
විෂ හෝරා යෙදෙන දින ගැනත් සැලකිලිමත් විය යුතුයි
රවි, සඳු, කුජ, ශනි හෝරාවල යොදා ගැනීමට සුදුසු වැඩ කටයුතු ගැනත් දැනුම්වත් වන්න
සඳු, බුධ, ගුරු, කිවි හෝරා සුබ හෝරා ලෙස සැලකේ
නැකැත් සෑදීමේදී 'හෝරාවට' විශේෂ ස්ථානයක් හිමි වේ. අනිකුත් කරුණු ගැන පමණක් සලකා හෝරාව ගැන නොසලකා නැකැත් සැදීමෙන් එම නැකැත්වලින් බලාපොරොත්තු වන ප්‍රතිඵල නොලැබේ.
හෝරාව යොදා ගත යුත්තේ එක් එක් ප්‍රදේශයන්ට ඉර උදාව අනුවය. සඳු, බුධ, ගුරු, කිවි හෝරාවන් සුබ හෝරාවන් ලෙස සැලකේ. එම හෝරාවන් තුළ පංචම හා සූක්ෂම හෝරාද යෙදේ. තවද එක් එක් දිනයන්හි විෂ හෝරා යෙදේ. ඒ මෙසේය. සඳු දින බුධ හෝරාවද, කුජ දින ශනි හෝරාවද බුධ දින සඳු හෝරාවද ගුරු දින කිවි හෝරාවද, කිවි දින ගුරු හෝරාවද ,ශනි දින ඉරු හෝරාවද, ඉරු දින කුජ හෝරා මරු හෝරාවල් වේ.
ශනි සඳු හෝරාවල මුල් මිනිත්තු 12 ද, බුධ සිකුරු හෝරාවල මැද මිනිත්තු 12 ද, රවි කුජ හෝරාවල අන්තිම මිනිත්තු 12ද, ගුරු හෝරාවේ අන්තිම මිනිත්තු 12 ද, විෂ හෝරා වේ. මේ නිසා මරු හා විෂ හෝරා මඟ හරවා නැකැත් සෑදිය යුතු වේ. පංචම කාල හෝරාවකට මිනිත්තු 12 කි. මිනිත්තු 12 තුනෙන් බෙදූ විට කාලය මිනිත්තු හතරකි. මෙම මිනිත්තු 4ක කාලය සූක්ෂම හෝරාවන් ලෙස ගණන් ගැනේ. සූක්ෂම හෝරාව ගණන් ගන්නේ තත්කාල හෝරාව ගණන් ගන්නා ආකාරයටය. දැන් අපි එක් එක් හෝරාවන් යොදා ගන්නේ කුමන කටයුතුවලටද කියා බලමු.
1. රවි හෝරාව - රවි ග්‍රහයා මේෂ, සිංහ රාශිවල ගමන් ගන්නා විටද කැති, උත්‍රපල්, උත්‍රසල උදා වූ විට රවි දින රවි හෝරාව උදාවී ඇත්නම් ඉතා බලවත්ය. රවි පාප ග්‍රහයෙක් නිසා රවි හෝරාව සුබ වැඩට ගැනීමට ඇතැමෙකු බිය වන බවක් දක්නට ලැබේ. පචාංග සුබදායක ලෙස ගැලපේ නම් රවි හෝරාව යටලී තැබීමට, මන්ත්‍ර ජීවම් කිරීමටත්, ප්‍රධානීන්, නායකයන් හමුවීමටත්, ඔප්පු තිරප්පු අත්සන් කිරීමටත් සුබ යැයි සඳහන් වේ. හෝරාව යොදා ගැනීමේදී මරු හා විෂ හෝරා කලින් නම් කළ ආකාරය වෙනස් කර හෝරාව යොදාගත යුතු වේ.
2. සඳු හෝරාව - සඳු වෘෂභ, කටක රාශිවල ගමන් කරන විට රෙහෙණ, හත, සුවණ, නැකැත් උදාව පවතින දිනයන්හි පුර පක්ෂයේ සඳු දින සඳු හෝරාව ඉතා බලවත්ය. සඳු හෝරාවේ මුල් මිනිත්තු 12 අත්හළ යුතු වේ. සඳු හෝරාව අත්තිවාරම් කැපීම, මුල් ගල් තැබීම හා කාන්තා පක්ෂයෙන් හා මවගෙන් උදවු උපකාර ගැනීමට, තද හිත් ඇති අය හමුවීමට, පිටරට යෑමට වැනි කටයුතුවලට යොදා ගැනේ. මෙහිදී කලින් නම් කළ මරු හා විෂ හෝරා මඟ හරවා නැකැත් යොදා ගත යුතුය.
3. කුජ හෝරාව - කුජ නොහොත් අඟහරු මේෂ, වෘශ්චික රාශින්හි ගමන් කරන විට මුවසිරස, සිත, දෙනට යන නැකැත් යෙදුණ කුජ දින කුජ හෝරාව ඉතා බලවත්ය. කුජ හෝරාව ගොවිතැනට, ආරක්ෂක සේවයට බැඳීමට, සටනට, වර්ජනයට හා යුද කටයුතුවලට, පොළොව සම්බන්ධ කටයුතුවලට, නඩු ජය ගැනීමට සුබ යැයි සඳහන් වේ. මෙම කුජ හෝරාවද පෙර සඳහන් කළ ආකාරයට මරු හා විෂ හෝරා අත්හළ යුතුය.
4. බුධ හෝරාව - බුධ ග්‍රහයා මිථුන, කන්‍යා රාශිවල ගමන් ගන්නා විට දෙට, අස්ලිස, රේවතී නැකැත් උදාවූ විට බුධ දින බුධ හෝරාව ඉතා බලවත්ය. අකුරු කියවීමට, මුද්‍රණ කටයුතු හා ශාස්ත්‍රිය කටයුතුවලට, මාධ්‍ය කටයුතු ඇතුළු ඥානය මෙහෙයවා කරන කටයුතුවලට යොදා ගැනේ. නිවාස ඉදිකිරීමේදී පරාල ගැසීමට බුධ හෝරාව යොදා ගැනේ.
5. ගුරු හෝරාව - ගුරු, කටක, ධනු හා මීන රාශියක ගමන් ගන්නා විට විසා, පුවපුටුප, පුනාවස යන නැකැත් යෙදෙන ගුරු දිනයක ගුරු හෝරාව ඉතා බලවත්ය. විවාහ වීමට, මුල් ගල් තැබීමට, නීතිමය කටයුතුවලට, මැති ඇමති තනතුරු ගැනීමට, සමිති සමාගම් ආරම්භයට, ගැඹුරු ධර්මයන් ඉගෙනීමටත්, ගණිකා ව්‍යාපාරයට එරෙහිව කටයුතු කිරීමට මෙම හෝරාව යොදා ගැනේ.
6. සිකුරු හෝරාව - සිකුරු, වෘෂභ, තුලා, මීන යන රාශිවල ගමන් ගන්නා විටත් බෙරණ, පුවසල, පුවපල් නැකැත් යෙදුණ සිකුරාදා දිනවල මෙම හෝරාව ඉතා බලවත්ය. විවාහයට, ගමන්බිමන් යෑමට, කාන්තාවන්ගෙන් උදවු ගැනීමටත්, සංගීත වැනි කලා කටයුතු ආරම්භයට, විනෝද කටයුතුවලත්, හෝටල් තානායම් ඇතුළු අලංකාර කටයුතුවලට මෙම හෝරාව යොදා ගැනේ. මෙහිදී ද මරු හා විෂ හෝරා අත්හළ යුතුය.
7. ශනි හෝරාව - සෙනසුරු හෝරාව මකර, කුම්භ, තුලා රාශිවල ගමන් ගන්නා විට පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත් උදා වූ දිනයක මෙම හෝරාවද ඉතා බලවත්ය. පැවිදි වීමට, වෙහෙර විහාර ඉදි කිරීමට හා ශ්‍රී විෂ්ණු දෙවියන්ට භාරහාර වීමට, පූජා තැබීමටත්, බිත්ති බැඳීමටත් මෙම හෝරාව යොදා ගැනේ. මෙහිදී ද මරු හා විෂ හෝරාවන් අත්හැර නැකැත් සාදා ගැනීමෙන් එම හෝරාවන්ගෙන් ලැබිය හැකි උපරීම ප්‍රතිඵල අත්කර ගැනීමට හැකියාව ලැබේ.
ජ්‍යොතිෂවේදී
නන්දසේන වීරසිංහ