මං අවුරුදු 14ක් කව්බෝයි ස්කූල් එකක ඉගෙන ගත්තා | සිළුමිණ

මං අවුරුදු 14ක් කව්බෝයි ස්කූල් එකක ඉගෙන ගත්තා

ලේක්හවුස් එකට ඇමරිකාවේ සිට “කව්බෝයි“ කෙනෙකු එන බව අපට දැන ගන්නට ලැබුණේ පසුගිය සතියේය. පසුගිය සතියේ දිනක දවාලක දැනගන්නට ලැබුණේ මේ “කව්බෝයි“ ලේක්හවුසියට ඇතුළු වී අපේ සාකච්ඡා කාමරයට පැමිණ සිටින බවය. ඒ කාමරයට ඇතුළුවන විට ලේක්හවුසියේ උඩ තට්ටුවට මේ “කව්බෝයි“ ආවේ අස්සයා පිට නැඟී බවට ඔබ වරදවා තේරුම්ගත යුතු නැත. කව්බෝයි තොප්පියක් දාගෙන, අඟල් 4ක් පමණ දිග සුදු යටි රැවුල පිරිමදිමින් කව්බෝයි සිටියේය. ඇමරිකාවේ සිට ලංකාවට ආව කව්බෝයි සමඟ අප සාකච්ඡාව මෙහෙය වූයේ සිංහලයෙන් බව කිවහොත් ඔබ මවිතයට පත්වනු නියතය.

“මම නිත්‍ය ආනන්ද. මට ඇමරිකාවේ කියන්නේ ටායිනිටි (TYNITTI) කියලා. පොඩි කාලේ මම ඉපදුණේ කොටහේනේ. මම ලංකාවෙන් ඇමරිකාවට ගියේ 1984 දි. මට එතකොට වයස 19යි. අපේ මුළු පවුලම ඇමරිකාවට ඉමිග්‍රේට් කළා. පොඩි කාලේ ඉඳන්ම මම ආස කළේ කව්බෝයි කෙනෙක් වෙන්න. ලංකාවේ ඉන්න කාලේ බලපු තරමක් බැලුවේ කව්බෝයි චිත්‍රපට තමයි. කැලිෆෝනියාවේ තමයි අපි පදිංචි වුණේ.“

ඇමරිකාවට මීට වසර 39කට පෙර යන ටායිනිටි අධ්‍යයනය සඳහා ඇතුළු වන්නේ විල්සන් ජූනියර් හයිස්කූල් එකටය.

“මං අවුරුදු 14ක් කව්බෝයි ස්කූල් එකක ඉගෙන ගත්තා. ඇමරිකාවේ නියම කව්බෝයි සංස්කෘතියක් තියෙනවා.“

ඇමරිකාව හා COWBOY අතර ඇති සම්බන්ධය එසේ මෙසේ එකක් නොවේ. “ලෝක පොලිස්කාරයා“ ලෙස බවුතිස්ම වූ ඇමරිකාවේ වරක් ජනාධිපති වූයේ කව්බෝයි වරයෙකි. ඔහු හිටපු ඇමරිකන් ජනාධිපති රොනල්ඩ් රේගන්ය. 1937දී හොලිවුඩ් නළුවෙකු වූ රේගන් වැඩියෙන්ම රඟපෑවේ කව්බෝයි චරිතය. 1980දී මේ කව්බෝයි චරිත රඟපා රේගන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළේ කීර්තිමත් ඇමරිකන් නායකයකු වූ ජිමී කාටර් පරදවා වීමම කව්බෝයිට ඇමරිකාවේ ඇති තැනට ප්‍රායෝගික සාක්ෂියකි.

දැන් ටායිනිටි ඇමරිකාවේ COWBOY පුහුණු පාසලක් පවත්වාගෙන යයි. ඔහු සතු ඇමරිකාවේ අශ්වයින් ගණන 100කට අධිකය. ඔහු දැන් සුප්‍රකට ඇමරිකන් 'හොලිවුඩ්' චිත්‍රපටවලට චරිත සඳහා නළුවන්ට COWBOY පුහුණුව ලබාදේ. ඇමරිකාවේ හොලිවුඩ් වගේ ඉන්දියාවේ ඇත්තේ බොලිවුඩ්ය.

“දැන් සල්මන් ඛාන් මං ගාව පුහුණු වෙනවා. COWBOYලෙසන්ස් ගන්නවා.“

ලංකාවේ රිදී තිරය නොහොත් බයිස්කෝප් කර්මාන්තය හඳුන්වන්නේ 'හෙලවුඩ්' ලෙසය.

“ලංකාවේ නම් චිත්‍රපට නළුවෝ කවුරුත් COWBOY ට්‍රේනින්වලට ඇමරිකාවට ඇවිත් නැහැ.“ ටායිනිටි පවසයි.

අපට නම් අශ්වයෙක් පුහුණු කරනවා කියන එක හිතුණේ සෙල්ලමක් ලෙසය. කියමනට කියන්නේ නිකං දෙන අස්සයාගේ දත් බලන්න එපා කියාය. අස්සයෙක් පිටේ නඟින්න ඔය තරම් පන්ති කරන්න ඕනදැයි අපට හිතුණත් ටායිනිට් කියන්නේ බැරෑරුම් කතාවකි.

“අශ්වයෙක් පුරුදු කරන එක අමාරු වැඩක්. වාහනයක් වගේ පැදගෙන යන්න බැහැ. මුලින්ම සතාට ළං වෙන්න ඕන. සතා අපිව අඳුර ගන්න ඕන. මේ විශ්වාසය හදාගන්න එක ලේසි වැඩක් නෙමෙයි. මේ පුහුණුව හදන එක. කටකලියාවයි, සැඳලයයි උඩ කෙනෙක් තියාගෙන ගමනේ යන්න අශ්වයෙක් පුුහුණු කරන එක ඉතාම අමාරු වැඩක්.“

අපට ඊළඟට ප්‍රශ්නය වූයේ ඔය කියන කටකලියාව, සැඳලය (පා තබාගෙන යන) අතීතයේ අශ්වයින්ට ද තිබුණා ද යන පැනයයි.

“ඉන්දියාවෙන් ආවා බුද්ධ චරිතෙ ගැන චිත්‍රපටයක් කරන්න. කන්තක අශ්වයා වගේ සුදු අශ්වයෙක් පුහුණු වෙන්න. චිත්‍රපටයේ අධ්‍යක්ෂ කිව්වා ඔය කාලේ අශ්වයින්ට සැඳලය කටකලියාව තිබුණේ නෑ කියල. මං කිව්වා වෙන්න බෑ කියලා. මම ලුම්බිණියේ බුදුන් ඉපදිච්ච තැන කැටයමක් හොයාගෙන ආවා. ඒකෙ තියෙනවා කන්තක අශ්වයා සැඳලය එක්ක. අධ්‍යක්ෂකට පෙන්නුවාම එයා ඒක පිළිගත්තා. “

ලංකාවේ සතෙක් නොවන අශ්වයා ලංකාවට ආ හැටි ගැන ටායිනිටි කියන්නේ අපූරු කතාවකි.

“රජ කාලෙත් ජීජිප්තුවෙන්, රෝමයෙන් සවුදි අරාබියෙන් අපේ රටට අශ්වයෝ ගෙනැත් කුරුඳුවලට, මුතුවලට මාරු කරල තියෙනවා.“

ටායිනිටි කියන්නේ ලංකාවේ අශ්වයෝ භාවිතය ප්‍රොටෝ යුගය තෙක් (Proto Histery) දිව යන බවය. දැරණියල ලේඛනයක හඳුන්වන්නේ අනුරාධපුර ඇතුළ් නගරයේ කළ කැණීම්වලදී එම යුගයේ අශ්ව දතක් හමු වී ඇති බවය. ඊටත් වඩා මහාවංශයේ තොරතුරු අනුව ආර්යා ගමනයටත් පෙර ලංකාවේ ජන කණ්ඩායම් අශ්වයන් භාවිත කළ බවට ලිඛිත සාක්ෂි ඇති බව ටායිනිටි කියයි.

“වලාගස්ය ජාතක කතාවේ බෝධි සත්ත්වයන් වලාහක අශ්වයකු ලෙස ඉපදුණා කියනවා. සිදුහත් කුමාරයා ගිහිගෙය අතෑරලා ගියාම කන්තක අශ්වයා ළය පැළිල මැරුණා කියනවා. ඊට පස්සේ සූනියම් දෙයියෝ වුණේ දේවත්වයට පත්වෙලා. මේ කතා එක්ක බැලුවාම අශ්වයා අපට ආගන්තුක සතෙක් නොවෙයි. කන්තක කියන අශ්වයා සුදු Nukra වර්ගයේ අශ්වයෙක්.“

ටායිනිටි COWBOY කර්මාන්තයට අමතරව අශ්වයින් යොදාගන්න ධන ආකරයක් වන්නේ අශ්ව රේස් බවය. භාණ්ඩ ප්‍රවාහනය ඉන් එකක් පමණි. ටායිනිටි ඇමරිකන් ආයෝජකයින් ආයෝජනයක් ලෙස COWBOY ව්‍යාපාරයට කර ඇති ඇමරිකන් ඩොලර් ට්‍රිලියන ගණන ගැන අපට කියූ විට පෙනී ගියේ එය ලංකාවේ දළ ජාතික ආදායම මෙන් හයගුණයක් බවය. එමෙන්ම ඔහු පවසන්නේ දැවැන්ත අක්කර දහස් ගණන්වල ඇමරිකාවේ ගොවිතැන් නිරීක්ෂණයට යොදා ගන්නේ ද අශ්වයින් බවය.

“මං කියන්නේ ලංකාවට ටුවරිස්ලා ගෙන්න ගන්න Horse Cluture එකට පුළුවන්. ඒකෙන් බිලියන් ගාණක ඇමරිකන් ඩොලර් මේ රටට ගේන්න පුළුවන්. දැනටමත් මේ අශ්ව ව්‍යාපාරයේ ඉන්න ලංකාවේ අයට උදව් කරන්න මං කැමතියි.“

ටායිනිටි කියන්නේ ලෝකයේ හොඳම අශ්වයින් මුලින් ලංකාවට ගෙනැවිත් අභිජනන කටයුතු සිදු කළ හැකි බවය. ඇතැම් උසස් ප්‍රමිතියේ අශ්වයකුගේ මිල ඇමරිකන් ඩොලර් මිලියන 15ක් ඉක්මවා යන්නකි.

“මේ අශ්ව ව්‍යාපාරය ලංකාවේ ව්‍යාප්ත කළොත් ඕන තරම් සුද්දෝ ලංකාවට ගෙන්න ගන්න පුළුවන්. පුහුණු පාසලක් ලංකාවේ දැම්මොත් පුහුණු වෙන්න පිටරට ඉඳලත් ඕන තරම් සුද්දො එන්න ඉන්නවා. මේක ඒ තරම් සුන්දර රටක්.“

ටායිනිටි පවසන පරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මෙන්ම වෛද්‍ය සිසු සිසුවියන් ද අශ්වයින් පදින විට ඔවුන් ලබන අධ්‍යාපනයේ ප්‍රගතියක් ඇතිවී ඇති බව නවතම ඇමරිකන් සොයා ගැනීමක සඳහන්ව ඇත. එමෙන්ම ලංකාව වැනි යුධ මානසිකත්වයක සිටි හමුදා නිලධාරීන්ට අශ්වයින් පැදීම පුුහණුව මඟින් මානසික ආතතියෙන් මිදිය හැකිය. අශ්වයින් බ්‍රෂ් කිරීම පවා ඔවුනට මානසික ආතතියෙන් මිදීමට මඟක් වී ඇත.

“ලංකාවේ මේ ව්‍යාපාරේ දියුණු කරගන්න ඕන උසස් පෙඩ්‍රිග්‍රි (පැටිකිරිවල) අශ්වයොයි. තණකොළයි විතරයි. අශ්වයෝ කන්නේ පිරිසිදු තණකොළ විතරයි. මේකෙන් මං කියන්නේ මේ COWBOY ව්‍යාපාරය ලංකාවේ දියුණු කළොත් මේ රට ඇමරිකන් ඩොලර් අහේනියෙන් ගොඩ එන්න පුළුවන්. දැන් ලෝකේ ජනප්‍රියම English Riding, COWBOY Riding ලංකාවට හඳුන්වල දුන්නාම මුළු ලෝකෙන්ම කට්ටිය මෙහෙට එයි.“

අප ඊළඟට ගියේ වරාය නගරේ ඇති Ceylon Riding Club Port City එකටය. ටායිනිටි සමඟ ලේක්හවුසියට ආ නොහා ප්‍රනාන්දු රූමතිය ද මේ ගමනට එක්වුවාය. ඒ ගිය විට අපට දැනගත හැකි වූයේ ඇය පළපුරුදු අසරුවකු බවය. පෝට්සිටියේ එම “අශ්ව පාසල“ අප මතකයට ගෙන ආවේ ඇමරිකන් COWBOY චිත්‍රපටයකි. වයස අවුරුදු පහට අඩු දරු දැරියන් එහි අශ්ව පුහුණුව ලබමින් සිටීම ආකර්ෂණීය දසුනක් විය.

අශ්ව පාසල වටාම ඇත්තේ තවමත් ගොඩනඟමින් ඇති පෝට්සිටියේ කාන්තාරයක් වැනි පස් කඳුය. ටායිනිටි හොඳම වර්ගයේ අශ්වයකු පිට නැඟ කව්බෝයි ඇඳුම් ඇඳගෙනම කව්බෝයි තොප්පිය දමාගෙන දූවිලි අවුස්සමින් වාර කීපයක් පෝට්සිටියේ අධිවේගයෙන් ගමන් කළේ පෝට්සිටි බිමේ දූවිල්ලෙන් අප නැහැවී ගෙන යන විටය.

අශ්ව අංගණයට නැවත පැමිණි ටායිනිටි තමන් ඇමරිකාවේ සිට ලංකාවට ආ අරමුණ පැහැදිලි කළේය.

“ලංකාවට විදේශ විනිමයෙන් ගොඩගන්න පුළුවන් හොඳම දේ තමයි මේ COWBOY ව්‍යාපාරය. ආණ්ඩුවේ හරි දැන් මේ ව්‍යාපාරේ ඉන්න ඕන කෙනෙක්ට මං උපදෙස් දෙන්න කැමතියි. මේක ආණ්ඩුව මැදිහත් වෙලා ආරම්භ කළා නම් මුළු රටටම ගොඩයන්න පුළුවන් දැවැන්ත කර්මාන්තයක්.“

ඔහු එසේ පවසන්නේ දැඩි විශ්වාසයකිනි.

 

Comments