ගුවන අරා විස්කම් පා නිවන පතා සසුනට එක්වූ මනීෂා | Page 2 | සිළුමිණ

ගුවන අරා විස්කම් පා නිවන පතා සසුනට එක්වූ මනීෂා

පැවිද්ද ලැබූ කරන්දෙණියේ, ධම්ම නිරෝධා මෙහෙණින් වහන්සේ

- පැවිදි වීමට පෙර මනීෂා මනාලියක ලෙස හැඩ කළේ ඇයට ගිහි ගෙය ගැන ආසාවක් ඇතිවීමේ අවසාන අවස්ථාව සලසන්නයි
- ගිහි ජිවිතය හැරදා මනීෂා සසුන්ගත වූයේ බුළුගල ආරණ්‍ය සේනාසනයේ 
- ඉහළ අහසේ සිට වාර 490 ක් පැරිෂුට් ආධාරයෙන් බිමට පැන වාර්තා පිට වාර්තා

ය ජීවන මගේ කෙටි කාලයක් තුළදීම ප්‍රසිද්ධ තනතුරු තානාන්තර සියල්ල හැරදා ඇය අනිත්‍ය සොයා යන ධර්මාවබෝධ මාර්ගයට පිවිසියාය. බොහෝදෙනා ශ්‍රී සද්ධර්මය අභිමුව වූ සසර කෙටි කර ගැනීමේ ඇයගේ උතුම් අරමුණ වෙනුවෙන් සාධු කාර දුන්හ. පෙර පින් ඇති පුණ්‍යවන්තියක් වූ ඇය මේ වන විට බුදු සසුනේ පැවිදිව ධර්මාවබෝධ මාර්ගයට ප්‍රවිෂ්ටව මහා සාසනික මෙහෙවරට ශක්තියක් වන්නට එක් වූවාය. 

අද ඇය මොනරාගල, වැල්ලවාය බුළුගල ආරණ්‍ය සේනාසනයේ කරන්දෙණියේ, ධම්ම නිරෝධා මෙහෙණින් වහන්සේය. 2023 ජූලි 27 වැනිදා ඇයගේ ශාසනික අභිනික්මන සිදුවීමට මත්තෙන් ඇය රට හෙල්ලූ වීරවරියක් වූවාය. එදා ගිහි ජිවිතයේ අති සුන්දර තරුණියක වූ ඇය ශ්‍රි ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර්වරියක වූ මනීෂා ඉන්දීවරී වික්‍රමසිංහය. ඇය ගැන බොහෝ මාතෘකා ඇත්තේය. ගුවනින් අපූරු හැකියා පෑ ඇය එදා ඊට වටිනාකම් ද එක්කරන්නට වූයේ සිය හැකියාවන්ගේන් ලොවක් හා රටක් හෙල්ලූ වාර්තා ද එක්කරමිනි.

කරන්දෙණිය කොටවෙල දුෂ්කර ගම් පෙදෙසක උපන් මනීෂාගේ පියා අයි. ඩී මාටින්ය. මව අයි. ඩී. සෝමාවතීය. මහේෂ් මදුවන්ත, අයේෂ් සුදර්ශන මනීෂාගේ දෙසොහොයුරන් විය. ඇය පවුලේ එකම දියණිය වූවාය. ගාල්ල මඩකුඹුර ජාතික පාසලේ හා අනතුරුව ගාල්ල සංඝමිත්තා ජාතික පාසලේ ඇය දීප්තිමත් ආදි සිසුවියක වූ අතර, 2008 වසරේදී කැඩෙට් නිලධාරිනියක ලෙස දියතලා යුද හමුදා විද්‍යා පීඨයට ඇතුළත් වන්නේ කුඩා කල සිට ඇයට වූ ආසාවක් අරමුණක් මුදුන් පමුණුවා ගන්නටය. දියතලාව යුද හමුදා විද්‍යා පීඨයෙන් නියමිත පුහුණුව ලබා ඇය පිට වන්නේ දෙවැනි ලුතිනන් නිලධාරිනියක් ලෙසය. ඒ වන විට පවුල තුළින්ම ඇයට ඒ ආභාසය පැමිණ තිබුණේ ඇයගේ එක් සහෝදරයෙක්ද ශ්‍රි ලංකා යුද හමුදාවේ සෙබළකු ලෙස සේවය කරන නිසාවෙනි.

මේ වන විට තිස්පස් හැවිරිදි වියේ පසුවන මනීෂා ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි නිදහස් ආර පැරිෂුට් පැනීමේ ප්‍රථම කාන්තා නිලධාරිනිය වශයෙන්ද වාර්තාවක් පිහිටුවන්නට සමත් වූවාය. එසේම ඇය වන්නි මානුෂිය මෙහෙයුමේ අවසන් සටන් පැවැති කාලයේ පුදුමාතලන් ඉදිරි ආරක්ෂක වළල්ලේද රාජකාරි ඉටුකර තිබුණි. පැරිෂුට් පැනීමේ අති දක්ෂ මේ ශූරිය තමන් යුද හමුදාවේ රාජකාර කරන සමයේදී ඉහළ අහසේ සිට වාර 490 ක් පැරිෂුට් ආධාරයෙන් බිමට පැන තිබුණේ වාර්තා පිට වාර්තා තබමිනි. එංගලන්තයේ, ජර්මනියේ හා දෝහා කටාර්වල පැවැති ලෝක පැරිෂුට් තරගයන්ද නියෝජනය කළ මනීෂා ඉහළ අහසේ සිට බිමට පැන දස්කම් දක්වා ලංකා මාතාවට ගෞරවයක් මෙන්ම අභිමානයක් ගෙන දුන්නාය.

මේ සියලු තනතුරු පදවි තානාත්තර පරයමින් මනීෂාගේ සිත දුවන්නට වූයේ එකම අරමුණක් වෙනුවෙනි. ටිකෙන් ටික ජිවිතයේ අනිත්‍ය අවබෝධ කර ගන්නට හැකි සෑම විටම ඇය ධර්මය කෙරෙහි නැඹුරු වන්නට විය. අවිවේකී ජීවිතයක් ගත කළ ද ඇය ධර්මාවබෝධය ලබා ගැනීමේ ගමනට මුල් තැන දුන්නාය. 

“ අපේ ගෙදර තිබුණේ තනිකරම බෞද්ධ පරිසරයක්. මම පුරුද්දක් වශයෙන් කුඩා කාලයේ සිටම පන්සල් යනවා. ධර්ම දේශනාවලට සවන් දෙනවා. බුදු පිළිම වන්දනා කිරීමට හා බෝධි පූජා පැවැත්වීමට එයා ගිය ගැඹුරු ධර්මයක් බුදු දහමේ ඇති බව කලක් ගිය පසු මට අවබෝධ වුණා. මේ නිසා මම හැකි සෑම අවස්ථාවකදීම බුදු දහම ගැන ලියැවුණු පොත්පත් කියෙව්වා. ඒ අනුව මනමාලියක් වී පැවිදි දිවියට ඇතුළත්වීමේ සිහිනය ලබා ගැනීමට තීරණය කළා. ඕනෑම කෙනෙකුට තමන්ගේ ජිවිතයේ ඇතිවන ඕනෑම ප්‍රශ්නයකට බුදු දහමේ විසඳුම තිබෙන බව මම අවබෝධ කර ගත්තා...“ මනීෂා එදා සිය හිතවතියන්ට පැවැසුවාය.

ගිහි ජීවිතය හැරදා මනීෂා සසුන්ගත වූයේ බුළුගල ආරණ්‍ය සේනාසනයේය. ඒ පසුගිය 27 වැනිදාය. බුළුගල ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ රතුපස්කැටියේ විමුක්තිරතන ,ගලඋඩහේනේ විශුද්ධරතන හා ඉද්දේගම ජිනසාර හිමිවරුන්ගේ උපාධාන්‍යෙයන් ඇය පැවිදි බිමට පිවිසියේ දෙවරක් ඒ පිළිබඳව සිත යොමු කරමිනි.

මෙහෙණි සසුනට ඇතුළුවීමට සුබ නැකතට පෙර මනීෂා මෙනෙවිය මනාලියක ලෙස පෝරු මස්තකාරූඪ කර පසුව ඇයගේ ඥාතීන්ට සහෝදරයන්ට ඇයගේ ඡායාරූප ගැනීමට අවස්ථාව ලබාදුන්නේ එය ඇයගේ ගිහි ජීවිතයේ අවසන් කඩඉම වූ බැවිනි. එපමණක් නොව ඇයව පැවිදි දිවියට ඇතුළත් කළ බද්දේගම ජිනසාර හිමියන් පැවැසූයේ පැවිදි දිවියට පෙර ඇයට මනාලියක ලෙස සැරසි සිටින්නට අවස්ථාව ලබා දී ඇත්තේ තවදුරටත් තමන් ගිහි ජිවිතයේ සිටිනවා ද නැතිනම් පැවිදි බිමට ඇතුළත් වීමේ තීරණයේ සිටිනවාද යන්න ඇයටම ස්වයං විනිශ්චයක් කර ගැනීමේ අවස්ථාව ලබා දීමටය. සියල්ල එසේ සිදුවුවද මේජර් මනීෂාට ගිහි ජීවිතයේ ඒ සුන්දරත්වය විඳින්නට තවත් ඇවැසි වූයේ නැත. 

“ මනාලියක ලෙස සැරසුණු පසුව අපි ඇයගෙන් යළිත් විමසුවා, මෙහෙණි සසුනට ඇතුළු වීමට ඇයට ඇත්තෙන්ම අවශ්‍ය ද, ඊට කැමැත්තක් ඇද්ද යන වග. ඇය තමන්ට මෙහෙණි සසුනට ඇතුළු වීමට අවශ්‍යම බව දැන්වූවා. පසුව ඇයගේ කැමැත්ත අනුව මනාලියක ලෙස සැරසි සිටි ඇඳුම ඉවත් කර කොණ්ඩය කපා අදාළ චාරිත්‍ර වාරිත්‍ර ඉටුකර පසුව කහ සිවුර පොරවා පැවිදි දිවියට ඇතුළත් වීමට ඇයට අවස්ථාව ලබා දුන්නා“ ඒ ඇයට පැවිදි දිවියකට වරම් දුන් ජිනසාර හිමියන්ය.

මේජර් මනීෂා දක්ෂ නිලධාරිනියක වූවාය. එහෙත් ඇය තුළ වූ නිහතමානි, නිරහංකාර ගති ඇයගේ මේ ගමන් මඟේ පෙර සලකුණු විය.

“ මේජර් මනීෂා වික්‍රමසිංහ..ඇය මට මුලින්ම හමුවන්නේ 2009දී. දෙවැනි ලුතිනන්වරියක ලෙස බොරැල්ල යුද හමුදා කාන්තා බළකා රෙජිමේන්තු මුලස්ථානයේදී....ගත වූ ඒ කාලයේදී ඉතා නිහතමානී ගුණයෙන් යුතු ඈ මා හට බෙහෙවින් කුළුපග වුවා...... පසුව ඇයට වෙනත් ක්‍රියාන්විත පෙදෙසකට ස්ථාන මාරුවීමක් ලබා යාමට සිදු වූ අතර ඊට සමකාලීනව මා යුද හමුදාවෙන් ඉවත්වීම නිසා නැවත ඇය මට හමුවූයේ නැහැ. ... පසු ක‍ෙලක ඇය යුද හමුදාව තුළ දක්ෂ පැරිෂුට් ශූරියක බව මාධ්‍ය තුළින් දැන ගත්තා. පසුගිය සතියේ ඇය පැවිදි වීමට යන බව ආරංචි වී මැසෙන්ජර් හරහා ඇයගෙන් ඒ පිළිබඳව විමසු විට පෙර පැවැති ළෙන්ගතු බවින් ඈ මට පැවැසුවා, එය සත්‍යයක් බව. පෙර පැවැති ඇගේ නිහතමානි ගුණය එලෙසම රැඳී පැවැතුණා.“ ඒ මනීෂාගේ හිතවන්තියන් මුහුණු පොතේ පළ කළ දෑය.

ධම්ම නිරෝධා මෙහෙණින් වහන්සේ මේ වන විට සියල්ල හැරදා මොනරාගල, වැල්ලවාය බුළුගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වසමින් ධර්මාවබෝධ මාර්ගයට ප්‍රවිශ්ටව ඇත්තාය. ප්‍රසිද්ධ නතතුරු තානාන්තර සියල්ල හැරදා ඇය සිය ශාසනික අභිනික්මනට පිවිසියාය. ඒ සියල්ල අනිත්‍ය බව පසක් කරමින් නිර්ලෝභිව සියල්ල අතහැර යන්නට තරම් වූ දැඩි අදිටනිනි.

Comments