ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හිඹුටානේ පියතිලක ද අල්විස්
හස්ත රේඛා විද්‍යාව තුළින් පසුගිය ලිපියකින් ගුරු මණ්ඩලය පිළිබඳව විස්තර කළා ඔබට මතක ඇතැයි සිතමි. මා අද විස්තර කරන්නේ ශනි හෙවත් සෙනසුරු මණ්ඩලය පිළිබඳවයි. ශනි නමින් හඳුන්වන්නේත් සෙනසුරු ග්‍රහයාටමයි. සෙනසුරු ග්‍රහයාගෙන් ආකර්ෂණය වන චලන ශක්තින් ගබඩා වන ස්ථානයක් ලෙස ශනි මණ්ඩලය සඳහන් කළ හැකිය. මැද අැඟිල්ලේ පාමුල උස්ව හෝ පැතලිව ඇති ප්‍රදේශය ශනි මණ්ඩලය ලෙස සලකනු ලබයි. මේ සමඟ ඇති රූප සටහනින් ඔබට එය පැහැදිලි වනු ඇත.
ඉවසීම හෙවත් දරා ගැනීමේ ශක්තිය, හුදෙකලාව, උද්‍යෝගිමත් භාවය, හැඟීම් පාලනය, චිත්ත පීඩා, ගුප්ත දේවල් පිළිබඳව දැන ගැනීමට ඇති ආශාව, දෛවය කෙරෙහි ඇති විශ්වාසය ආදී කරුණු ශනි මණ්ඩලයේ ප්‍රබල හා දුබල පිහිටීම් ආදියෙන් ප්‍රකට වේ.
ශනි මණ්ඩලය අධික වශයෙන් බලවත් වීම අශුභදායකය. ඔවුන්ගේ ශරිරයේ බාහිර ස්වරූපය ද සිත් ඇදගන්නාසුලු නොවනු ඇත. සමද සුදු මැලි වී වියළි ස්වභාවයක් ගනී. ගිලී ගිය ඇස්වලින් දුක්මුසු ස්වභාවය හා සැක සහිත බැල්ම ප්‍රකට වෙයි. ලොම්වලින් ගහන ඇහි බැමි බොහෝ විට එකට යාවී තිබිය හැක. ලෞකික ජීවිතය ගැන කලකිරීමට පත් විය හැක. හැම විටම කලකිරුණ ස්වභාවයෙන් සිටිනු දැකිය හැක.
ශනි මණ්ඩලය දුබල වූ විට අතිශයින්ම ඊර්ෂ්‍යා සහගත කපටි අදහස් ඇති අයෙකු වෙයි. හැම දෙයක්ම තමාගේ හිතුමනාපයට කිරීමට පෙලඹිය හැක. මවුපියන්ට හිතුවක්කාර වෙයි. යන්ත්‍ර මන්ත්‍ර ආදී ගුප්ත ක්‍රියාවලින් අන්‍යයන්ට විපත් කිරීමට ද උනන්දු වෙයි. රාගාධික පැවතුම් ඇති වේ. අතේ සම සුදු පාටනම් කේලාම් කීම් හා වචනවල දෝෂ ආදියෙන් විපත් ළඟාකර ගනී. ඉක්මන් කෝප සහගත අයුරින් ක්‍රියා කරයි. උදාසීන ගතියක් පෙන්වන අතර කිසිම දෙයක් ගැන සැලකීමක් නොදක්වයි. දියුණුවද පහත් තත්ත්වයක පවතී. අත රෝස පාට වූ කළ උද්‍යෝගයෙන් හා උනන්දුවෙන් ක්‍රියා කරයි. නීරෝගී ද වේ. පහත් තත්ත්වයක සිටියත් නොපසුබට උත්සාහය නිසා දියුණුව ළඟාකර ගනී. අතේ සම රතුපාට නම් නීරෝගි බව ආරක්ෂා වේ. ප්‍රීති සහගත මානසික තත්ත්වයක් ඇති කරයි. ඥානය මෙහෙයවා කරන කටයුතුවලින් දියුණු වෙයි. වෙනත් පාටවලින් යුක්ත වී නම් රෝග ඇති වීමට හේතු වෙයි. අර්ශස්, නහර ඉදිමීම්, වාතාබාධ, පිත් රෝග, කැස්ස ආදී රෝග ශනි මණ්ඩලය ප්‍රබල, දුබල අය කෙරෙහි බල පවත්වන රෝග වේ.
සංචාරකයන්, ඉංජිනේරුවන්, ජ්‍යොතිෂවේදීන්, ගණන් පරීක්ෂකවරුන්, වෛද්‍යවරුන්, පුරාවිද්‍යාඥයන් ආදින් ශනි මණ්ඩලය ප්‍රබලව ඇති අය අතර දැකිය හැක. ශනි මණ්ඩලය කොහෙත්ම නැති විටද ( පැතලි සහගත වීම) අශුභ ලක්ෂණයකි. එවැන්නන් කිසිම දෙයක් ගැන සැලකිල්ලක් නොදක්වයි. බුද්ධිය හීනය. ඔවුන්ගේ ක්‍රියාවන් සිතිවිලිවලට පමණක් සීමා වෙයි. නිශ්ඵල සිතුවිලිවලින් පුරවා ගත් මනසකින් යුතුව කාලය ගත කරයි. ශනි මණ්ඩලය, ගුරු මණ්ඩලය දෙසට පැතිර යාම උසස් වීමේ ආශාව හා උනන්දුව ඇති වීමේ ලක්ෂණයකි. එය රවි මණ්ඩලය දෙසට විහිද යාම හුදෙකලා ජීවිතයකට ප්‍රිය වීමට හේතු වෙයි. ගුප්ත ශාස්ත්‍ර කෙරෙහි ඇලුම් කරයි.
සෙනසුරු මණ්ඩලයේ දැල් සලකුණක් පිහිටීම අශුභය. ජීවිතය අවාසනාවන්ත භාවයට පත්වීමට දැල් සලකුණු හේතුවෙයි. චතුරස්‍ර ලකුණින් (හතරැස් ලකුණ) ආයුෂ වැඩි බව ප්‍රකට කරයි. කතිර හා තාරකා සලකුණද ශනි මණ්ඩලයට සුබ නොවේ. මරණ දණ්ඩනයට නියමවූ අයගේ අල්ලේ මෙම ලකුණු පිහිටිය හැක. ශනි මණ්ඩලයේ කළුපාට තිත් ලකුණු වැටී ඇත්නම් එවැනි අයගේ මරණය හදිසි අනතුරකින් විය හැකිය. ශනි මණ්ඩලය මත උඩු අතට විහිදෙන රේඛා පිහිටීම සුභය. තමන්ගේ උත්සාහයෙන්ම ධනවත්වන අයගේ අත්ලේ එවැනි ලකුණු පිහිටයි. ශනි මණ්ඩලයේ එවැනි කෙටි රේඛාවන් පිහිටීම ද හදිසි ධන ලාභවලටද හේතු වෙයි. ශනි ඇඟිල්ලේ (මැදඟිල්ල) පාමුල ඇඟිල්ලට මාලයක් දැමුවා සේ මුදුවක සලකුණක් සමහර අයගේ ශනි මණ්ඩලයේ පිහිටිය හැක. එය "ශනිගේ මුදුව" නමින් හස්ත රේඛා විද්‍යාවේ හඳුන්වයි.
මෙම ශනිගේ මුදුව සුබ ලකුණක් නොවේ. මෙම ලක්ෂණය ඇති අයට කිසිම දෙයක් සාර්ථකව කළ නොහැක. ගති ගුණ වුණත් යහපත් නොවේ. බොහෝ විට සමාජයෙන් ඈත් කරන අයට මෙම ලකුණ පිහිටිය හැක. මොවුන් විවාහ වුවත් විවාහ ජීවිතය සාර්ථක නොවනු ඇත.
ලබන සතියේ රවි මණ්ඩලය පිළිබඳව විස්තර ඉදිරිපත් කෙරේ.