අපි වයඹ කොම්පෝස්ට් හදන්නේ උසස්ම ප්‍රමිතියට යි | Page 2 | සිළුමිණ

අපි වයඹ කොම්පෝස්ට් හදන්නේ උසස්ම ප්‍රමිතියට යි

කළමනාකාර අධ්‍යක්ෂ, රංජිත් ෆර්නෑන්ඩු

කාබනික පොහොර නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් සිදු කළ වයඹ කොම්පෝස්ට් පුද්ගලික සමාගම, අද වන විට වයඹ පළාත කේන්ද්‍ර කොට ගනිමින් උසස්ම තත්ත්වයේ කාබනික පොහොර නිෂ්පාදනය කරන සමාගමක් බවට පත්ව තිබේ.

දශක ගණනාවක් තිස්සේ රසායනික පොහොර භාවිතයෙන් විනාශ වී ගිය ගොවි බිම් කාබනික පොහොරින් අස්වද්දන්නට තමන්ට හැකි උපරිම අයුරින් දායක වීම සිය සමාගමේ එකම සතුට බව, එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් ෆර්නෑන්ඩු මහතා පවසයි.

ව්‍යාපාර ජාලයේ සභාපතිනිය ලෙස කටයුතු කරන, සිය දයාබර බිරිය ඩී.සී.රාමනායක මහත්මිය සමඟ එක්ව, දේශීය ව්‍යාපාර ජාලයක් සේ ඉදිරියට යන ගමන පිළිබඳ ඔවුහූ තෘප්තිමත් ය.

වස විසෙන් තොර සරු පසක් මේ මහ පොළොවේ යළි නිර්මාණය කිරීම උදෙසා, සිය සමාගමේ කාර්යභාරය පිළිබඳ, එහි කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් ෆර්නෑන්ඩු මහතා අදහස් දැක්වූයේ මෙලෙසිනි.

" අපගේ ප්‍රධාන කාර්යාලය පිහිටා තිබෙන්නේ 56/1, හලාවත පාර, වෙන්නප්පුව ලිපිනයේ. අපගේ කර්මාන්තශාලාව පිහිටා තිබෙන්නේ නාත්තණ්ඩිය දුංකන්නාව වතුයායේ. එය අක්කර 75 ක පොල් ඉඩමක්.

අප ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය කරන්නේ කාබනික ඝන පොහොර සහ කාබනික කැට පොහොර හෙවත් ග්‍රැනියුලා යන දෙවර්ගයයි.

මෙවැනි කාබනික පොහොර කර්මාන්තයක් පවත්වාගෙන යද්දී ඊටම ගැළපෙන පරිසරයක් තිබිය යුතුයි. විශේෂයෙන් ජනාකීර්ණ තැනක මෙවැනි කර්මාන්තයක් කරන්නට බැහැ. අප ඒ සඳහා සුදුසුම පරිසරයක් ලෙස, පොල් වගාවක් සහිත දුංකන්නාව වතුයාය තෝරා ගෙන තිබෙනවා.

සාමාන්‍යයෙන් අපේ රටේ බහුලව වගා කෙරෙන්නේ, එළවළු සහ වී කියන කෙටි කාලීන බෝග, කෙසෙල් ඇතුළු පලතුරු අයත් වන මධ්‍ය කාලීන බෝග සහ තේ පොල් රබර් කියන දිගු කාලීන බෝග, යන තුන් වර්ගයයි.

මම මේ ව්‍යාපාරය ආරම්භ කළේ ආර්ථික අර්බුදයට බොහෝ කලකට පෙරයි. 'වයඹ ෆාම්' අපගේ කිරි ගොවිපළ තමයි එහි මූලාරම්භය. බොහොම කලකට උඩදී ආරම්භ කළ වයඹ Dairy Farm එක යටතේ කිරි දෙනුන් 75ක් පමණ සහ බැටළුවන් 150ක් පමණ සිටිනවා. අපගේ කිරි ඵලදාව අප දෙන්නේ කාගිල්ස් සමාගමටයි.

අපේ කිරි ගොවිපළෙන් අපිට කිරි විතරක් නෙවෙයි ඕනෑතරම් ගොමත් ලැබෙනවා. ඇත්තටම කිරි එළදෙනකට විතරයි පුළුවන්, අප මාස තුනක් තිස්සේ මහන්සි වී පදම් කරන කොම්පෝස්ට් එක පැය බාගෙන් කොම්පෝස්ට් බවට පත්කර දෙන්න. එහෙම බලද්දී, කිරි එළදෙනක් කියන්නේ අසාමාන්‍ය යන්ත්‍රයක්. ඇය තණකොළ කනවා. තව පැය බාගයකින් ගොම ලබා දෙනවා. ගොම කියන්නේ මොන තරම් පෝෂණීය පොහොරක් ද කියන එක අප අත්දැකීමෙන් දන්නවා. මොකද මම පුංචි කාලේ පටන් හරක් ඇති කර තිබෙනවා. අපේ ගොවිපළවලින් ලැබෙන කිරි වගේම, ගොම සහ ගව මුත්‍රාවල අගයත් අප හොඳහැටි දන්නවා. ඇත්තටම ගව මුත්‍රා කියන්නේ උසස් පොහොරක්. හැබැයි ගොම ලබා ගන්න ඕනේ වැලි මිශ්‍ර නොවන ආකාරයටයි.

ඒ නිසාම අපේ හරකුන් ගාල් කොට තිබෙන්නේ, සිමෙන්ති පොළොවක් සහිත ඉඩකඩ ඇති ලොකු ෂෙඩ්වල. දෙනුන් දමන ගොම සහ ගව මුත්‍රා ටැංකිවලට හේදී යන ආකාරයට යි මේවා නිර්මාණය කර තිබෙන්නේ. ඒ ලොකු ටැංකිවලින් තමයි අපි අවශ්‍ය ආකාරයට ගොම සහ ගව මුත්‍ර, කාබනික පොහොර නිෂ්පාදනය සදහා නැවත අද්දවා ගන්නේ.

නමුත් නිකම්ම ගාල්කරන හරක් ගෙන් ගන්නා ගොමවල වැලි සාන්ද්‍රණය වැඩියි. ඒවායින් හදන කොම්පෝස්ට් එතරම් සරුසාර නැහැ.

අපගේ කාබනික පොහොර සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස භාවිත කරන්නේ ගිණිසීරියා,

වල්සූරියකාන්ත සහ කෙසෙල් කඳන්. ඒවාත් සමඟ මේ ගොම, ගව මුත්‍රා සහ කුකුළු පොහොර මිශ්‍ර කරනවා. විශේෂයෙන් කියන්න ඕනේ, අපි කුකුළු පොහොර ලෙස ගන්නේ ලේයර් පොහොර පමණයි. අපි කිසි සේත් බ්‍රොයිලර් කුකුළු පොහොර, අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කරන්නේ නැහැ. මොකද, එහි රසායනික පැත්ත වැඩියි. ලේයර්ස් සතුන්ට දෙන්නේ සාමාන්‍ය ආහාර පමණයි. මොකද ඒ සතුන් ගේ ආයු කාලය අවුරුදු තුන හතරක් පමණ වන නිසා.

ඊට අමතරව, තවත්. අමුද්‍රව්‍යයක් ලෙස, එප්පාවල රොක් පොස්පේට් සහ බැටළු බෙටි මිශ්‍ර කරනවා. ඒ වගේම පරණ කොම්පෝස්ට්වලින් ගන්නා මුහුන් මිශ්‍රකර තමයි, මෙම කාබනික පොහොරවලට අවශ්‍ය ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය කර ගන්නේ. මේ සියල්ල මිශ්‍ර කර, ඉටිකොළවලින් වසා නිසි උෂ්ණත්වයක් යටතේ මාස දෙක තුනක් වරින් වර වතුර අල්ලමින් පදම් වන්නට තබනවා. ඒ අතර කාලය තුළ ගව මුත්‍රා මිශ්‍ර කරමින් වරින් වර පෙරළීම සිදු කරනවා. කාබනික පොහොරවල නියම ගුණාත්මකභාවය ඇති වන්නේ එවිටයි.

සෑම විටම, කාබනික පොහොර හදන ආයතනය සහ ඔවුන් භාවිත කරන අමුද්‍රව්‍ය සහ ක්‍රමවේද අනුව, එහි ගුණාත්මකභාවය අඩු වැඩි වනවා.

උදාහරණයක් ලෙස, ප්‍රාදේශීය සභා වැනි කුණු ප්‍රතිචක්‍රීයකරණය කරන තැන්වල හදන කාබනික පොහොරවල එවැනිම ප්‍රශ්නයක් තිබෙනවා. මේවායේ හදන කාබනික පොහොරවලට ගෙවල්වල, හෝටල්වල ඉඳුල් විශාල වශයෙන් එකතු කරනවා. ඒ ආහාරවල තිබෙන රසකාරක සහ අජිනොමොටෝ වැනි රසායනික ද්‍රව්‍ය පොහොරවලට එකතු වනවා. එවැනි දේ සහිතව හදන කාබනික පොහොර කෙටිකාලීන බෝගවලට දැමූ විට ඒ වගාව මැරෙනවා. ගොයම් ගස් පවා අජිනොමොටෝ විසට මැරෙනවා. කවුරුවත් හිතන්නේ නැති වුණාට නාගරිකව එකතු කරන ඉඳුල් අපද්‍රව්‍යවල සැලකිය යුතු ප්‍රමාණයක් අජිනොමොටෝ අන්තර්ගතයි. නමුත් අපේ පොහොරවලට එවැනි දේ තබා, වැලි සහිත ගොමවත් මිශ්‍ර කරන්නේ නැහැ.

අනික, බණ්ඩි ගොයමට පොහොර ගහන්නේ වතුර අල්ලලා. ඒ වෙලාවේ කුඩු පොහොර ගහද්දී ඒවා වතුර උඩ පාවෙලා යනවා. නමුත් කැට පොහොර හෙවත් ග්‍රැනියුලා, පහසුවෙන් වතුරේ අඩියට බහිනවා. එවිට පොළොවේ තැන්පත් ව, ගහට උරා ගන්නවා. මේ කැට පොහොර තමයි, කෙටිකාලීන බෝගවලට අප හදා තිබෙන සාර්ථක ම පොහොර වර්ගය. කාබනික පොහොර හදන ඕනෑම කෙනකුට මේ ගුණාත්මක බව රැකගැනීම පිළිබඳ, විශාල වගකීමක් තිබෙනවා.

මාකඳුරේ රිසර්ච් සෙන්ටර් එකෙන්, අපගේ කාබනික පොහොරවල තත්ත්වය පිළිබඳ ඕනෑම කෙනකුට විමසා දැනගත හැකියි.' වයඹ කොම්පෝස්ට්' ගැන දිය හැකි හොඳම විශ්වාසය පිළිබඳ සහතිකය එයයි.

වයඹ පළාතේ වතුයායවල් වැඩියි. මේ වතුවල ඕනෑ තරම් ගිණිසීරියා තිබෙනවා. ඒ නිසා අපගේ කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ගිණිසීරියාවල කිසිදු අඩුවක් අපිට නැහැ. ඒ වගේම ගිණිසීරියා කැපීම, කුකුළු පොහොර සැපයීම, ගව මුත්‍රා ප්‍රවාහනය ආදී එකට එකක් බැඳුණු කටයුතු ජාලයක් මෙහිදී සිදු වනවා.

ඒ අනුව රියැදුරන්, මේ අමුද්‍රව්‍ය පැටවීම් බෑම් කරන අය, කර්මාන්තශාලාවේ වැඩ කරන අය, ඩිලිවරි සේවාවල යෙදෙන අය... ආදී වශයෙන් විවිධ අංශ යටතේ රැකියා අවස්ථා ගණනාවක් අපගේ කාබනික පොහොර කර්මාන්තය හරහා බිහි වී තිබෙනවා. එය මේ පළාතේ ග්‍රාමීය ආර්ථිකයට විශාල හයියක්. ඒ ශක්තිය ලබා දීම සඳහා දේශීය කර්මාන්තයක් ලෙස දායක වන්නට ලැබීම, ඉතාමත් සතුටට කාරණයක්.

නියම ප්‍රමිතියක් යටතේ හදන කාබනික පොහොර ටිකක් මහ පොළොවට මිශ්‍ර වූ විට පොළොව සශ්‍රීක වනවා. හොඳ නිෂ්පාදනයක් බිහි වනවා. වස විස නැති හොඳ එළවළුවක් කන්නට ජනතාවට අවස්ථාව ලැබෙනවා. මිනිස්සු නිරෝගි වනවා. ඊළඟට, රටට ගෙන්වන වස විස සහිත රසායනික පොහොරවලට යන විදේශ විනිමය ඉතුරු වනවා.

නමුත් කියන්න සතුටුයි, දීර්ඝ කාලීනව ජනතාව දැන් කාබනික පොහොරවලට හුරු වෙමින් සිටිනවා. අඛණ්ඩව එය සිදු වූ විට පුරුද්දක් බවට පත් වනවා. රටක සිදු විය යුත්තේ ද එයයි.

මම ඇත්තටම අවුරුදු විසි ගණනක් රජයේ සේවයේ නියුතු වූ බැංකු නිලධාරියෙක්. නමුත් බැංකු රස්සාවෙන් විතරක් ජීවිතය භුක්ති විඳින්න බැරි බව මම තේරුම් ගත්තා. කුඩා කාලයේ පටන් මට හුරු පුරුදු කිරි එළදෙනුන් ඇති කර, ගොවිපළක් පටන් ගත්තා. ඒ, අමතර ආදායමක් හැටියටයි. මගේ බිරිඳ මේ සියල්ල වැඩිදියුණු කළා. දැන් අපිට එකිනෙකට බැඳුණු ව්‍යාපාර අටක් තිබෙනවා.

එනම්, දේපළ වෙළඳාම් සහ ඉඩම් සංවර්ධන කාර්යයේ නියැළෙන Samagi Real Estates (Pvt) Ltd, වතු කළමනාකරණයේ නියුතු Samagi Estates And Property Services (Pvt) Ltd, නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු සහ කළමනාකරණය සිදු කරන Samagi Homes Construction And Management (Pvt) Ltd, වතු සංවර්ධනය සහ අපනයනය සිදුකරන Samagi Estates Development And Exports (Pvt) Ltd, සංචාරක කර්මාන්තයේ නියැළෙන, Samagi Hotel And Travels (Pvt) Ltd, කිරි කර්මාන්තයේ නියැළෙන Wayamba Farm House (Pvt) Ltd, අපනයනය සඳහා ඉස්සන් වගාවේ නියැළෙන, Wayamba Prawns Farm (Pvt) Ltd සහ කාබනික පොහොර නිෂ්පාදනයේ නියැළෙන Wayamba Compost (Pvt) Ltd, එම විවිධාංගීකරණය වූ ව්‍යාපාර ක්ෂේත්‍ර අටයි.

සංචාරක ව්‍යාපාරය යටතේ ඉදිරියේ දී ලංකාවේ ස්වාභාවික සෞන්දර්යය විඳිය හැකි ස්ථාන 20ක අපගේ සංචාරක හෝටල් 20ක් ඉදිකිරීමේ කටයුතු සිදු කෙරෙනවා. එවිට සංචාරක කර්මාන්තය හා බැඳුණු රැකී රක්ෂා විශාල ප්‍රමාණයක් බිහි වනවා.

දැනටමත් “විල්පත්තු නේචර් රිසෝර්ට්“ නම් අපගේ සංචාරක හෝටලය, සංචාරක ආකර්ෂණය ඇද බැඳ ගත් සොඳුරු නවාතැනක් ලෙස දෙස් විදෙස් ආකර්ෂණය දිනාගෙන ක්‍රියාත්මක වනවා.

මේ හැම දෙයකටම මූලිකත්වය දී, එම ව්‍යාපාර ඉතාම සාර්ථක ලෙස පවත්වාගෙන යන්නේ මගේ බිරිඳ යි. ඇත්තටම ඇය ආදර්ශමත් කාන්තාවක්. ව්‍යවසායිකාවක්.

ජීවිතය විඳින්නට නම්, සැපවත් ජීවිතයක් ගත කරන්නට නම් සෑම මනුෂ්‍යයෙක් ම වැටුපට සීමා වී කටයුතු කරන්නට හොඳ නැහැ. මගේ අත්දැකීම අනුව කුඩා හෝ ව්‍යාපාරයක් ආරම්භ කළ කෙනකුට පමණයි, ඇත්තටම ජීවිතය විඳින්නට පුළුවන්..."

“වස විසෙන් තොර සරු රටක්”

අතිරේකය සමඟ ඔබත් එක්වන්න

විමසන්න - රෝයි ජයසිංහ (කළමනාකරු විශේෂ අතිරේක) 0777 270 076

පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ

එන්. ධම්මික එදිරිසූරිය

0773 497 565

පිටු සැකසුම - ශිරංග ප්‍රනාන්දු

සම්බන්ධීකරණය - නිශාන්ත පීරිස්

 

ඉනෝකා පෙරේරා බණ්ඩාර

Comments