- 2 9 ඉලක්කම් දෙක එකතු කළ විට ලැබෙන 11 ජය අංකයක්
- කේන්දරයක 11 වැන්න ලැබීම් ස්ථානයක්
- වයස 29දී විවාපත් වූවන් ජයග්‍රාහීව යුගදිවි ගෙනයනවා
යොවුන් වියට පත්වූ දරුවන් සිටින සෑම මවකගේම පියෙකුගේම එකම බලාපොරොත්තුව වන්නේ තම දරුවන්ගේ කලවයස යන්නට මත්තෙන් යහපත් විවාහයක කර දීමයි. එහෙත් තම තමන් උපත ලබන විට තිබූ ග්‍රහ පිහිටීම් අනුව සමහරෙකුට අවුරුදු 18 - 20 යන විම විවාහ ජීවිතයට එළඹෙන්නට සිදුවේ.
අතීතයේ නම් ඊටත් වඩා අඩු වයස් විවාහ සිදුවී ඇති බැව් අත්දැකීම් මත අපේ මුතුන්මිත්තන් පවසා තිබේ. එහෙත් දැන් නීත්‍යනුකූල වයස් සීමාවන් පැනවී තිබීම නිසා 18 සම්පූර්ණ වූ පසු විවාහයක් සිදුකර ගැනීමට හැකිය. මවුපියන්ගේ සිහින මෙන්ම දරුවන්ට ද තම කලවයස සම්පූර්ණ වන විට විවාහයක් පිළිබඳ අවශ්‍යතාව හොඳින් දැනෙන අතර ඇතැමෙක් සිය අධ්‍යාපන කටයුතු අවසන් වන තුරු ඒ පිළිබඳ තැකීමක් නොකරයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළ බොහෝ දරුවනට යෝජිත විවාහයක් හෝ සිය කැමැත්ත මත හෝ වයස අවුරුදු 27 පසුවී විවාහ දිවියට පා තැබීමට සිදු වෙයි. තවත් සමහරුනට තම ජන්ම පත්‍රයේ පිහිටි ආකාරයට විවාහය ප්‍රමාද වීමක් සිදු වෙයි.
මේ සියලුම දෙනාට වයස අවුරුදු 29 ගැටලුවක්ව පවතින්නේ ජනමතයට අනුව වයස අවුරුදු 29න් විවාහය සිදු කිරීම නුසුදුසු බවට ප්‍රචලිතව ඇති හෙයිනි. අද මේ දුර්මත බැහැර කළ යුතු කාලය එළඹ ඇති බැව් මා පවසන්නේ අත්දැකීම් සහ අප ඇසුරු කරන සමාජය තුළ එවන් විවාහ පල දරා ඇති බැවිනි. විවාහය ප්‍රමාද වූ යුවතියකට වයස අවුරුදු 28 දී ඇයට ගැළපෙන මංගල යෝජනාවක් දිගු කාලයකට පසුව හමුවූවා යැයි අප සිතමු.
මනාල පාර්ශ්වයෙන් ‘ඊළඟ වසරේ විවාහය සිදු කරමුයි‘ යන තීරණය ඉදිරිපත් කළහොත් වයස අවුරුදු 29 නුසුදුසුය යන හැඟීමෙන් එය බැහැර කළහොත් තරුණියගේ ඉරණම කෙසේ විය හැකිද? දෙදෙනාගේම මතය එකම වුවහොත් ගැටලු නැත. මේ අයුරින් වයස අවුරුදු 29න් පසු වූ පසු සෙනසුරු, රාහු අපල ඒරාෂ්ටක යෙදුණු විට විවාහයන් තව තවත් ප්‍රමාද වීම සිදු වේ. එකී තැනැත්තන්ට ඒවායේ ප්‍රතිඵල අනුව බොහෝ අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වනු ඇත.
තම තමන්ගේ විවාහ සහකරු සහකාරිය හමුවන්නේ අප පෙර භවයේ කර ඇති කුසල කර්මයක් අනුව වන අතර එම කාල වකවානු එළඹීම ද ඒ අනුවම වේ. උප්පත්ති කේන්දරයේ එළඹෙන දශා කාලයත් එයට බල පවත්වයි. විවාහයක් සිදුවීමට වයසට වැඩියෙන් ගත කරන මහ දශා, අන්තර් දශා, ග්‍රහ මාරු බල පවත්වයි. ගුරු සිකුරු වැනි සුබ ග්‍රහයන් සුබ ස්ථානවල ගමන් කරන විට මෙන්ම එම ග්‍රහයන්ගේ දශා කාලවල විවාපත්වීම අතිශයින් සුබ පල උදාකර ඇත. එහෙත් වයස අවුරුදු 29 විය පසුවන විට සුබ ග්‍රහයන්ගේ දශා අවසන්ව රාහු සෙනසුරු දශා ලත් අය විවාහයට එළඹුණත් ඒවායේ අයහපත් ප්‍රතිඵල ගෙවමින් සිටින බැව් අප කරාවිත් විමසන අයගෙන් පෙනී යයි.
29 යන ඉලක්කම් දෙක එකට ගත් කල 11 නැමැති ජය අංකය ද දක්නට ලැබෙයි. කේන්දරයක 11 වැන්න ගත් කල සියලු ලැබීම් දනවන ස්ථානය වේ. එය වයස අවුරුදු 29 දී විවාපත් වූ අයට ජය අංකයක් ද වෙයි. මා දන්නා හඳුනන කාන්තාවක් මංගල යෝජනා විසි හතරකින් පසුව 25 වැනි යෝජනාවට දෙපාර්ශ්වයේ කැමැත්ත ලැබුණි. එහෙත් මනාලයාගේ පාර්ශ්වයෙන් විවාහය ඉක්මනින් සිදුකළ යුතු යැයි කියූ යෝජනාවට මනාලිය අකමැත්තෙන් මුහුණ දුන්නේ එවිට ඇය විසිනව වැනි වියේ පසුවූ හෙයිනි. දැනට අසූ තුන්වැනි වියේ පසුවන ඇය යහපත් විවාහ දිවියක් ගතකර පින්වත් දුවා දරුවන්ගේ රැකවරණය මැද වාසය කරන අතර විදෙස් රටවල සංචාරයන් ද ඇයට උදාපත් වුණි. ඇය 1938.11.07 වැනි දිනට එළිවෙන පාන්දර 2.36ට උපත ලබා තිබූ අතර ඇය විවාහ දිවියට එළඹ ඇත්තේ 1968.08.18 දිනය. ඒ වන විට ඇයට 29 වැනි වසර ගෙවී අවසන්ව නොතිබුණි. ඒ වන විට ඇය ගත කරමින් තිබුණේ ගුරු මහ දශාව බව දැන ගන්නට ලැබුණි.
තවද මා හඳුනන පුවත්පත් කලාවේදියෙක්ද වසර විසි නවයේදී විවාහ වූ බවත් දැනට දුවා දරුවන් ලැබ හොඳින් ජීවිතය ගත කරන බවත් සමාජ ඇසුරේදී මට දැනගන්නට ලැබුණි. ඔහු විවාහ වන විට වයස අවුරුදු 29යි මාස 8යි දින 20 කි. ඒ වන විට ඔහු කුජ මහ දසාවේ ගුරු අන්තර් දශාවත් ගත කරමින් තිබුණි. උපතේදී ඔහුගේ මේෂ ලග්න කේන්දරයේ ගුරු බලවත්ව සිවුවැන්නේ පිහිටා තිබුණි.
උදාහරණ දෙකක් මෙලෙස ගෙනහැර පෑවත් අප සමාජයේ වසර විසි නවයේදී විවාපත් වූ අය කොපමණ ඇත්ද? මෙවන් දුර්මත අප බැහැර කළ යුතු වන්නේ අනාගතයේ විවාපත් වන වර්තමාන දරුවන්ගේ ජීවිතවල අඳුරු යුගය නිමා කළ යුතු හෙයිනි. විවාහය ප්‍රමාද වීම දරු පල ප්‍රමාද කිරීමකි. වයස 30 ඉක්මවූ පසු සාර්ථක දරු උපත් සිදු වුවද කල් යත්ම අපට අවිනිශ්චිත තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ. ඒ නිසා විසිනව වැනි වසර ජීවිතයකට අත්දැකීම් බහුල දැනුම් තේරුම් ඇතිව කටයුතු කළ හැකි බුද්ධි මට්ටමෙන් ඉහළ කාල වකවානුවක් බව නම් කිව යුතුමය.
ජීවිතයට නොබියව මුහුණ දෙන්න. ධාර්මික වන්න. යුක්ති ගරුක වන්න. අවංක වන්න. ඔබේ විවාහය එළඹෙන්නේ ඔබේ ජය වර්ෂය තුළදී බව සිතට ගන්න. එම වර්ෂයේ යෙදෙන අතිශය පලදායී නැකත් දින සුබ හෝරාවන්ට අනුව කටයුතු කර ජීවිතය වඩාත් අර්ථවත් මෙන්ම පලදායී එකක් කර ගැනීමට සිතට ගන්න.