වසරේ ඉදිරි මාස ඔබට සුබද? | සිළුමිණ

වසරේ ඉදිරි මාස ඔබට සුබද?

  • කටක - කුම්භ ලග්න හිමියන්ට තීරණාත්මකයි
  • මේෂ ලග්න හිමියන්ගේ දෛනික කටයුතු නොවැම්බර් 16න් පසු වෙනස් වේ
  • මීන ලග්න හිමියන්ගේ ජීවන ගමන ඔක්තෝබර් 03 සිට වෙනසකට

ඉදිරි මාස කිහිපයක කාල සීමාව එක් එක් ලග්න හිමියන්ට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගැනීමට සෑම ලග්න හිමියෙකුම පාහේ උනන්දු වන්නේ යැයි සිතමි. ඒ අනුව ඉදිරි මාස කිහිපය, එක් එක් ලග්න හිමියන්ට කෙසේ ගතවේ ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙමි.

මේෂ ලග්න හිමියන්ට ඉදිරි මාස කිහිපය තුළ විශේෂ වෙනසකට ඉඩකඩ ඇත්තේ 2023 වසරෙහි නොවැම්බර් 16 වැනිදායින් පමණ පසුවය. ඒ අනුව 2023 වසරෙහි නොවැම්බර් 16 වැනිදාත්, 2023 වසරෙහි දෙසැම්බර් 28 වැනිදාත් අතර කාල සීමාව තුළ රැකියාවේ රාජකාරි ලැයිස්තු වෙනස් වීමක් පෙන්නුම් කරන අතර අලුත් රැකියාවක් සොයන්නේ නම් ඒවා සාර්ථක වීමට ද ඉඩකඩ ඇත. කටක සහ කුම්භ යන ලග්න හිමියන්ට වසරේ ඉදිරි මාස කිහිපය පුරාම තීරණාත්මක සිදු වීම් සිදු වීමට ඉඩ ඇතද, 2023 වසරෙහි නොවැම්බර් 4ට ආසන්න දින කිහිපය තුළ සහ 2023 වසරෙහි නොවැම්බර් 4 වැනිදායින් පසුව එළඹෙන දින කිහිපය තුළ වඩාත් තීරණාත්මක සිදුවීම් සිදුවනු ඇත. ඒ අනුව 2023 වසරෙහි නොවැම්බර් 4 වැනිදා ආශ්‍රිත දිනවල කටක ලග්න හිමියන්ට සහ කුම්භ ලග්න හිමියන්ට දැනට ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින කටයුත්තක අවසාන  ප්‍රතිඵලය ලැබෙන්නට ඉඩ ඇත ද ඔවුන් එම දින ආශ්‍රිතව අනතුරු පිළිබඳ සහ අසනීප පිළිබඳව ද පරිස්සම් විය යුතුය. 

මීන ලග්න හිමියන්ට ද 2023 වසරෙහි අග භාගය වඩාත් තීරණාත්මක වන අතර ඒ අනුව මීන ලග්න හිමියන්ට 2023 වසරෙහි ඔක්තෝබර් 3 වනදාත්, 2023 වසරෙහි නොවැම්බර් 16 වනදාත් අතර කාලසීමාව තුළ, ජීවන ක්‍රමය වෙනස් වන ආකාරයට අලුත් ආරංචියක් ලැබීමක් හෝ ජීවන ක්‍රමය වෙනස් වන ආකාරයට අලුත් සිද්ධියක් සිදුවීමත් පෙන්නුම් කෙරේ. සමස්ත ග්‍රහ ගෝචරවලට අනුව, මකර ලග්න හිමියන්ට 2023 වසරෙහි ජූලි 1 වනදා පමණ සිට වෙනසක් පිළිබඳව ඉඟි ලැබීමක් පෙන්නුම් කරන අතර 2023 වසරෙහි අගෝස්තු 18 වනදා දක්වාම මෙම වෙනස සිදු වීමට ඉඩකඩ පවතියි.

ඒ අනුව මකර ලග්න හිමියන්ට මේ දක්වා සිදු නොවුණේනම්, 2023 වසරෙහි අගෝස්තු 18 වනදා දක්වා ඉදිරියට පවතින කාල සීමාව තුළ පදිංචි ස්ථානය තාවකාලිකව හෝ වෙනස් වීමට හෝ දැනට තිබෙන අතිරේක ආදායම් මාර්ගයක් අහිමි වී, ඒ වෙනුවට අලුත් අතිරේක ආදායම් මාර්ගයක් ඇති වීමට ඉඩකඩ පවතින බව පෙනේ. වෘෂභ ලග්න හිමියන්ට ද මෙම වසර තුළ වඩාත්ම තීරණාත්මක සිදුවීම් පෙන්නුම් කෙරෙන්නේ 2023 වසෙරහි දෙසැම්බර් 28 වනදායින් පසුවය. ඒ අනුව 2023 වසරෙහි දෙසැම්බර් 28 වනදායින් පසුව එළඹෙණ දින 40 තුළ වෘෂභ ලග්න හිමියන්ගේ, රැකියා ස්ථානය තුළ, ඉල්ලා ඇති ස්ථාන මාරු සාර්ථක වීමට ද, අලුත් රැකියාවක් සොයන්නේ නම් ඒවා සාර්ථක වීමට ද ඉඩකඩ ඇත.

සමස්ත ග්‍රහ ගෝචරවලට අනුව මිථුන ලග්න හිමියන්ට විදේශ ගමන්බිමන් වැනි දීර්ඝ ගමන්වලින් පල ප්‍රයෝජන ලබා ගැනීමට මෙම වසර තුළ හැකි වනු ඇත. විශේෂයෙන් දීර්ඝ වන්දනා ගමන් ආදිය සාර්ථක කර ගැනීමට ද භාග්‍යය උදා වනු ඇත. සමස්ත ග්‍රහ ගෝචරවලට අනුව සිංහ ලග්න හිමියන්ට, ප්‍රමාද වී ඇති විවාහ කටයුතු සාර්ථක කර ගැනීමට භාග්‍යය උදාවනු ඇත. තවද සිංහ ලග්න හිමියන්ට, මෙම වසරෙහි ඉදිරි මාස කිහිපය තුළ බොහෝ අභියෝගවලින් ජය ලබා ගැනීමට භාග්‍යය උදාවනු ඇත. කන්‍යා ලග්න හිමියන්ට මෙම වසර තුළ, හෙල් ඉඩම් නොහොත් කඳු ඉඩම් මිලදී ගැනීමට භාග්‍යය උදාවනු ඇත. තවද ඔවුන්ට ආර්ථික වශයෙන් යම් තාක් දුරකට හෝ සාර්ථක වීමට ද මෙම වසරෙහි ඉදිරි මාස කිහිපය තුළ අවස්ථාව උදා වනු ඇත.

විශේෂයෙන් දරුපල ප්‍රමාදව සිටි තුලා ලග්න කාන්තාවන්ට මෙම වසර තුළ සතුටුදායක ආරංචි ලැබෙන්නට ඉඩ ඇත. ඒ අනුව ඔවුන් වෛද්‍ය නිර්දේශ ප්‍රතිකර්ම සිදු කරමින් සහ වත්පිළිවෙත් සිදු කරමින් එම බලාපොරොත්තු ස්ථිර කර ගැනීමට උත්සාහ කළ යුතුය. සමස්ත ග්‍රහ ගෝචවලට අනුව වෘශ්චික ලග්න හිමියන්ට, මෙම වසර තුළ දේපළ, ඉඩකඩම්, යානවාහන පිළිබඳ කටයුතු සාර්ථක කර ගැනීමට අවස්ථාව උදාවනු ඇත.

විශේෂයෙන් ඔවුන්ට වාසස්ථාන ගැටලු විසඳා ගැනීමට ද මෙම වසර තුළ හැකි වන බව පෙනේ. ධනු ලග්න හිමියන්ට මෙම වසර තුළ ඉදිරි මාස කිහිපයෙහි ආර්ථික වශයෙන් දියුණුවක් ලබන්නට භාග්‍යය ඇත. තවද ඔවුන්ට ඉදිරි මාස කිහිපය තුළ, තම සහජ හැකියාවලින් පල ප්‍රයෝජන ලබා ගැනීමට භාග්‍යය උදා වනු ඇත. මීට අමතර ලෙස ඉදිරි මාස කිහිපය තුළ ධනු ලග්න හිමියන්ට කෙටි ගමන් බිමන්වලින් පලදායක ප්‍රතිඵල ලැබෙනු ඇත.

Comments