- දේවයානි කියන දෙව් බිසවට මාව තෝරගෙන තියෙන්නේ කියලා දැන ගත්තම ලොකු සතුටක් ආවා
- අපිට තියෙනවා අපිට හරියටම ගැළපෙන තැනක් එතැන තමයි මමත් හෙව්වේ
කදිර දිව්‍යරාජ සිනමා සිත්තමේ දේවයානි නම් දෙව් බිසව හෙවත් කතරගම දෙවියන්ගේ, දේව භාර්යාව වන තේවානි අම්මාට ජීවය දෙන්නේ නදීපා රණසිංහ. 2018 වසරේ මිසිස් ශ්‍රී ලංකා වන්නේත් ඇයයි. මේ වන විට ඇය මනෝ උපදේශකවරියක් සහ ලයිෆ් කෝච් කෙනෙක් විදියට සිය වෘත්තීය භුමිකාවේ නියැළී සිටිනවා.
කදිර දිව්‍යරාජ චිත්‍රපටයේ ඔබයි දේවයානි නම් දෙව් බිසව. කොහොමද මේ අවස්ථාව ලැබෙන්නේ?
මම 2018 වසරේ මිසිස් ශ්‍රී ලංකා ජයග්‍රහණය කරනවා. විවාහක රූ රැජින තරගය දිනලා රට නියෝජනය කරමින් මිසිස් යුනිවර්ස් අන්තර්ජාතික තරගයට ගියාම මට හමු වුණා මිසිස් යුනිවර්ස් ෆර්ෆෙක්ට් කියන ටයිටල් එක. ඒ කාලේ මේ වගේම මගේ ගැන පුවත්පතක ගිය ආටිකල් එකක් දැකලා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මට කතා කළා ස්ක්‍රීන් ටෙස්ට් එකකට. මම අකිල සපුමල්ගේ අධ්‍යක්ෂණය යටතේ වේදිකා නාට්‍යයක ප්‍රධාන චරිතයක් කළා. ඊට පස්සේ 2020 අපි කෙටි චිත්‍රපටයක් කළා. එතැනදී මට ජාත්‍යන්තර සම්මානයක් ලැබුණා. හොඳම නිළිය කැටගරි එක යටතේ කැපීපෙනෙන ඉදිරිපත් කිරීම වෙනුවෙන්. ඒ කෙටි චිත්‍රපටයට අන්තර්ජාතික කෙටි චිත්‍රපට උලෙළවල් රැසකදී සම්මාන ලැබුණා. ඒකෙන් පස්සේ කැනේඩියානු චිත්‍රපට අධ්යක්ෂවරියක් වන දීපා මෙහෙතාගේ “ෆනී බෝයිස්“ චිත්‍රපටයේ පොඩි චරිතයක් කළා. ඒක තමයි මගේ සිනමාවේ පළමු අත්දැකීම.
ඔබව තෝරාගෙන තියෙන්නේ දේවයානි කියන දෙව් බිසවට කියලා දැනගත්තම මුලින්ම මොකද හිතුණේ?
දේවයානි කියන දෙව් බිසවට මාව තෝරා ගෙන තියෙන්නේ කියලා දැන ගත්තම ලොකු සතුටක් ආවා. ඒ එක්කම දැන ගන්න ලැබුණා ලංකාවේ ඉන්න අති දක්ෂ දැවැන්ත රංගන ශිල්පීන් ශිල්පිනියන් ඉන්න වැඩක් බව. අධ්‍යක්ෂණය කරන්නේ සුනිල් ආරියරත්න මහතා, එතකොට කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිය ඒ වගේම කලා අධ්‍යක්ෂණය කළේ ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ අය. ඒ වගේ කෘතියක් එක්ක මම මගේ ජීවිතේ සිංහල චිත්‍රපටයක ප්‍රධාන භූමිකාවක් තුළින් ඒ අත්දැකීම ලබා ගැනීමට ලැබීම ගැන ලොකු සතුටක්.
මහාචාර්ය සුනිල් ආරියරත්න යටතේ අධ්‍යක්ෂණය වූ පළමු අවස්ථාව කොහොම ද ඒ අත්දැකීම?
සුනිල් සර් යටතේ අධ්‍යක්ෂණය වන පළමු අවස්ථාව වගේම මගේ ජීවිතේ මෙතෙක් චිත්‍රපටයක මාව අධ්‍යක්ෂණය කළ අවසාන අධ්‍යක්ෂකවරයාත් ඔහුයි. පළවෙනියට මාව අධ්‍යෂණය කළේ දීපා මෙහෙතා. දෙවන අධ්‍යක්ෂණය මහාචාර්ය සුනිල් ආරියරත්න. මේ ලැබුණු අවස්ථා දෙකම මට මගේ ජීවිතේට ලැබුණු හොඳ අත්දැකීම්.
ඔබට රඟපාන්න ලැබුණේ ඉන්දීය නළු නිළි දෙපළක් සමග ඒ අත්දැකීම කොහොම ද?
කතරගම දෙවිඳුන් ලෙස ඉන්දීය නළු සමර් වීර්මානි සහ වල්ලි මාතා ලෙස ඉන්දීය නිළි සොනක්ෂි සිං රාවන් රංගනයෙන් දායක වුණේ. ඒ අය එක්ක මම වැඩිපුරම ගැවසුණේ. දර්ශන තලයේදී පමණක් නෙවෙයි ඉන් පිටත් රූපගත කිරීම් සිදුවන කාලය තුළ අපි හිටියේ එකටමයි. ඒ බැඳීමත් හරි සුන්දරයි. ඒ වගේම අපි එකිනෙකා අතර තිබු අවබෝධය එක්ක අපිට පුළුවන් වුණා නිර්මාණයට සාර්ථක දායකත්වයක් ලබාදෙන්න. ඒ එක්කම අපි සිංහලෙන් දෙබස් කියද්දී ඒ අයට තේරුම් ගන්න අමාරුයි. හැබැයි ඒ අය හැම දෙබසක්ම තේරුම් ගන්න ලොකු කැපවීමක් කළා. ඉංග්‍රීසි භාෂාවෙන් දෙබස් ලියාගෙන ඒ ගැන අදහස් අහමින් සෑහෙන්න උත්සාහ කළා.
නදීපා රණසිංහ කියන්නෙ වෘත්තීන් කිහිපයක එකතුවක් ?
ඇත්ත. මම වෘත්තීය කිහිපයක අතීතයේ නියැළී සිටියා. දැන් නම් මම එක වෘත්තියක ඉන්නේ. අතීතයේ ගත්තම මම මාධ්‍යවේදිනියක් විදියට වැඩ කළා. ඒ මම විශ්වවිද්‍යාලයේ නීති පිඨයේ ඉන්න කාලේ. ඊට පස්සේ විශ්වවිද්‍යාලයෙන් අයින් වෙලා නීතිඥවරියක් විදියට වැඩ කළා. ඒ කාලය තුළ යුධ හමුදාවට ඇතුළත් වෙලා කපිතාන්වරියක් (යුධ හමුදාවේ නීතිඥවරියක්) විදියට සේවය කළා. ඊට පස්සේ බහු ජාතික සමාගමක නීති නිලධාරිනියක් විදියට වැඩ කළා. එහෙම වැඩ කරලා මිසිස් ශ්‍රී ලංකා ජයග්‍රහණය කරල ඉන්න අතරේ මම හොය හොයා හිටියේ මට හරියටම ගැළපෙන තැන. මීට අවුරුදු හතර පහකට කලින් මට මම හොයපු දේ හම්බුණා. මම දැන් යන්නේ ඒ මාර්ගයේ. මුල ඉඳන්ම මනෝ විද්‍යාව කියන දේ ඉගෙන ගත්තා. ලයිෆ් කෝච් කෙනෙක් විදියට මනෝ උපදේශකවරියක් විදියට ඒ ලබපු සියලු දැනුම එකතු කරලා මායා දොරටු කියන වැඩසටහන නිර්මාණය කරලා ඒ දේ කරගෙන ඉන්නවා.
මේ කාලයේ වැඩි වශයෙන් මූලිකත්වය දීලා තියෙන “මායා දොරටුව“ කියන්නේ මොකක් ද?
“මායා දොරටුව“ කියන්නේ පුද්ගලයෙක් පරිවර්තනය කිරිමක්. සමහර අය ඉන්නවා කොච්චර සල්ලි තිබ්බත් සතුටක් නැති අය. එහෙම නැත්නම් ජීවිතේ එක තැනක හිරවෙලා එතැනින් ගොඩ එන්න බැරුව. ඒ වගේම රැල්ලට හැල්මේ දුවන රේස් එක එක්ක ආතතියෙන් ඉන්න අය. අපේ “මායා දොරටුව“ තුළින් කරන්නේ මේ මිනිස්සු එක තැනකට ගෙන්නලා ජීවිතේ හදාගන්න කියලා දෙන එක. ඇත්තටම අපි ඉන්නේ අනාගතයක් අතීතයක් නැති වර්තමානයක. එතකොට අපි කොහොමද අපේ මේ වර්තමානයට අපිට අවශ්‍ය කරන මේ අනාගතය ඇදලා ගන්නේ. මේ දේවල් අපි කරන්නේ මනෝ විද්‍යාත්මක පදනමක ඉඳලා. අපි අපේ යටි සිත සන්නද්ධ කරන්නේ අපේ අරමුණ අපි ගාවට ඇඳලා ගන්න. මානසික සතුට සැනසීම තියාගෙන තමයි මේ හැමදේම කරන්නේ. “මායා දොරටුව“ කියන්නේ මාස දෙකක් පුරා කරන එකක්. ඒ නිසා මම ලොකු කැපකිරීමක් කරනවා. ශ්‍රී ලංකාවේ අයට නම් මම මේක කරන්නේ online නමුත් මැලේෂියාවේ අයට නම් phycical කරනවා.