නව නිවසට සුදුසුම ඉඩම සොයන නියම ක්‍රමය | සිළුමිණ

නව නිවසට සුදුසුම ඉඩම සොයන නියම ක්‍රමය

ජෙ‍්‍යාතිෂ ඇසින් බලා වාස්තු විද්‍යානුකූලව ලස්සන නිවසක් ඔබටත් උරුම ද? යන්න විමසා බැලෙන කාලීන ලිපියකි මේ. වාස්තු විද්‍යානුකූලවම නිවසක් තැනීම අද අප සමාජයේ බොහෝ දෙනාගේ ඒකායන පැතුමයි. ජීවිත කාලයේ වැඩිම කාලයක් අප ගෙවන්නේ එම නිවස තුළයි. එම නිසා නිවසක් තනන විට වාස්තු ශාස්ත්‍රය උපයෝගී කරගැනීමට අද බොහෝ දෙනා උත්සුක වේ. එය ඉතා හොඳ ප්‍රවණතාවකි. වාස්තු විද්‍යාව යනු ඉතා පැරණි විෂයකි. මිනිසා විසින් මෙතෙක් සොයාගෙන ඇති පැරණිම ලේඛන වන ක්‍රි. පූ. 2500 පමණ ලියන ලද වේද පොත් පත්වල වාස්තු විද්‍යාව ගැන සඳහන් වේ. නිවාස සහ ගොඩනැඟිලි ඉදිකිරීම කෙරෙහි ස්වභාව ධර්මය සහ දෙවියන්ගේ බලපෑම වාස්තු විද්‍යාව ලෙස කෙටියෙන් දැක්විය හැක.

නිවසක් තැනීම සඳහා පළමුව තමන් තෝරා ගත් ගේ බිම (ඉඩම) දක්ෂ ජ්‍යොතිෂ හා වාස්තුවේදියෙකු ලවා පරීක්ෂා කර ගත යුතුය. ඉන් අනතුරුව මුලින්ම නිවස තැනීමට යොජිත ස්ථානයේ අඟල් 32ක වළක් හාරා එයට වතුර පුරවන්න. ඊට පසු පියවර 100ක් සාමාන්‍ය ගමනින් ඉදිරියට ගොස් නැවත ඉතා වේගයෙන් හෑරු වළ වෙත පැමිණෙන්න. එවිට වතුර දැමූ මට්ටමටම එහි වතුර තිබේනම් එය නිවසක් තැනීමට ඉතාම සුදුසු භූමියකි. එය ඉතා සුබදායකය. නැතිනම් එතරම් සුබ නැත. තවත් ක්‍රම රාශියක් තිබෙන අතර ඉහත ක්‍රමය මින් ප්‍රධාන වේ. ගෙය සෑදීම සඳහා ගේ බිමක් තෝරාගත් පසු එම බිම් කොටස මුලින්ම කොටස් 4කට බෙදා වෙන්කර ගත යුතුය. එහි හරි මැද කොටස බ්‍රහ්මස්ථානය වශයෙන් හඳුන්වයි. එම බ්‍රහ්මස්ථානය වටා ඇත්තේ දේව පාදයයි. දේව පාදයට පිටින් මනුෂ්‍ය පාදයත් එහි වටේට ප්‍රේත හෙවත් පිශාච පාදයත් පිහිටා ඇත.

හුඹස් ඇති ඉඩම්වල නිවාස සෑදීම සුදුසු නැති අතර එමඟින් නිවසේ බිරියට අපල උදා වේ. නිවාස සැලසුමක රජයේ අනුමැතිය අනුව වැටට හෝ තාප්පයට තිබිය යුතු අවම දුර ප්‍රමාණය අඩි හතහමාරක් පමණ වේ. නිවසක දොර ජනෙල් අඩුවෙන් තැබිය යුත්තේ බටහිර සහ නැඟෙනහිර දිශාවලටය. නිවසක් තැනීමේදී වැඩි ඉඩ ප්‍රමාණයක් තැබිය යුත්තේ උතුරට සහ නැ‌ෙඟනහිරටය. දෙපැත්තට පාරවල් 2ක් ඇති ත්‍රිකෝණාකාර ඉඩමක නිවසක් සෑදීම සුබ නැත. එය ඉතාම අසුබදායක වේ. නිවසක දිග පළල ගණනය කළ යුත්තේ ගෘහ මූලිකයාගේ ජන්ම නැකත අනුවය. නිවසක මුල් ගල තැබිය යුත්තේ මුළු 4 මත වන අතර හරි මැද එයට නොගැළපේ. නිවසේ මැද මර්මස්ථාන නිසා මෙන්ම බ්‍රහ්ම පාදය මෙයින් පීඩාවට පත්වේ. එය අසුබය.

තමන්ගේ ආත්ම විශ්වාසය අනුව කටයුතු කිරීමට ඕනෑම කෙනෙකුට නිදහස ඇත. නමුත් තුන් කල් දක්නා නුවණින් යුතු සෘෂිවරයන්ට හැර සාමාන්‍ය පුද්ගලයන්ට මේ මහා විශ්ව ශක්තිය තේරුම් ගැනීමට අපහසුය. ඒ නිසා නිවැරදි නැකැත් භාවිතය ඉතාම සුබදායකය. ඒ වාගේම නිවාස තැනීමේදී යම් පුද්ගලයකුගේ හඳහනේ ග්‍රහ පිහිටීම් අනුව නව නිවසක් තැනීමට හැකිද නොහැකිද යන්න වටහා ගැනීමට නිවැරදි ජන්ම පත්‍ර පරීක්ෂාවකින් දක්ෂ ජ්‍යොතිෂවේදියෙකුට හැකියාව පවතී.

ඒ නිසා අප නව නිවසක් තැනීමේදී ජ්‍යොතිෂානුකූල ක්‍රමවේදයන් අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතුය. විශේෂයෙන්ම නිවස තැනීමට මූලික වන පුද්ගලයාගේ උපන් නැකතට ගැළපෙන නැකතක් අනුව සෑදු සුබ නැකතක් අනුව ආරම්භ කිරීම ඉතාම සුබදායකය. නව නිවසක් තැනීම සඳහා සුබ නැකතක් බැලීම හැර අවධානය යොමු කළ යුතු වෙනත් කරුණු රාශියක් ඇත. ඒ අනුව මුලින්ම විමසිය යුත්තේ නිවස සාදන පුද්ගලයාට තමාටම කියා නිවසක් ඉදිකිරීමට හැකියාවක්, භාග්‍යයක්, වාසනාවක් තිබෙනවාද යන්නය. ඊට අමතරව හදිසි අනතුරු, ඥාති වියෝව, හිරබන්ධන වැනි දේ යෙදෙන කාලයක්ද කියා විමසා බැලිය යුතුය. නිවසට අදාළ නැකත හදා ඇති පුද්ගලයා එසේත් නැතිනම් බොහෝ විට ගේ හිමියා විසින්ම මුල් ගල තැබිය යුතුය.

නිවසේ හරි මැදට තරප්පු පෙළ යෙදීමද ඉතාමත් අසුබය. නිවසක ප්‍රධාන උළුවස්සට ඉහළින් ලම්බකව ඉහළ මහලේ උළුවස්ස තැබීම ඉතාමත් අසුබය. නිවසට වඩාත් සුදුසු වහල ක්‍රමය වන්නේ දෙපලය සහිත වහලත් ඊට අමතරව වහල 5ක් සහිත වහල නිවසට ගැළපේ. නිවාසවලට රවුම් බිත්ති සුබ නොවේ. නිවසක දොරවල් ගණන ඔත්තේ විය යුතුය. එනම් 3, 5, 7, 9, 11 ආදි ලෙසද ජනෙල් ගණන ඉරට්ටේ විය යුතුය. එනම් 2, 4, 6, 8, 10 ලෙසද මෙම දෙවර්ගයේම එකතුව ඔත්තේ විය යුතුය. (ලී හා ලී රාමුවක් සහිත ඒවා පමණක් ගණන් ගත යුතුය.) ප්‍රධාන දොරට තනි පියන හෝ පියන් දෙක සුදුසුය. නිවසට පිවිසෙන ප්‍රධාන දොර මාර්ගයට කෙළින්ම පිහිටීම අසුබ වේ. නිවසක දොරවල් ඉතා කුඩා වීම සුබදායක නොවන අතර ඒ නිසා පරම්පරාවේම විනාශය ඇතිවිය හැකිය. නිවසකට නව කොටසක් එක් කිරීමේදී නියමිත දිග හා පළල ගත යුතු පැත්ත වාස්තු විද්‍යාව දත් අයෙකු ලවා පරීක්‍ෂා කර ගැනීම කළ යුතුය. නිවසක ප්‍රධාන උළුවස්ස මැදින් මුදුන් යට ලීය පිහිටා තිබීම ඉතා අසුබය. උළුවස්සක උස ප්‍රමාණය පළල මෙන් දෙගුණයක් වන අතර උළුවහු තුනක් එක කෙළින් තැබීම අසුබ වන අතර වෙනස්ව තැබීම ඉතාම සුබදායක වනු ඇත.

ඉහත දක්වන ලද්දේ නිවසක් ඉදිකිරීමේදී අනුගමනය කළ යුතු සරල වාස්තු විද්‍යාත්මක ක්‍රමවේද කීපයකි. ඒ අනුව ඔබත් ඉහත වාස්තු උපදෙස් අනුගමනය කරමින් සොඳුරු නිවහනක හිමිකරුවෙකු වන්න.

Comments