- ඉතාම සුබ පුනාවස නැකත
- පුවපල් නැකතට හදන නිවස බොහෝ කල් පවතී
- අස්විද නැකතට නිවසක් හැදුවොත් ධන ධාන්‍ය සැප සම්පත්
මේ ලිපිය මඟින් විග්රහ කිරීමට අදහස් කරනුයේ නිවාස ඉදි කිරීමේදී බොහෝ දෙනෙක් එතරම් උනන්දුවක් නොදක්වන පැතිකඩක් ගැනයි. එදා සිට අද දක්වාම ජ්‍යොතිෂයේ සඳහන් වන නැකත් විසි හත කෙරෙහි බොහෝ දෙනා වැඩි උනන්දුවක් දක්වති.
ජ්‍යොතිෂය ගැන සුළු දැනුමක් එදා පැරණි අය අතර තිබුණ බැව් ඇත්තකි. එහෙත් වත්මන්හි මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය හරහා ජනයා දැනුවත් වී ඇත. සීසෑමේ සිට බිස්සට වී පිරුම දක්වා අතර කාලය සුබ නැකැත් අනුව පැරණි කාලයේ කෙරිණි. ගොම්මන් වේලේ ගොනෙකු ඉඩමට ඇතුළු කර ඉඳි කඩුල්ල වසා දමා පසු දින අලුයම් කාලයේ ඌ ලැග සිට නිදා සිටි තැන ශුද්ධ පවිත්‍ර කර ඖෂධ මිශ්‍ර කළ ගොම දියරය ඉස සුබ නැකත් වේලාවට ලණු ඇද අත්තිවාරම් කපා අත්තිවාරම මත බිත්ති ගොඩනඟා වහලය ගසා මුල් ප්‍රධාන උළුවස්ස තබා වැඩ නිමකර සුබ නැකතට ගෙවදීමේ මහඟු කාර්යම සිදු කරන ලද්දේ ගෙහිමියාගේ ජන්ම නැකතට සීහෙන සම්පත්, ක්ෂේම මෛත්‍රී, පරම මෛත්‍රී නැකත් පාදක කර ගනිමිනි.
මේ වන විට විවිධ හේතුන් නිසාත් සංකීර්ණ සමාජ රටාව නිසාද නිවාස ඉදිකිරීමේදී නැකත් කෙරෙහි උනන්දුවක් දක්වන පිරිස අල්පය.
කිනම් හේතුවක් මත වුවත් නිවාස ඉදිකිරීම් සඳහා සුබ නැකත් දහඅටක් බහුල වශයෙන් උපයෝගි කර ගනු ලැබේ. ඉපැරණි පත්ඉරුවක සඳහන් පරිදි නැකත් වශයෙන් රෙහෙන, මුවසිරස, පුෂ, උත්‍රපල්, උත්‍රසල, උනුපුටුප හා මුල, සුවන, රේවතී, අනුර, සිත, පුනාවස, දෙනට, සියාවස, අස්විද, මා, සා, යන නැකත් නිවාස ඉදිකිරීම්වලට සුබදායක වන බැව් දක්වා ඇතත් යම් නැකැත්වලින් නිවසේ වැඩ ඇරඹු විටදී අත්වන ප්‍රතිඵල පිළිබඳව සටහනක් නොවීම තරමක අඩුපාඩුවකි. පැරණි සටහනේ දක්වා ඇති කරුණුවල කිසියම් හරයක් තිබේ දැයි බැලීම අගනේය. පාඨකයන්ගේ දැන ගැනීම හා විමසුම පිණිස මෙසේ දක්වමු.
අස්විද නැකතින් නිවාස ඉදිකිරීම් කළ විට ධන ධාන්‍ය සැප සම්පත් ලැබීමත් දරුවන්ගේ දියුණුවත් සැලසේ.
බෙරණ නැකතින් - ලෙඩ රෝග, සතුරු පීඩා, මූල්‍යමය සම්පත්වල පිරිහීමක් ඇතිවේ.
කැති නැකතින් - දුක් කරදර කායික හා මානසික පීඩා අධික වේ. මුදල් ගැටලු ද පැන නඟී.
රෙහෙණ නැකතින් - සැප හීනවීම සම්පත්වල හීනතාවන්ද පැන නඟී.
මුවසිරස නැකතින් - දියුණුවත් සම්පත් හිමිවීමත් ඇති වුවත් පසු කලෙක සතුරු පීඩා ගෙන දේ.
අද නැකතින් - පිරිහීමට පත් වේ. නීතිමය ගැටලු පැන නඟී. මූල්‍යමය වැය ද ඇති වේ.
පුනාවස නැකතින් - ඉතාම සුබයි. සම්පත් ගෙන දේ. දියුණුව ළඟා වේ.
පුෂ නැකතින් - ධන ධාන්‍ය සැප සම්පත් පිරිවර ලැබේ. ආර්ථිකමය ලැබීම් වැඩි වේ.
අස්ලිස නැකතින් - ලෙඩ රෝග ඇති වේ. ධන හානි අනපේක්ෂිතව පැන නඟී.
මා නැකතින් - සැප සම්පත් හිමි වුවත් කල් යෑමේදී පදිංචිකරුවන්ට කායික මානසික පීඩා අනපේක්ෂිත අන්දමට ගොඩනැඟේ.
පුවසල් නැකතින් - ධන ධාන්‍ය සැප සම්පත් ගොඩ නැගේ. ඉතා සුබයි. දීර්ඝායුෂ ලැබේ. නිවාස බොහෝ කල් පවතී.
උත්‍රපල් නැකතින් - පිරිවර සම්පත්, ධන ධාන්‍ය ලැබේ, සෑම අංශයකින්ම යහපත්ය. ලක්ෂ්මි නිවසකි.
හත නැකතින් - සුබදායක වේ. ලැබීම් යහපත්ය. මුල්‍ය අංශයේ දියුණුව ලැබේ.
සිත නැකතින් - සම්පත් හිමි වේ. යස ඉසුරු ලැබේ. වාසනාවන්ත දාරක සම්පත් හිමි වේ.
සා නැකතින් - ධන ධාන්‍ය සම්පත් බහුලව ලැබේ. ගව සම්පත්ධාරී වේ. ගෘහණිය තරමක කෲර වේ.
විසා නැකතින් - අාධ්‍යාත්මික පැතිකඩ නියෝජනයක් වේ. ලෞකික අංශයට වඩා ලෝකොත්තර තත්ත්වයට පත්වේ. මානසිකමය පුහුණු අංශයට නැඹුරු වන බවක් ද පෙනේ.
අනුර නැකතින් - ඉතාම සුබයි. වස්තු සම්පත්, නිරෝගි සුවය, තුන්කල්හිම දියුණුව ලැබේ. අනුරාධ ඇමති අනුර නැකතින් අනුරාධපුරය ගොඩනඟන ලදී.
දෙට නැකතින් - ධන ධාන්‍ය සැප සම්පත් ලැබේ. අමනුෂ්‍ය දෝෂයන්ටද බලපෑම් ඇති වේ.
සුවසල නැකතින් - සම තත්ත්වයේ පවතී. ඉතාම ඉහළ තත්ත්වයේ නොවූවත් / සමහර විට ප්‍රශ්න ගොඩනැඟේ.
උත්‍රසල නැකතින් - වස්තු සම්පත් ලැබේ. නිරෝගී බව උදා වේ. මූල්‍යමය අංශයට ඉතාම සුබයි.
සුවණ නැකතින් - යහපත් වුවත් කල් යාමේදී දුක් පීඩාවන්ට ගොදුරු වේ.
දෙනට නැකතින් - ඉතාම සුබයි. සම්පත් උදා වේ. ආහාරපාන සුලබව ලැබේ. ජනප්‍රිය වේ.
සියාවස නැකතින් - ගැටලුකාරී වේ. ප්‍රශ්න පැන නඟී. එතරම් සුබදායක නැත.
පුවපුටුප නැකතින් - සැප සම්පත් බහුල වේ. පංචමහා සම්පත් හිමි වේ. ඉතාම සුබදායකයි.
උත්‍රපුටුප නැකතින් - වස්තු සම්පත් හිමි වේ. පිරිස් බලය වැඩි වේ. ජනප්‍රියත්වයට පත් වේ. නමුත් දරුවන් හිතුවක්කාරී වේ.
රේවතී නැකතින් - ඉතාම සුබයි. සම්පත්වල වැඩිවීම් සහිතයි. ධන ධාන්‍ය හිමි වේ. දරුවන් වාසනාවන්තයි. ගව පාලනයෙන් උසස් ප්‍රතිඵල ලැබේ.
මේ නැකත් මෙන්ම එදින පවතින තත්කාල ලග්න කාරක ග්‍රහ පිහිටීම් කෙරෙහි ද වඩාත් නැඹුරු වීම නිසා ප්‍රතිඵල ධනාත්මක අංශයෙන් නෙළා ගැනීමට හැකි වේ. සුබ නැකතකට සුබ හෝරාවක් සහ තත්කාල ලග්නය ද යොදා ගැනීමෙන් වාසනාවන්ත නිවසක් ඉදිකර ගැනීමේ මහඟු අවස්ථාව හිමි වේ.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ටී. හෙන්රි බෙම්මුල්ල