AIAහි පොසොන් රැකවරණ ව්‍යාපෘතිය සාර්ථකව නිමවෙයි | සිළුමිණ

AIAහි පොසොන් රැකවරණ ව්‍යාපෘතිය සාර්ථකව නිමවෙයි

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනයන් හි සහයෝගයෙන්, සිය ප්‍රමුඛතම ආයතනික සමාජමය වගකීම් මෙහෙවර වන පොසොන් රැකවරණ ව්‍යාපෘතිය, 28 වන වසරටත් මහත් කැපවීමෙන් යුතුව සිදුකරමින් සාර්ථකව නිම කරන ලදී. මෙවර මෙම පොසොන් වැඩසටහන ජූනි මස 2 වන දා සිට 4 වන දා දක්වා පැවති අතර, අනුරාධපුර, පොළොන්නරුව, දඹුල්ල යන පූජා නගර ආශ්‍රිතව පිහිටා ඇති වැව් සහ නාන තොටුපළවල දී, දියේ ගිලීමෙන් කිසිදු ජීවිත හානිය සිදු නොවී ඉතා සාර්ථක ලෙස අවසන් විය.

පොසොන් සමයේ දී සිය ආගමික වතාවත්වල නිරත වීම සඳහා අනුරාධපුරය පූජා නගරය වෙත දිවයිනේ නන්දෙසින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්, පූජා නගර ආශ්‍රිතව ඇති වැව් සහ නාන තොටුපළ වලින් දිය නෑමේ දී, දියේ ගිලීමෙන් ඇතිවිය හැකි ජීවිත හානි වළකාලමින් ඔවුනගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම 1993 වසරේ සිට මේ දක්වා නොකඩවා පොසොන් සමයේ දී පූජා නගර ආශ්‍රිතව මෙම ජීවිතාරක්ෂක සේවාවන් සපයා ඇත. පසුගිය වසර ගණනාව පුරාවට මෙම උදාර මෙහෙවර ඔස්සේ පොසොන් බැතිමතුන්ගේ වටිනා ජීවිත රාශියක් බේරා ගැනීමට අපට හැකි වී ඇති අතර මෙම වැඩසටහන ශ්‍රී ලාංකික ජනතාවගේ සුරක්ෂිතතාවය සහ සුභසිද්ධිය වෙනුවෙන් AIA හි කැපවීම මනාව විදහා පාමින් ක්‍රියාත්මක වේ.

Comments