාධිකාරීවරයා සදහන් කළේය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී කේ.ඒ. ජානක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

“දැනට වසර 1 ½ කට පමණ පෙර අපි හිටියේ ණය අය කිරීම්වලින් පහළ තැනක. ඒ කියන්නේ මාසයකට එකතු කරන්න පුළුවන් වුණේ මිලියන 154 ක් වගේ. වත්මන් නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැමිණි පසු එතුමාගේ උපදේශකත්වයෙන් හා සභාපතිතුමාගේ මග පෙන්වීමෙන් අපි විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ඒ අනුව අපේ දිස්ත්‍රික් කළමණාකරුවන් වරින් වර රැස්කරලා උපදෙස් දීලා සතිපතා ඔවුන්ගෙන් ප්‍රගතිය ලබා ගනිමින් නිරන්තරයෙන් පසුවිපරම් සිදු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ණය අය කර ගැනීමේ මාසික ඉලක්කය මිලියන 276 ක් දක්වා වැඩිවුණා. පසුව එය මිලියන 280 ක් දක්වා වැඩි කර ගත්තා. ඊළගට අපි මිලියන 300 සීමාවට පැමිණියා. දැන් මිලියන 400 ඉලක්කයත් අපි ලබා දුන්නා. මේ වන විට සමස්තයක් ලෙස අපි රුපියල් මිලියන 300 සීමාව පසුකරමින් සිටිනවා. පසුගිය මාසේ රුපියල් මිලියන 314 ක ඉලක්කයකට යන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. මේ කරා අපිට ලගා වෙන්න පුළුවන් වුනේ ඇමතිතුමාගේ සහ රාජ්‍ය ඇමතිතුමාගේ නිරන්තර පසුවිපරුම හා සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය මතයි. අපේ සියලුම කාර්ය මණ්ඩලයටත් මම ස්තූතිය පුද කරන්න කැමතියි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ණය අයකිරීම් වලදී සිදු වුණු වංචා සහගත තත්ත්වයන් ගැන පසුගිය කාලයේ පුවත්පත්වල ඔබ දකින්න ඇති. මේ වන විට එම තත්ත්වය අපි සමනය කරමින් තිබෙනවා. ඊට අදාළව අපි ක්ෂේත්‍රයේ පරීක්ෂණ ආරම්භ කළා. මෙම පරීක්ෂණ මත ණය අයකිරීම් වලින් වංචා කළ පුද්ගලයින් හදුනාගෙන ඔවුන්ට සෘජුවම නීතිය ක්‍රියාත්මක කලා. ඒ අනුව කිහිප දෙනෙක්ව අත්අඩංගුවට ගත්තා. මේ වංචා කරලා තියෙන්නේ රජයේ මුදල්. රාජ්‍ය මුදල් වංචා කිරීම සහ කූට ලේඛන සැකසීම යටතේ මේ අයට මහාධිකරණයේ නඩු පවරලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. ඊට අදාළව නීතිපතිගෙන් උපදෙස් ගන්නවා. ඔවුන්ට අවම වශයෙන් වසරක්වත් අත්අඩංගුවේ සිටින්න වෙනවා. මෙම වැඩපිළිවෙල අපි දියත් කළේ ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගෙන් ලැබුණු උපදෙස් මතයි. මේ වන විටත් අපි ක්ෂේත්‍රයේ පරීක්ෂණ සිදු කරනවා. එහි ප්‍රතිළුලයක් ලෙසයි අපිට පුළුවන් වුණේ ණය අය කර ගැනීමේ ප්‍රගතිය මිලියන 300 ඉලක්කයට ගෙන ගියේ. ණය අය කර ගැනීම හොද මට්ටමකට පැමිණ තිබීම නිසා දැන් ජනතාවට අපි ගැන විශ්වාසය ගොඩ නැගිලා තිබෙනවා.” යනුවෙන් පැවසීය.

 
 
 

Comments