ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ජාත්‍යන්තරයට ගෙන යන ලෝක සංචාරක රූ රැජන - 2023 තරගයේ අවසන් පියවර පසුගිය 29 වැනිදා වස්කඩුව සිට්රස් හෝටල් පරිශ්‍රයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ආසියාවේ සුන්දරත්වය ශ්‍රී ලංකාව යැයි කීවද එහි වරදක් නොවේ. සුන්දරත්වයට නොදෙවෙනි ආගන්තුක සත්කාරය මෙරට සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට ප්‍රබල හේතුවක් බව ඉතිහාසයේ ද සඳහන් වේ. මෙය මිස් වර්ල්ඩ් ටුවරිසම් තරගයේ ආරම්භයයි. එය ලංකාවේ පැවැත්වීමට අවස්ථාව ලැබීම ද ශ්‍රී ලාංකේය අපට ආඩම්බරයකි. මිස් වර්ල්ඩ් ටුවරිසම් - 2023 තරගය අප රටට සුවිශේෂී වන්නේ ද එහි ආරම්භක හිමිකාරීත්වය අප රට සතු වන නිසාය.
මිස් වර්ල්ඩ් ටුවරිසම් සංවිධානය මඟින් සංවිධාන කරනු ලැබූ මිස් වර්ල්ඩ් ටුවරිසම් - 2023 තරගය නවසීලන්තය, බල්ගේරියාව, මොරිසස්, නෙදර්ලන්තය, ඉන්දියාව, පකිස්තානය, ප්‍රංශය ඇතුළු රටවල් 28ක සහභාගිත්වයෙන් සිදු විය. ලොව ප්‍රථම වරට පැවති මෙම තරගයේ නිර්මාතෘ ශ්‍රී ලාංකිකයකු වීම ද සුවිශේෂී කරුණකි. ඇය රධිකා ගුණවර්ධනය. තරගයේ කළමනාකරණ අධ්යක්ෂ එරංජ වීරසිංහය. කොරියග්රැෆි අධ්යක්ෂ ලෙස අර්ජුන සේනානායක කටයුතු කළ අතර ජාතික අධ්‍යක්ෂිකා නිලූ සේනානායකය. තරගයේ ප්‍රවර්ධන අධ්‍යක්ෂක ලෙස කටයුතු කළේ උපේන්ද්රිකා ගුණවර්ධනය. ජාත්‍යන්තර අධ්‍යක්ෂිකාව ලෙස ෂයිඩා හෙට්ටිආරච්චි සුවිසල් මෙහෙයක් ඉටුකළ අතර උපදේශකත්වය සුජිත් අමරසේකරගෙනි.
මිනි ඉවෙන්ට්ස් රැසකින් සමන්විත සමස්ත තරගයේ Mis catwark, Mis personality, Mis talent, Mis popular වැනි මිනි ඉවෙන්ට්ස් කැපී පෙනුණි. පසුගිය 29 වැනිදා වස්කඩුව සිට්රස් හෝටල් පරිශ්‍රයේ දී පැවැති අවසන් තරගයේ දී ජයග්‍රාහී කිරුළ හිමිකර ගනු ලැබූවේ වෙනිසියුලා තරගකාරිය වූ Valery Carolina Padron Rincon විසිනි. දෙවැනි ස්ථානය Jo die Mauritius මොරිසස් තරගකාරියට හිමි වූ අතර තුන්වැනි ස්ථානය වියට්නාමයේ Nguyen Giang Tien හිමිකර ගත්තාය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වුණු තරුෂි ක්ෂේත්රයට ආධුනික වුවත් අවසන් දහදෙනා අතරට පැමිණීමට සමත් වූවාය.
තරගය පිළිබඳ අදහස් දක්වමින් එහි ජාතික අධ්‍යක්ෂිකා නිලූ සේනානායක අප හා පැවසුවේ මේ සඳහා සහභාගි වූ සියලුම තරගකාරිනියන් ඔවුන්ගේම මුදලින් විශේෂ උනන්දුවකින් මෙරටට පැමිණ තරගයට සහභාගි වූ බවයි. එය අප රටට ගෞරවයකි. තවත් අතකින් මෙය විදෙස් විනිමය ගලා ඒමේ පියවරක් ලෙස ද දැක්විය හැකිය. මෙමඟින් සංචාරක ව්‍යාපාරය වෙනස්ම මාවතකට යොමු කරනවා නිසැකය.
මිස් වර්ල්ඩ් ටුවරිසම් තරග සහභාගිත්වය සඳහා පැමිණි තරගකාරිනියන් මෙරටේ විශේෂ ස්ථාන නැරඹීමට ද විශේෂ උනන්දුවක් දැක්වීය. ලාංකේය සුන්දරත්වය විඳගනිමින් ඒවායේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට ගත් උත්සාහය අගය කළ යුතුය. එය අප රටේ සුන්දරත්වය ලොවට විවර කිරීමකි.
විශේෂයෙන්ම මහනුවර දළදා මාලිගයේ සිට තම තමන්ගේ භාෂාවෙන් දළදා මාලිගයට පැමිණෙන ලෙස ලෝකයාට කළ විවෘත ආරාධනය විශේෂ කරුණක් ලෙස සඳහන් කළ යුතුමය. එය ඔවුන් අයත් රටවල් 28ට පමණක් නොව මුළු ලොවටම කළ ආරාධනයක් විය. තවමත් ශ්‍රී ලංකාව ගැන නොදන්නා විදේශිකයන්ට ශ්‍රී ලංකාව ගැන දැනුම්වත් වීමට මෙය කදිම අවස්ථාවක් වූවාට සැකයක් නැත. නෙල්ලිගල පූජා භූමිය තුළ රූ රැජනන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් සංවිධාන කර තිබිණි. ඒ සඳහා සහභාගි වූ තරගකාරිනියන් බෙහෙවින් සතුටට පත් වූ බවත් පැහැදිලි විය. දේශීය ඇඟලුම් කෙරෙහි ඔවුන්ගේ ආකර්ෂණය ද මෙහිදී කැපී පෙනුණි. මිස් වර්ල්ඩ් ටුවරිසම් 2023 සඳහා සහභාගි වූ තරගකාරිනියන් සඳහා නවාතැන් පහසුකම් මෙන්ම ප්‍රවාහන පහසුකම් සැපයූ හොටෙල් ක්ෂේත්රය ද මෙහිදී ඇගයීමට ලක් කළ යුතුය. මෙය තරගයක් පමණක්ම නොවී සංචාරක ව්‍යාපාරයට අත්වැල් සපයන, විදෙස් විනිමය රටට ගෙනෙන මාර්ගයක් වීම ද මෙමඟින් රටට ලැබෙන වටිනා අවස්ථාවකි.
ඡායාරූප - සුදත් මලවීර
අර්ජුන සේනානායක