රංගිරි දඹුලු වියළි බිමට සිහිල කැන්දන සෑම් පොපම්ගේ පරිසර පාරාදීසය | Page 2 | සිළුමිණ

රංගිරි දඹුලු වියළි බිමට සිහිල කැන්දන සෑම් පොපම්ගේ පරිසර පාරාදීසය

දශක පහකට පෙර ආරම්භ කරන ලද IFS POPHAM ARBORETUM යනු වියළි කලාපයේ ඇති එකම ශාකාගාරය යි. එකී ශාකාගාරය වියළි කලාපයේ වන උද්‍යානයක් ලෙස පහසුකම් වැඩි දියුණු කරමින් පසුගියදා එය පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ අතින් පොපම් ආබරේටම් සංචාරක වන උද්‍යානය ලෙසින් දේශීය විදේශීය සංචාරකයන් හට විවෘත කළේ ය.

කටු පඳුරු සහිත වනාන්තර භූමියක අක්කර 7.5ක වපසරියකින් ආරම්භ කළ මෙය මාතලේ දිස්ත්‍රික්කයට අයත් ය. මධ්‍ය කඳුකරයේ ස්වභාවික භූ දර්ශනයක් ද සහිත වන උයන දඹුල්ල සිට කණ්ඩලම මාර්ගයේ කිලෝමීටර් දෙකහමාරක් ගමන් කළ පසු දක්නට ලැබේ. එනිසාම දෙස් විදෙස් සංචාරකයන්ට ඒ වෙත පහසුවෙන් ළඟා විය හැකි අපූරු වනෝද්‍යානයක් ලෙස ද සැලකේ.

මෙකී වනෝද්‍යානය ඉංග්‍රීසි ජාතික පොපම් 1963දී මිලදී ගෙන දේශීය ශාක රෝපණය වීමට අවැසි පරිසරය සකසා තිබේ. 1989 වසරේදී මේ ඉඩම ජාතික මූලික අධ්‍යාපන ආයතනයට පරිත්‍යාග කිරීමෙන් පසු එකී ආයතනය තවත් අක්කර 27ක් ඊට එක් කොට පොපම්ගේ ස්වභාවික පුනර්ජනනීය සංකල්පය එසේ නොමැති නම් පොපම් මෙතඩ් අනුව ගොඩනඟන ලද්දකි. එය මේ වන විට අක්කර 35ක භූමි භාගයක සංවෘත වියනක් සහිත උස් වනාන්තරයක් බවට පත් වී තිබේ.

වන උයන දෙස්, විදෙස් පර්යේෂකයන්ගේ පර්යේෂණ භූමියක් ලෙස දැනට භාවිත කරන අතර පර්යේෂකයාගේ උනන්දුව මත පර්යේෂණ කටයුතු සඳහා වියළි කලාපීය වෘක්ෂලතා, පරිසර විද්‍යාව, සත්ත්ව හැසිරීම්, ක්ෂුද්‍රජීවීන්, කාබන් තිර කිරීම, ශාක හා සත්ත්ව විශේෂ වර්ගීකරණය ආදිය කෙරේ අවධානය යොමු කළ හැකිය. එපමණක් ද නොව උයන තුළ ශාක විශේෂ 300කට අධික ප්‍රමාණයක් සතුය. එසේම උණහපුළු, කබල්ලෑවන් වැනි සත්ත්ව විශේෂ ද දක්නට ලැබේ. වන උයන වැඩි විශේෂතාවක් දක්වනු ලබනුයේ සමනල් සහ බත්කූරු විශේෂ සඳහාය. එසේම වවුලන් ඇතුළු ක්ෂීරපායි විශේෂ 25ක්, සංක්‍රමණික පක්ෂීන් ඇතුළු පක්ෂී විශේෂ 83ක්, සමනල විශේෂ 77ක් හා බත්කූරු විශේෂ 12කගේ පමණ වාස භූමිය ලෙස පොපම් ආබරේටම් වන උයන වැදගත් තැනක් ගෙන තිබේ.

ශ්‍රී ලංකාව තුළ වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇති දේශීය ශාක රෝපණය කිරීමේ වන උයනයක් ලෙස ද මෙය විශේෂිත තැනක් ගෙන තිබේ. එසේම කළුවර, සඳුන්, හල්මිල්ල, මී, කොහොඹ, බිං කොහොඹ, නා, රත්මල් වැනි ඖෂධීය වටිනාකම් ඇති ශාක විශේෂ ද වන උයනේ දක්නට ලැබේ. තව ද දැවමය ශාක විශේෂ 100ක් පමණ දක්නට ලැබේ. ඖෂධීය ශාක විශේෂ 70ක් පමණ ද මේ තුළ තිබීම අතිශය වටිනාකමක් ගෙන දෙන්නකි.

සෞම්‍ය දේශගුණයකට උරුමකම් කියන පොපම් ආර්බරේටම් වන උයන වන ඝනත්වයෙන් ඉහළ තත්ත්වයක තිබීම පාරිසරික ජෛව විවිධත්වයට බෙහෙවින් වැදගත් තැනක් ගෙන තිබේ. කෙසේ වෙතත් වන උයන සංචාරක ආකර්ෂණය දිනා ගන්නා අනර්ඝ වනාන්තරයක් මෙන්ම වියළි කලාපීය වනාන්තර ස්නානය කිරීම සඳහා සංවර්ධනය කිරීමට ඉහළ හැකියාවක් ද තිබේ.

වනෝද්‍යානයකට පිවිසෙන සංචාරකයකුට තම සංචාරය තනිව කළ හැකි පරිදි මංපෙත් සකසා තිබීම, සංචාරකයනට තම සංචාරක ගවේෂණය අවහිරයකින් තොරව සිදු කිරීමට ලබා දෙන කදිම මාර්ගෝපදේශයකි. සංචාරක මංපෙත් හතරක් නිර්මාණය කොට ඇති අතර ඒ අතරට හරිත මංපෙත, නිල් මංපෙත, රෝස මංපෙත, කහ මංපෙත ලෙස මංපෙත් නම් කොට සලකුණු කොට ඇත. දිවා කාලයේ වන උයනේ සංචාරය කරන්නකුට කුරුල්ලන්, සමනලයින් දැක බලාගත හැකි අතර විවිධ ගස් වර්ග හඳුනා ගැනීමට ද හැකියාව තිබේ.

රාත්‍රී සංචාරයේ යෙදෙන සංචාරකයන්ට උණහපුළුවන් සහ කබල්ලෑවන් දැක ගත හැකිය. රාත්‍රී ගවේෂණයේදී සංචාරක මඟපෙන්වන්නකුගේ සහය ද ලබාදීමට වන උයනේ පාලනාධිකාරිය පහසුකම් සලසා තිබේ. රාත්‍රී 7.00ත් 10.00ත් අතර රාත්‍රී සංචාරක ගවේෂණයට කාලය වෙන්කොට තිබේ. එපමණක් නොව වන උයන තුළ කඳවුරු භූමියක් ද ස්ථාපිත කොට තිබේ. එතුළ එක් වරකට 25 දෙනකුට කඳවුරු ගත විය හැකිය. ඔවුනට අවශ්‍ය වැසිකිළි, නානකාමර පහසුකම් ද සපයා තිබේ. කඳවුරුගත වී සංචාරය කරන්නේ නම් ඒ සඳහා කලින් වෙන් කරවා ගැනීමේ පහසුකම සලසා දී ඇති අතර කඳවුරු ගත වන්නේ නම් එය පෙර දැනුම් දීමෙන් වෙන්කරවා ගත යුතුය. කඳවුරු ගත වීමට අවශ්‍ය කූඩාරම් සපයා දී තිබුණ ද අවශ්‍ය නම් තමන් රැගෙන එන කූඩාරම් ද භාවිත කළ හැකි පරිදි රාත්‍රී සංචාරක ගවේෂණය සැලසුම් කොට තිබේ.

වන උයන තුළ සංචාරක නවාතැන් පහසුකම් ද සපයා තිබේ. ඒ අනුව වරකට උපරිම 10 දෙනකුට රාත්‍රී නවාතැන් ගත හැකිය. රාත්‍රියේ නවාතැන් ගන්නා අයට විශාල කාමරයක් රුපියල් 3000කටත්, කුඩා කාමරයක් රුපියල් 2500කටත් ලබා ගත හැකිය. විදේශීය සංචාරකයකුට වන උයනට ඇතුළු වීමට රුපියල් 1000ක් අය කරන අතර දේශීය සංචාරයකුගෙන් අය කරන්නේ රුපියල් 300ක මුදලක් පමණි.

උද්‍යානය නවීකරණයට ලක් කරමින් ඇතුළුවීමේ දොරටුව අසල ප්‍රවේශ පත්‍ර කවුළුවක් ඉදිකොට ඇත. ප්‍රධාන දොරටුව අසල නාම පුවරුවක් ද ස්ථාපිත කොට තිබේ. ඊට අමතරව පොපම් කෞතුගාරය, උද්‍යාන වැට පරිසර හිතකාමී ලෙස සැකසීම, විවෘත දේශන කලාපය වැඩි දියුණු කිරීම, එළිමහන් සම්මන්ත්‍රණ ශාලා වැඩිදියුණු කිරීම, මංපෙත් දිශාල නවීකරණය, නව වැසිකිළි හා පවතින වැසිකිළි පහසුකම් වැඩිදියුණු කිරීම, තොරතුරු මධ්‍යස්ථානය නව තාක්ෂණික ක්‍රම ඔස්සේ දියුණු කිරීම, තොරතුරු පත්‍රිකා සම්පාදනය, විදේශීය සංචාරකයන් ඉලක්ක කර ගනිමින් තොරතුරු සම්පාදනය මෙන්ම වීඩියෝ පටයක් නිර්මාණය කිරීම යනාදිය කෙරේ අවධානය යොමු කොට තිබේ.

පොපම් ආර්බරේටම් වන උයන සංචාරකයන්ට විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා පවසා සිටියේ මෙය විදේශ විනිමය උත්පාදනය කළ හැකි වැදගත් සංචාරක කලාපයක් බවය. එසේම පරිසරයට ළැදි පරිසර හිතකාමීන්ගේ පාරාදීසයක් බව ද ඔහු පෙන්වා දුන්නේ ය. ශ්‍රී ලංකාවේ පාසල් ප්‍රජාවට ද මෙකී වන උයන කදිම අධ්‍යයන චාරිකාවක සංදිස්ථානයකි. සංවේදී පරිසර කලාපයක නිස්කලංකව දිවි ගෙවන සත්ත්ව ප්‍රජාවත් ශාක ප්‍රජාවත් දැක බලා නිරීක්ෂණය කිරීමට ලැබෙන විරල උද්‍යානයක් ලෙස පොපම් වන උයන සැලකිය හැකිය.

ඡායාරූප - ගයාන් පුෂ්පික

Comments