මම මට ඕන දේ කරල මට ඕන විදිහට ජීවත් වෙනවා | සිළුමිණ

මම මට ඕන දේ කරල මට ඕන විදිහට ජීවත් වෙනවා

සංජානා ගමාරච්චි කිවුවම නොදන්නා කෙනෙක් නැති තරම්ය. ටීනා ලෙසින් මේ දිනවල ජනප්‍රියත්වයේ හිණිපෙතේම සිටින ඇය යාවත්කාලීන වන සමාජ මාධ්‍යවලටත් අමතක කළ නොහැකි චරිතයකි. හුරුබුහුටි ටීනා සිටින්නේ හිරු නාළිකාවේ විකාශය වන දිවිතුරා ටෙලි නාට්‍යයේය. රුවටම ගැළපෙන දඟකාරකම ඇගේ චරිතයට එක්කරන්නේ ද අමුතුම ආකර්ෂණයකි. බොහෝදෙනා මවිතයට පත් කළ ඇගේ විවාහ ගිවිස ගැනීම ද පසුගිය වසරේ කාගේත් කතාබහට ලක්වූවකි. විවාහ ගිවිස ගැනීමට වසරක් සපිරෙන මොහොතේ ඇය අප හා කතා බහට එක්වූවාය.

සංජානා මේ දවස්වල ගොඩක් ජනප්‍රිය ටීනා නිසා නේද? කොහොමද ලැබෙන ප්‍රතිචාර?

දිවිතුරා නාට්‍යයේ ටීනාගේ චරිතය ගොඩක් මිනිස්සු අතරට ගිය චරිතයක්. හැමෝම ආදරේ කරන චරිතයක්. අදටත් කොහේ හරි ගියොත් චූටි බබාලගෙ ඉඳන්ම කතා කරන්නෙ ටීනා කියලා. මමත් හරිම ආසාවෙන් ආදරෙන් කරපු චරිතයක්. ටීනාගෙ චරිතය තමයි මේ දවස්වල විකාශය වන ඒව අතරින් ජනප්‍රියම චරිතය.

ටීනා කියන්නෙ දඟකාර, හුරුබුහුටි හැබැයි ටිකක් විතර මෝඩ චරිතයක්. එතකොට සංජානා කියන්නෙ?

සංජානා කියන්නෙ තියෙන දෙයක් කාල බීල වැඩක් ආවොත් කරලා, නැති වුණොත් ගෙදරට වෙලා සතුටෙන් ඉන්න එන විදිහකට ජීවත් වෙන කෙනෙක්.

ඔබේ විවාහ ගිවිස ගැනීම සිදු වෙලත් වසරක් ගතවුණා. කවදද දැන් එක වහලක් යටට යන්නෙ?

විවාහ ගිවිස ගැනීම සිදුවෙලා අවුරුද්දක් ගෙවුණා කියල තේරුණේවත් නෑ. විහඟගෙ විභාග වැඩයි මගේ කලා කටයුතුයි නිසා දෙන්නම කාර්යබහුල වුණා. ඒ නිසා මේ අවුරුද්දෙ වෙඩිං එක ගන්න බැරි වුණා. ලබන අවුරුද්දෙ වෙඩිං එක ගන්නයි බලාපොරොත්තුවෙන් ඉන්නෙ.

ඉක්මනින්ම විවාහ ගිවිස ගැනීම කළේ විහඟගෙ ඕනෙකමටයි කියන්නෙ ඇත්ත ද? සංජානට හදිස්සියක් තිබ්බෙ නැද්ද ඒ වෙන කොට විවාහ වෙන්න?

සමහර විට මාව නැතිවෙයි කියල එයාට බය හිතුණ ද දන්නෑ. එයාට ඕනෙම වුණා ගිවිස ගැනීම ඉක්මනින්ම කරන්න. ඉතින් මාත් කැමැති වුණා.

ඔබේ විවාහ ගිවිස ගැනීම හදිසියේම කළා වුණත් හැමෝගෙම කතාබහට ලක්වුණා නේද?

මට ඕනෙ වුණා ටිකක් වෙනස් විදිහට කරන්න. ඒක මගේ ආසාවක්. එහෙම නැතුව රටට ලෝකෙට පේන්න නම් නෙවෙයි. මගේ හිතේ සතුට වෙනුවෙන් මට ඒ දේ කරන්න ඕනෙ කියල හිතුණා. ඒ නිසා අපි සීමිත පිරිසකින් පෝට් සිටි එකේ යොට් එකක තමයි ඒක කළේ.

සෝෂල් මීඩියාවල ඔබ ගැන එක එක කටකතා පැතිරෙද්දි විහඟගෙ ප්‍රතිචාරය කොහොමද?

ඒ කටකතා හැදුණ කාලෙදිම තමයි විහඟ මාත් එක්ක යාළු වුණේ. මුල ඉඳන්ම ආපු හැම ප්‍රශ්නෙකදිම හැමවේලේම එයා මාත් එක්ක හිටියා. එයා නම් ඒව දිහා බලන්නවත් කැමැති නෑ. ඕන කෙනකුට ඕන දෙයක් කියන්න දෙන්න, අපි ඉන්නෙ අපිට ඕන විදිහට, අපේ ලයිෆ් එක අපියි එන්ජෝයි කරන්නෙ, ඔයා වුණත් ඒව බලන්න එපා කියල තමයි එයා කියන්නෙ.

ඇයි ඔබට පහුගිය කාලෙ BMW නංගි කියල කිවුවෙ?

ඒ කතාව මං කියපු එකක් නෙවෙයි. වැඩසටහනකට ගිය වෙලාවෙ පේෂල අයිය කියපු කතාවක්. ඒක බලපු නැති කට්ටිය වගේම බලලත් ඒක තේරුම් ගත්තෙ නැති කට්ටිය තමයි ගොඩක් ගොසිප් ගැහුවෙ BMW නංගි කියලා. මං කොහොමහරි BMW එකක් ගන්න ඕනේ. එතකොට ඔය BMW නංගි කියන එකට හරියටම වැදෙනවනෙ.

එතකොට සංජානාගෙ අලුත් ගවුම් මෝස්තරේ කතාව?

ඒක වුණේ මෙහෙමයි. මං 2023 සූර්ය කුමරා කුමරිය මංගල්‍යය කියල අවුරුදු ඉවෙන්ට් එකක් කළා. ඒකෙදි මම ඇන්ද ගවුම ටිකක් හිරට තිබුණේ. එවෙලෙම තමයි මං ඒක ඇන්දෙ. කලින් චෙක් කළේ නෑ. හිර නිසා ස්ටේජ් එකේ ඇවිදිද්දි ඒක පළපු තැනින් ඉරුණා. ඒක වහගන්න මං ගවුමෙ පාටින් නෙට් කෑල්ලක් ඇල්ලුවා. ඕක දැකපු ගොඩක් අය ඒක එඩිට් කරලා සංජානගෙ අලුත් ගවුම් මෝස්තරේ කියලා දාල තිබුණා. ඇත්තටම ඒක පැෂන් එකක් නෙවෙයි. එවෙලෙ කරකියා ගන්න දෙයක් නැතිකමට කරපු දෙයක්. ප්‍රෝගෑම් එක දාල යන්නත් බෑ. වෙන ඇඳුමක් තිබුණෙත් නෑ. පුළුවන් විදිහට ඇඳුම ගැටගහගෙන එදා ඒ වැඩ ටික කරගත්තා. ඒක තමයි වුණේ.

එතකොට සංජාන ක්ෂේත්‍රයට එන්නෙ?

අවුරුදු කුමරිය තරගයකින් පස්සෙ තමයි මං කලාවට සම්බන්ධ වෙන්නෙ. ඒත් එක්කම ජීවිතය ඇති තුරා ටෙලි නාට්‍යට සම්බන්ධ වෙන්න ලැබුණා. හිමිදිරි කියන ප්‍රධාන චරිතයෙන්. ඒක මට කවදාවත් අමතක වෙන්නෑ. ඒකෙ මගේ තාත්තට හිටියෙ ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා. එයා මගේ නම ඇහුවම මං කිවුවා සංජානා ඔනාලි කියල. ඔහු තමයි මට කිවුවෙ නමකට බරක් එන්නෙ වාසගමක් එකතු වුණහම කියලා. ඊට පස්සෙ තමයි සංජානා ගමාරච්චි කියල පාවිච්චි කරන්න පටන් ගත්තෙ.

සංජානා පොඩි කාලෙ ගෙදරටම කොටු වෙලා හැදුණු කෙනෙක් කියන්නෙ?

පොඩි කාලෙ මට මේ වගේ නිදහසක් තිබුණෙ නැහැ. තාත්තා මාව පන්තියකටවත් යැවුවෙ නෑ. ගුරුවරු ගෙදරට ගෙන්නල ඉගැන්නුවේ. ඉස්කෝලෙත් කිසිම බාහිර ක්‍රියාකාරකමකට යන්න දුන්නෙ නෑ. ලොකු වෙද්දි තමයි මගෙ ජීවිතේ වෙනස් වුණේ. දැන් නම් මට ඕන දේ කරලා මට ඕන විදිහට ජීවත් වෙනවා. ළමයින්ව එහෙම හිර කරලා හදන්න ඕනෙ නෑ. එයාට ඕන නිදහස දීල, යන්න ඕන මාර්ගය පෙන්නල දීල එයාලව ගයිඩ් කරන්නයි ඕනෙ.

විහඟගෙන් ඔබට අවශ්‍ය නිදහස ලැබෙනව ද?

එයා ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ. මගේ කලා කටයුතුවලට එයා කවදාවත් එපා කියන්නෑ. වැඩක් ආවොත් ඔයාට ගැළපෙනව නම් ඔයා කරන්න කියල තමයි එයා කියන්නෙ. ඒ අතින් විහඟ මට ලොකු සහනයක්, නිදහසක් දීල තියෙනවා. ඊට අමතරව මං ගැන නිතරම හොයල බලනවා. ‍ එයා හොඳ සැමියෙක්.

දවසක සංජානත් ලංකාව අතෑරල යාවි ද?

විහඟ එහේ නිසා මට දිගටම ලංකාවෙ ඉන්න බැරි වෙයි. තව ටික කාලෙකින් මාත් යනවා. අනික දිගටම අපිට වැඩ ලැබෙන්නෙත් නෑනෙ. පුළුවන් වෙලාවට ලංකාවට ඇවිත් ලැබෙන නිර්මාණවලට සම්බන්ධ වෙනවා.

Comments