- ශාස්ත්‍රීය ප්‍රවේශය බලවත් සෙත් කවියයි
- පිහිට ඉල්ලන දරුවාගේ චිත්ත ශක්තිය දේව බලයෙන් ඉහළට
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී, හිටපු පාඨශාලාචාර්ය අසෝක විජයසේකර
දෙවි පිහිටෙන් විභාගය සමත්වන්න යැයි මවුපියන් සිය දරුවන්ට පවසනු ඔබ කොතෙකුත් අසා ඇතිවාට සැකයක් නැත. එම පැතුමෙන් අපේක්ෂා කරන්නේ කුමක් ද? විභාගයට පිළිතුරු ලියන මොහොතේදී දෙවියන් විභාග ශාලාවට වැඩමවා පිළිතුරු කියා දීමක් ද? එසේ නැතහොත් වෙනත් දෙයක් ද? දෙවි පිහිටෙන් විභාගය සමත් වෙන්න යැයි පවසන මව්පියන් බොහෝ දෙනෙකුටද එම ප්‍රකාශය පිළිබඳ නිශ්චිත අදහසක් නැත.
විභාගය සමත් වීමට දෙවි පිහිට දරුවාට ලැබෙනුයේ කෙසේ ද? මේ පිළිබඳව නිවැරදි අවබෝධයක් සෑම මවකට පියකුට ම තිබිය යුතුය. දරුවා විභාගයට හොඳින් සූදානම් වූයේ නැති අයෙකු නම් කෙතරම් දෙවි පිහිට අයැද සිටියද විභාගය සමත් වන්නේ නැත. කිසිම දෙවි කෙනෙකු විභාගයේදී පිළිතුරු කියා දෙන්නට විභාග ශාලාවට වඩින්නේ නැත. එසේ නම් දෙවි පිහිට ලැබෙන්නේ කෙසේ ද?
විභාගයකට සූදානම් වන සෑම දරුවෙකුගේ ම සිතෙහි බරපතළ ගැටලු සහගත තත්ත්වයක් පවතී. එනම් තමාට විභාගය සමත් විය හැකි දැයි යන අවිනිශ්චිත භාවය යි. දෙවිවරු සිදු කරන ප්‍රධාන ම මෙහෙවර නම් තම පිහිට ඉල්ලා සිටින දරුවන්ගේ චිත්ත ශක්තිය ඉහළ ස්ථරයකට රැගෙන යාමයි. තමා අනිවාර්යයෙන් ම විභාගය සමත් වන බව දරුවාට සිතෙන්නට පටන්ගන්නේ දෙවි පිහිට ඍජු ලෙස ලැබීමෙන් ය. දරුවාගේ සිතේ තිබුණු අවිනිශ්චිත භාවය ඉවත් කරනු ලැබුවේ පිහිට ඉල්ලා සිටි දෙවියන් විසිනි. විභාගය සමත් වන බවට දැඩි විශ්වාසයක් සිතේ ඇති වූ දා සිට දරුවාගේ කාර්යක්ෂමභාවය සර්පිලාකාර ලෙස ඉහළ යයි. එය විභාග ජයග්‍රහණයට මහත් රුකුලකි.
විභාගය ආසන්න වෙත් ම ඇතැම් දරුවන්ට වෙනදා නො තිබූ ලෙඩ දුක් ඇති වේ. එයට ප්‍රධාන ම හේතුව වනුයේ සිතෙහි ඇති වන වික්ෂිප්ත භාවය යි. මේ තත්ත්වය වෙනස් කොට චිත්ත ඒකාග්‍රතාවක් නිර්මාණය කොට ගත සිත දෙක ම නීරෝගීව තබන්නට ද දෙවියන් පිහිට වේ. ඒ අනුව නිරෝගී දරුවෙකු විභාගයට යවන්නට දෙවියන් උපකාරී වේ. එය දෙවි පිහිට ලැබීමකි.
විභාගයට යන එන අතරමඟදී පවා කිසිදු බාධකයක් හිරිහැරයක් ඇති නොවන්නට දෙවියන්ගේ බැල්ම නිරතුරුව හිමි වීම ද දෙවි පිහිට ලැබීමකි. නිසි වේලාවට විභාගයට යාමට හැකි වීම ද විභාග ජයග්‍රහණයකට මහත් රුකුලකි.
ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දෙවියන් විසින් ලබා නොදුන්නද ඉහත කී ආකාරයේ අගනා රැකවරණයක් ලැබෙන්නේ නම් එය කෙතරම් අගනේ ද? විභාග ජයග්‍රහණයකට එය මහත් පිටිවහලකි. ඉහත කී සියල්ල නිසි පරිදි ලැබෙන්නට නම් අප දෙවි පිහිට ඉල්ලා සිටිය යුතුය. එය නිසි පරිදි කරන්නේ කෙසේදැයි අප දැන සිටිය යුතුය.
තමා අදහන දෙවියන් උදෙසා පඬුරක් ගැටගසා දෙවියන් සමඟ සම්මුතියකට එළැඹීම දෙවි පිහිට අපේක්ෂා කළ හැකි එක් ක්‍රමයකි. විභාග ජයග්‍රහණ උදෙසා පඬුරක් ගැටගසා භාරයක් වූ අයෙකු විභාග ජයග්‍රහණයෙන් පසු භාරය ඔප්පු කළ යුතුය. ඒ හැරුණු විට බෝධි පූජාවන්ට සම්බන්ධ වී හැකිතාක් පින් රැස්කර ගෙන තමා අදහන දෙවියන්ට හෝ දේව සමාගමේ පින් ගන්නා දෙවිවරුන්ට පින් අනුමෝදන් කිරීමෙන්ද දෙවි පිහිට ඉල්ලා සිටින්නට සුදුසුකම් ලබයි.
විභාග ජයග්‍රහණ උදෙසා දෙවි පිහිට ඉල්ලා සිටිය හැකි නොවරදින ශාස්ත්‍රීය ප්‍රවේශය වනුයේ නිසි ලෙස ගණ පිහිටුවා බලගන්වන ලද සෙත් කවියක් හෝ සෙත් කවි දෙකක් මඟින් දෙවි පිහිට ඉල්ලා සිටීමයි. විභාගයට මුහුණදෙන දරුවාගේ නම ඇතුළත් කොට ලියන ලද සෙත් කවියක් හෝ සෙත් කවි සුමිහිරි හඬින් ගායනා කිරීමෙන් දේව සමාගමේ ඕනෑම මහේශාක්‍ය දෙවි කෙනෙකුගේ අවධානය ක්ෂණිකව ලබාගත හැකි අතර ඉල්ලා සිටිනු ලබන සහනයද නොඅඩුව ලබාගත හැකිය.
සෙත් කවි ගායනය නිසි වතාවත් හා පුද පූජා සහිතව කළ යුත්තකි. සෙත් කවියක් හෝ දෙකක් රචනා කරවාගත් පමණින් බලාපොරොත්තු ඉටු වන්නේ නැත. එය විධිමත් පරිදි පේවීමෙන් යුක්තව ගායනා කර ගත යුතුය. සෙත් කවි රචකයාගෙන් සෙත් කවි ලබාගන්නා විට ම සෙත් කවි ගායනයට අදාළ වතාවත් සියල්ල ද හොඳින් අසා දැනගත යුතු ය. ඔබේ දරුවා සම්බන්ධවද මෙකී ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් දෙවි පිහිටෙන් විභාගය සමත් වන්නට හැකි වේවායි ප්‍රාර්ථනා කළ හැකි ය.